“ආවා” මැර කල්ලිය සොයා යාපනයේ දැවැන්ත මෙහෙයුමක්. (SBS සිංහල /වාර්තා)

මෙම කල්ලියේ සිටින පිරිස නිශ්චිතවම තහවුරු වී නොමැති අතර ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මංකොල්ල කෑම, කුලියට බියවැද්දීම සහ කුලියට මිනී මැරීම මොවුන්ගේ ප්‍රධාන කාර්යන් වන බව සඳහන්.

AAVA Gangster Group

AAVA's leaflet scattered throughout the Jaffna peninsula. Source: Daily Mirror

පසුගියදා යාපනය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හට කඩු පහර එල්ල කළ සිදුවීමත් සමග “ආවා” (AAVA Gangsters)  නමින් හැඳින්වෙන මැර කල්ලියක් පිළිබඳ  බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු විය.

එම සිද්ධියෙන් අනතුරුව “ආවා” නමැති මැර කල්ලිය, යාපනය අර්ධද්වීපය පුරාම පත්‍රිකා බෙදමින් පවසා සිටියේ පොලිස් නිලධාරීන්ට එල්ල කළ ප්‍රහාරයේ වගකීම තම කල්ලිය භාරගන්නා බවත් එය යාපනය සිසුන් දෙදෙනාගේ මරණයට ලබා දුන් ප්‍රතික්‍රියාවක් බවත්ය. ඊට අමතරව මෙවැනි ක්‍රියා ඉදිරියේදීත් බලාපොරොත්තු වන ලෙස ද එම පත්‍රිකාවල සටහන්ව තිබූ බව වාර්තා වේ.  

මේ සිද්ධියත් සමගම මෙම මැර කල්ලිය පිළිබඳ මෙම සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද උණුසුම් ලෙස කතාබහට ලක්වූ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වහාම ගන්නා බවයි.

ඒ අනුව මේ වන විට වවුනියාව, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්ක වල පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වේ.

මේ වන විට “ආවා” නමැති මැර කල්ලියේ පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වන අතර  එම  පුද්ගලයන් “සන්නා”, “දේවා” සහ “ප්‍රකාශ්” යනුවෙන් හඳුනාගෙන තිබෙන බවත් අනෙක් අය පසුපස පොලිස් විශේෂ කාර්ය බලකාය ලුහු බඳින බවත් වාර්තා වේ.

මෙම මැර කල්ලිය කඩු, පිහි සහ වෙනත් ආයුධ අතැතිව යතුරු පැදි වල ගමන් කරන බවත් ඔවුන් වැඩි වශයෙන් චුන්නාක්කම්, කෝපායි සහ මනිපායි යන ප්‍රදේශ වල සරි සරන බවත් පොලීසිය පවසයි.  

මෙම කල්ලියේ සිටින පිරිස නිශ්චිතවම තහවුරු වී නොමැති අතර ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මංකොල්ල කෑම, කුලියට බියවැද්දීම සහ කුලියට මිනී මැරීම මොවුන්ගේ ප්‍රධාන කාර්යන් වන බව සඳහන්.

මේ වන විට මොවුන් මුලතිවු සහ කිලිනොච්චිය ආශ්‍රිත කැලෑ වල සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම මෙහෙයුමත් සමග පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත උතුරු පළාතේ සියලුම උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිවේදනය කර තිබේ.

ඒ අනුව උතුරු පළාතේ සියලූම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ.

උතුරු පළාතේ විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස් “ආවා” මැර කල්ලිය සඳහා බඳවා ගැනීම් සිදු කරමින් පවතින බවද බුද්ධි අංශ වලට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

පොලිසිය, යාපනය  සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබීමට මුල්වූයේ ඔවුන් “ආවා” කල්ලියේ සාමාජිකයන් යයි සැක කළ නිසා බවට ද වාර්තා පළවූ අතර ඒ පිළිබඳ තොරතුරු මේ වනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now