පොලොව යට ඇති පයිප්ප සහ කේබල් ඇතුළු භාවිත නොකරන විවිධ ද්‍රව්‍ය 400ක් පමණ හේතුවෙන් සිඩ්නි නගරයේ ඉදි කිරීමට නියමිත light rail ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු තවත් මාස 5කින් පමණ කල් යාමට ඉඩ ඇති බව වාර්තා වේ.
සිඩ්නි නගරයේ George Street ආසන්න කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන විට පොලොව යට තිබී භාවිත නොකරන විවිධ පයිප්ප සහ කේබල් රාශියක් හමු වූ බවත් ඒවා කුමණ සමාගම් වලට අයත්ද යන්න තීරණය කරන තුරු ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට අපහසු බවත් ව්‍යාපෘති බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
“පොලොව යටින් හමුවන සෑම පයිප්පයක් සහ කේබල් එකක්ම කාටද අයිති කියල දැනගන්න අපිට සති දෙකත් හතරත් අතර කාලයක් ගත වෙනවා. මොකද අපි එහි අයිතිය ගැන සොයල බලන්නේ නැතුව එය එකවරම ඉවත් කළහොත් ඇතැම්විට නරක ප්‍රතිපල අත් වන්නට හැකියාව තිබෙනවා.” නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම ව්‍යාපාර කලාපය හෙවත් CBD කලාපයේ ගමනාගමන සම්බන්ධීකාරක ජනරාල් Marg Prendergast පවසයි.
සිඩ්නි Market Street සහ King Street අතර කලාපය ඇතුළු කලාප දෙකක මෙසේ මෙම ද්‍රව්‍ය තිබෙන බවට තොරතුරු ලැබී තිබේ. එම කලාපය සිඩ්නි නගරයේ ප්‍රධාන වෙළෙඳ කලාපයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මෙම කලාපය තුළ light rail ව්‍යාපෘතිය මෙම වසරේ නත්තල් සමයට පෙරාතුව අවසන් කිරීමට බලාපොරොත්තුව සිටි නමුත් පවතින තත්ත්වය මත එය 2017 වසරේ අප්‍රේල් මාසය පමණ තෙක් කල් යනු ඇති බවට විශ්වාස කෙරේ.
ගමනාගමන සම්බන්ධීකාරක ජනරාල් Marg Prendergast පවසන්නේ ඒ අනුව නත්තල් සමයේද ඔවුන් හට ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සිදුවනු ඇති බවයි.
මීට අමතරව සිඩ්නි Market Street සහ King Street අතර පස්වන කලාපයේ සිල්ලර වෙළඳාම් සීමාවේ වැඩ කටයුතු අධික ශබ්දයක් නොමැතිව සිදු කිරීමට හැකියාව පවතින බවද බලධාරීන් ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම නත්තල් සමයේදී මෙම කලාපයේ වෙළෙඳාම් වලට බල නොපාන අයුරින් ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට ඒ අනුව තමන්ට හැකි වන බවද ඔවුන් පැවසුවේය.
පවතින තත්ත්වය මත Market Street සහ Park Street අතර සයවන කලාපයේ ඉදිකිරීම් කටයුතු 2017 වසරේ මැයි මාසයේ නිම කිරීමට අපේක්ෂා කරයි.
සිඩ්නි Light Rail ව්‍යාපෘතිය
සිඩ්නි CBD කලාපය සහ ගිනිකොණ දිග කලාපය අතර දිවෙන මෙම light rail ජාලය කිලෝමීටර් 12කින් යුක්ත වන අතර නැවතුම් 19කින් සමන්විතය. මෙම දුම්රිය මාර්ග පද්ධතිය සිඩ්නි Circular Quay සහ George Street සිට Central නැවතුම් පොළ දක්වාත් Surry Hills හරහා Moore Park දක්වාත් Anzac Parade හරහා Kensington සහ Kingsford දක්වාත් Alison Road සහ High Street හරහා Randwick දක්වාත් විහිදෙනු ඇත.

