ඔක්තෝබර් මාසය ආරම්භ වෙත්ම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වැසියන්ට ඉතා උණුසුම් කාලගුණයක් අත් විඳීමට සිදුවී ඇති අතර ප්‍රාන්ත හතරක total fire ban තත්ත්ව ප්‍රකාශ කර තිබේ.
සිඩ්නි හි Observatory Hill උෂ්ණත්වය ඊයේ (ඔක්තෝබර් 01) දිනයේ පස්වරු 3.02 වන විට සෙල්සියස් අංශක 35.6 ක් ලෙස සටහන් විය.
ඒ අනුව 1961 දී සහ 2009 දී ඔක්තෝබර් 01 වන දින වාර්තා වුණු ඉහළම උණුසුම වන සෙල්සියස් 33.1 වාර්තාව බිඳ දැමීමට ඊයේ ඉහත අගය සමත් වුණු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
ඊට අමතරව Penrith හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.3 කටද Richmond උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.7 කටද සිඩ්නි ගුවන් තොටුපොළ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9 කටද ඉහළ ගියේය.
ප්‍රාන්ත හතරකට total fire ban තත්ත්ව
එලෙස ඉහළ ගිය උෂ්ණත්වය ඔක්තෝබර් 01 දා ගිනි නිවන භටයින්ට අනතුරුදායක තත්ත්වයන් නිර්මාණය කළ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පමණක් ලැව්ගිනි 85 ක් ඇවිලී ගියේය.
ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් හමා එන තද සුළං අඩු ආර්ද්‍රතාවය සමඟ ඒකාබද්ධ වී තවත් භයානක තත්වයන් නිර්මාණය කරයි.
——————————————————————————————
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුව www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවිය www.sbs.com.au/sinhala
- SBS Audio APP (Free)
___________________________________________________________________
මේ අතර වික්ටෝරියානු ගිනි නිවීමේ අධිකාරිය විසින් ඔක්තෝබර් 02 වනදා සඳුදා සඳහා ප්‍රාන්තයේ වයඹ දෙසින් පිහිටි Mallee ප්‍රදේශය සඳහා total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම මධ්‍යම ගිනි නිවීමේ අධිකාරිය Gippsland කලාපයේ ලැව්ගිනි කිහිපයක් නිවා දැමීමට වෙහෙස දරමින් සිටියි.
ඔක්තෝබර් 01 දින Maffra ට උතුරින් පිහිටි භූමි ප්‍රදේශයක පාලනයෙන් බැහැර ලැව් ගින්නක් ඇවිලෙමින් තිබූ අතර,Briagolong, Culloden, Moornapa, Stockdale සහ අවට ප්‍රදේශවල ජනතාවට තම වාසස්ථානවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
ඔක්තෝබර් 02 දින උදෑසන උෂ්ණත්වය පහත වැටී ඇති අතර සුළං එක රැයකින් අඩු වී ඇති නමුත් දැනටමත් හෙක්ටයාර 5000 ක් පිළිස්සී ඇති බවත් ගින්න නැගෙනහිර දෙසට දිව යාමේ හැකියාවක් ඇති බවත් ගිනිකොනදිග වික්ටෝරියා කලාපය සඳහා CFA නියෝජ්‍ය ප්‍රධානී Trevor Owen පැවසුවේය.
තද සුළං හේතුවෙන් ලැව්ගිනි තත්ත්වයන් අයහපත් අතට හැරිය හැකි බවට වන කනස්සල්ල මධ්‍යයේ දකුණු ඔස්ට්‍රේලියාව, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තවල ඔක්තෝබර් 02 වනදා සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් බලධාරීන් විසින් නිකුත් කර ඇත.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඊසානදිග කලාපය, West Coast සහ Eastern Eyre Peninsula හි ලැව් ගිනි දැඩිව ඇතිවීමේ අනතුරු ඇඟවීම් සහිත total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
නිව් සවුත් වේල්ස් RFS විසින් වික්ටෝරියා ප්‍රාන්තයට මායිම්ව ඇති නිරිතදිග කලාපය සඳහා total fire ban තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුව (DFES) ඔක්තෝබර් 02 වනදා Goldfields Midlands කලාපය සඳහා total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දකුණු කලාපයේ Albany ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන ලැව් ගින්නක් දේපළවලට තර්ජනයක් වූ බැවින් ඔක්තෝබර් 01 වනදා ප්‍රමාද වී වාසස්ථානවලින් ජනතාව හදිසියේ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදී.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ලැව්ගිනි මධ්‍යස්ථ මට්ටමේ පැවති අතර, බොහෝ උපදෙස් ලබාදුන්නේ ලැව් ගිනි නිසා ඇතිවන අහිතකර දුමෙන් ඈත් වීසිටින ලෙසය.