මාර්තු 15දා සිට ඉන්දියාවේදී පැවැත්වෙන 2016 විස්සයි - විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ "Super 10" වටයට කණ්ඩායම් 10ක් තරග වදින අතර මෙම පෙරළිකාර කණ්ඩායම් පිලිබදව SBS ගුවන් විදුලිය කරන විමසා බැලීමක්.

පළමු කාණ්ඩය
ශ්‍රී ලංකාව
මේ වනවිට විස්සයි විස්ස ලෝක කුසලානයේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එම කිරුල මෙවරත් තමන් සතු කරගැනීම අසීරු අභියෝගයක් බවට පත්ව තිබෙන්නේ, ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාව මේවනවිට මුහුණ දෙමින් සිටින අභියෝග හේතුවෙනි. පසුගිය වසරකට අසන්න කාලය තුල ශ්‍රී ලංකාව සහභාගී වූ 20-20 තරග 14ක් අතරින් ඔවුන් ජයගෙන ඇත්තේ තරග හතරක් පමණි. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමග එම අඩුව පිරවිය හැකි ක්‍රීඩකයින් සොයාගැනීමට නොහැකි වීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය අස්ථාවර තත්වයකට පත්ව තිබේ. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිලිබදව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දැඩි බලාපොරොත්තු තබා සිටියත් ඔහුගේ අබාධ තත්වය හේතුවෙන් තරග සියල්ලටම ඔහුගේ සහභාගිත්වය මෙතෙක් ස්ථිර කර නැත.කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසිතු විරු අවස්ථාවන් වලදී තරගාවලි ජයග්‍රහණය කිරීමට හැකි කණ්ඩායමක් නිසා ඔවුන් තරගාවලිය තුල කිසිවිටෙකත් සුළුකොට තැකිය නොහැක. මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් විසිනි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
ටෙස්ට් හා එක දින ක්‍රිකට් පිටියේ තරමක් අසාර්ථක වුවත් කොදෙව්වන් 20-20 තරග පිටියේ ඉතා හොදින් දස්කම් දක්වන කණ්ඩායමක් බවට පත්වතිබේ. 2012 වසරේ 20-20 ලෝකශුරතාවය හිමි කරගත් කොදෙව් කණ්ඩායම ගෙවීගිය මාස 12 තුල සහභාගී වී තිබෙන්නේ ජාත්‍යන්තර තරග 2ට පමණක් බව සදහන්. ඒ නිසා ඔවුන්ගේ දස්කම් පිලිබදව විශ්ලේෂණය කිරීම අපහසු කාරණයක් බවට පත්ව තිබේ.ඩැරන් සැමි විසින් කොදෙව් කණ්ඩායමට නයකත්වය දෙන අතර ක්‍රිස් ගේල් සහ ඩිවයින් බ්‍රාවෝ වැනි ඉන්දියාව තුල 20-20 තරග වලට සහභාගී වී අත්දැකීම් ඇති ක්‍රීඩකයින් ඔවුන් සතුව සිටින නිසා අනෙකුත් කණ්ඩායම් වලට ඔවුන් ප්‍රබල අභියෝගයක් වනු ඇති.
දකුණු අප්‍රිකාව
මෙවර 20-20 ලෝක කුසලානයේ සිටින ප්‍රබල කණ්ඩායම් අතරින් එකක් වන දකුණු අප්‍රිකාව, තරගාවලිය ජයගත හැකි සමබර කණ්ඩායමක් බව ක්‍රිකට් ප්‍රවිනයින්ගේ මතය වී තිබේ. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකාව ලකුණු 281ක් වැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වාර්තා කර තිබියදීත් තියුණු තරගයකින් අනතුරුව තියුණු තරගයකින් අනතුරුව නවසීලන්තය හමුවේ පරාජයට පත් විය. මේ අතර පසුගිය වසරේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති 20-20 තරගාවලිය 2ට 0 ක් ලෙස ජයගන්නට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, ඉන්දියාවේදී ඉන්දියාව පරාජය පත් කිරීමෙන් ඔවුන් 20-20 පිටියේ ඔවුන්ගේ ශක්තිය පෙන්වා තිබේ. AB ඩිවිලියර්ස්, හෂීම් අම්ලා, ඩේවිඩ් මිලර් වැනි පිතිකරුවන් සහ ඩේල් ස්ටෙයින් වැනි පිති කරුවන්ගෙන් සැදුම් ලත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 2016 විස්සයි විස්ස තරගාවලියේ සටන්කාමී කණ්ඩායමක් බවට පත්වනු ඇති බව විචාරක මතයයි.

ඇෆ්ගනිස්ථානය
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන නවක ක්‍රිකට් කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තනය, මුලික වටයේ තරග වලදී, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, හොං කොංග් පරාජය කරමින් සුපිරි කණ්ඩායම් 10 වටයට සුදුසකම් ලබන්නට ඇෆ්ගනිස්ථානය සමත් විය. කණ්ඩායම තුල සිටින ප්‍රබල පිතිකරුවෙක් වන අස්ගාර් ස්ටෑනික්සායි විසින් ඇෆ්ගනිස්ථානයට නායකත්වය ලබාදෙන අතර, මොහොමඩ් ශසාද්, මොහොමඩ් නබි වැනි පිතිකරුවන් සහ හමීඩ් හසන් සහ ශපුර් සද්රාන් වැනි පන්දු යවන්නන් ගෙවී ගිය වකවානුව තුල කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වී තිබේ.
එංගලන්තය
2010 වසරේ 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ හිමිකරුවන් බවට පත් වූ එංගලන්තය මෙවර තරගාවලියට එක්වන්නේ සමබර කණ්ඩායමක් සමගින්. ජේසන් රෝයි, ඇලෙක්ස් හෙල්ස්, ජෝෂ් බට්ලර්, බෙන් ස්ටොක්ස් සහ නායක ඉයන් මෝර්ගන් මෙවර එංගලන්ත කණ්ඩායමට ඇතුලත්ව සිටින ප්‍රබල ක්‍රීඩකයින් වන අතර, ඉන්දීය තණ තීරු වල මෙම ක්‍රීඩකයින්ට අත්දැකීම් අඩු වීම තරගාවලිය තුලදී ඔවුන්ට අභියෝගයක් වනු ඇති.

දෙවන කාණ්ඩය
ඉන්දියාව
මේ වනවිට 20-20 තරග පිටියේ සිටින ප්‍රබලතම කණ්ඩායම් අතරින් එකක් වන ඉන්දීය කණ්ඩායම, 2011 වසරේදී තමන් සත්කාරකත්වය දරු 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවය හිමි කරගන්නට සමත් විය. මේ වසරේද ඉන්දීය තණ තීරු වල ක්‍රීඩා කිරීමේ වාසිය ඔවුන්ට ලැබෙන අතර , 2016 වසරේ ඔවුන් සහභාගී වී ඇති 20-20 තරග 11කින් පරාජයට පත්වී ඇත්තේ එක තරගයක් පමණි. විරාත් කෝලි, රෝහිත් ශර්මා,ශිකර් ධවාන්, යුවරාජ් සිං සහ නායක මහේන්ද්‍ර සිං දෝනි ගේ සුපිරි දක්ෂතා සහ අත්දැකීම් සමගින් ඉන්දීය කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලාන සටනට පිවිසෙන්නේ ඉතා සමබර කණ්ඩායමක් සමගින්.

ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියාව මෙවර 20-20 ලෝක කුසලානයට සහභාගී වන්නේ, මෙතෙක් තමන්ට ජයගත නොහැකි වූ 20-20 ලෝක කුසලානය මෙවර ඕස්ට්‍රේලියාවට රැගෙන යාමේ අරමුණ ඇතිවයි. පස් වතාවක් එක් දින ලෝක කුසලානයේ හිමි කරුවන් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියාව මෙවර තරවලියට ප්‍රවිෂ්ට වන්නේ 20-20 තරග පිටියේ සිටින ප්‍රබලම පිතිකරුවන් කීප දෙනෙක් සමගින්. ඩේවිඩ් වෝනර්, ඇරන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වෙල්, ජේම්ස් ෆෝක්නර් යන පිතිකරු ලැයිස්තුවට අභියෝග කිරීම අනෙක් කණ්ඩායම් වලට ඉතා අසීරු කාරණයක් වනවා නොඅනුමානයි. එමෙන්ම ෂේන් වොට්සන් හට ඉන්දීය තණ තීරු වල ඇති පල පුරුද්දද ඔවුන්ට වාසියක් බවට පත්වනු ඇති. කෙසේ නමුත් ඉන්දීය තණ තිරි වලට ගැලපෙන පළපුරුදු දග පන්දු යවන්නන්ගේ අඩුව මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට අභියෝගයක් වනු ඇති. ස්ටීවන් ස්මිත් මෙවර 20-20 ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාවට නායකත්වය ලබා දෙනු ඇති.
පකිස්ථානය
2009 වසරේ 20-20 ලෝක ශුරයින් බවට පත් වූ පකිස්තානු කණ්ඩායම තරගාවලිය තුල සිටින අනාවැකි පල කිරීම අපහසුම කණ්ඩායම වශයෙන් සමහරක් විචාරකයින් හදුන්වාදී තිබේ. ආරක්ෂක හේතුන් මත පකිස්තානු කණ්ඩායම තරගාවලියට සහභාගී වීම පිලිබදව, මතභේදකාරී තත්වයක් හටගෙන තිබුනත් බලධාරීන් මේ වනවිට ගැටලුව සමතයකට පත්කරගෙන තිබේ. නවසීලන්තය සහ එංගලන්තය සමග පවතී තරගාවලි පරාජය වීම, ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වෙමින් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් නොලැබීම යන කරනා හමුවේ පකිස්ථානයේ මැතකාලින දස්කම් ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් පකිස්ථානයේදී පැවැත්වෙන 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය පකිස්තානු ක්‍රීඩකයින්ට 20-20 පිටිය තුල තම දස්කම් ඔපමට්ටම් කරගැනීමට හොඳ අවස්ථාවක් වූ අතර 20-20 පිටියේ ඇත දැකීම ඇති ක්‍රීඩකයින් රැසක් සමගින් ඔවුන් මෙවර තරගාවලියට එක්ව තිබේ.
සහිඩ් අෆ්රිඩි පකිස්තානු කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, 20-20 තරග 94 කදී ඔහු පකිස්තානු කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති බව සදහන්.
නවසීලන්තය
ක්‍රිකට් පිටියේ සිටින තවත් පෙරළිකාර කණ්ඩායමක් වන නවසිලන්තයටද මෙම තරගාවලිය තුල ඇති ප්‍රධානම අභියෝගය වන්නේ ඉන්දීය තණ තීරු වල අත්දැකීම් නොමැති කමයි. එමෙන්ම ඔවුන් සතු වූ සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ඔවුන්ට මෙම තරගාවලිය තුලදී විශාල අඩුවක් බවට පත්වනු ඇති. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශුරයින් බවට පත් වූ නවසීලන්තයේ දස්කම් සුළුකොට තැකිය නොහැකි අතර මෙවර තරගාවලිය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 79කට සිමා කරමින් අත්කරගත් ජයග්‍රහණය ඊට කදිම උදාහරණයක්. මෙවර 20-20 ලෝක කුසලානයේදී නවසිලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කේන් විලියම්සන් විසින්.

බංග්ලාදේශය
මෑත වසර කීපය තුලදී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති බංග්ලාදේශ දෙස, මෙවර 20-20 ලෝක කුසලානයේදී බොහෝ දෙනෙක් ඉතා විමසිල්ලෙන් බල සිටිනු නොඅනුමානයි. පසුගියදා නිමාවට පත් වූ 20-20 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය පරාජයට පත් කරමින් ඉන්දියාව සමග අවසන් තරගය සුදුසුකම් ලබන්නට බංග්ලාදේශය සමත් විය. මෑතකාලීනව ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් වලට එරෙහිව එක දින තරගාවලි ජයග්‍රහණ වාර්තා කර ඇති බංගලාදේශය මෙවර තරවලිය තුල පෙරලියක් ඇති කරනු ඇති බව විචාරක මතය වී තිබේ. මෂ්රෆි මෝර්ටසා විසින් මෙවර තරගාවලියේදී බංගලාදේශය මෙහෙයවනු ඇති.

