ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධ වෑයමක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිට කොළඹ හරහා පකිස්ථානයේ ලාහෝර් දක්වා පාකිස්තානුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු ගෙනයාම සඳහා පහසුකම් සපයන ලදී.
මෙම ගුවන් යානය ජූනි 14 වන ඉරිදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 10 ට සිඩ්නි සිට කොළඹ බලා පිටත් විය.
මෙලෙස පකිස්තානු රජය සමඟ එරටෙහි විදේශගත ප්‍රජාව නැවත ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයද සම්බන්ද වීම විශේෂත්වයකි,
එසේම, සිඩ්නි නුවර සිට කොළඹ වෙත මීට පෙර පැවති සෘජු ගුවන් ගමන් සේවාව අත්හිටුවා වසර 20 කට පමණ පසු සිඩ්නි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මගී ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ අසල්වාසී රටවලට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ක්‍රියාත්මක කරන ලද රටවැසියන් ආපසු ගෙන්වා ගැනීමේ දෙවන ගුවන් ගමන මෙයයි.
මීට පෙර ද ශ්‍රී ලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධ වෑයමක් ලෙස, මැයි 08 වන දින මෙල්බර්න් නගරයේ සිට, කොළඹ හරහා බංග්ලාදේශයේ ඩකා දක්වා, බංග්ලාදේශ ජාතිකයන් 170 දෙනෙකු ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ද මැදිහත් වී තිබිණ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරියේදීත් මෙලෙස ශ්‍රී ලංකාව ඇතුළු අසල්වාසී රටවල විදේශගත වැසියන් වෙත නැවත ගෙන්වා ගැනීමේ උත්සාහයට අඛණ්ඩව සහාය වනු ඇත.
මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් කොළඹ සිට ඕස්ට්‍රේලියාව බලා ධාවනය කරනු ලබන ගුවන් භාණ්ඩ රැගත් සේවා සැපයුම් ගුවන් යානා පමණකි.
** තොරතුරු සැපයුම - දිල්ෂාන් පිටවලගේ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙල්බර්න් ශාඛාව


