ලිංගික අතවර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂ කාමරයෙන් නෙරපා පැය 24ක් ගතවීමටත් පෙර, විපක්ෂ නායක Peter Dutton, ලිබරල් සෙනෙට් සභික David Van ට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කර තිබේ.
ලිබරල් සෙනෙට් සභික David Van කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ තමන්ට ලිංගික අතවර සහ ලිංගික හිරිහැර කළ බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ ස්වාධීන සෙනට් සභික Lidia Thorpe සහ ලිබරල් සෙනට් සභික Amanda Stoke සිදුකළ චෝදනාවලින් අනතුරුව විපක්ෂ නායක Peter Dutton මෙම ඉල්ලීම කර ඇත.

ලිබරල් සෙනෙට් සභික David Van ට එල්ල වී ඇති චෝදනා
ස්වාධීන සෙනෙට් සභික Lidia Thorpe 2021 වසරේදී තාමාට සිදුවුවා යයි පවසන ලිංගික අතවර සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ලිබරල් පක්ෂයේ සෙනෙට් සභික David Van හට මේ සතිය මුලදී චෝදනා කළාය.
හිටපු ලිබරල් පක්ෂ කාර්යාල සේවිකාවක් වන Brittany Higgins ගේ ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් සෙනෙට් සභාවේ විවාදයක් අතරතුර, සෙනෙට් සභික Thorpe විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ ඇතිවන විෂමාචාර ක්‍රියා පිළිබඳ ප්‍රකාශ කරන අතරේ මෙම චෝදනාව එල්ල කළාය.
සෙනෙට් සභික David Van තමාට හිරිහැර කළ නිසාත්, ලිංගික අතවර කළ නිසාත්, එවකට අගමැතිව සිටි ස්කොට් මොරිසන් තමාගේ කාර්යාලයට යාබදව පිහිටි David Van ගේ කාර්යාලය මාරු කළ බවත් Lidia Thorpe එහිදී සඳහන් කළාය.

නමුත් මේ චෝදනා ලිබරල් සෙනෙට් සභික David Van තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
සෙනෙට් සභික Thorpe ගේ චෝදනා මුල සිට අග දක්වා ගොතපු ඒවා බවත් ඇය තමා ගැන කරන චෝදනා කිසිවක් සත්‍ය නොවන බවත් තමා සහ ඇය අතර එවැනි දෙයක් සිදු නොවූ බවත් සෙනෙට් සභික David Van පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් ජුනි 15 වනදා බ්‍රහස්පතින්දා සවස, හිටපු ලිබරල් සෙනෙට් සභික Amanda Stoker ද සෙනෙට් සභික David Van ට ලිංගික හිංසා කිරීමේ චෝදනාවක් එල්ල කළාය.
2020 වසරේ දී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකව සිටියදී David Van තමාව නුසුදුසු ලෙස ස්පර්ශ කළ බව ඇය එහිදී කියා සිටියාය.
තමන් Amanda Stoker සමඟ "ඉතා මිත්‍රශීලී සහ විවෘත සංවාදයක්" සිදුකළ නමුත්, ඇය මතු කළ සිද්ධිය ගැන තමාට මතකයක් නැති බවත් එවැනි ක්‍රියාවක් තමන් කිසි දිනෙක සිදු නොකරන දෙයක් බවත් සෙනෙට් සභික David Van ජුනි 16 වනදා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

විපක්ෂ නායක Peter Dutton, David Van ට ඉල්ලා අස්වන ලෙස කියයි
මේ චෝදනා නිසා විපක්ෂ නායක Peter Dutton ජුනි 15 වනදා සෙනෙට් සභික Van ව ලිබරල් පක්ෂ කාමරයෙන් නෙරපා හරින ලද අතර, සෙනෙට් සභික Thorpe ගෙන් සහ ඊට පසුව මතු වූ තවත් චෝදනා නිසා ඔහුට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කළේය.
සෙනෙට් සභික David Van පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම "සියලු දෙනාගේම යහපත සඳහා" හේතුවන බව විපක්ෂ නායක Peter Dutton පැවසීය.
“ඔහුට ඉක්මනින්ම එය කිරීමට සහ ඔහුට අවශ්‍ය උපකාර ලබා ගැනීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් විපක්ෂ නායකවරයා ජුනි 16 වනදා 2GB ගුවන් විදුලියට පැවසුවේය.
ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමේ තීරණය අනුව එය ඊළඟ සුදුසු පියවරක් වනු ඇතැයි තමා සිතන බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

චෝදනා පිළිගැනීමට සහ ඉක්මන් තීරණ ගැනීමට වර්ණවාදය සහ ජාතිවාදය මුල්වූ බවට විවේචන
සෙනෙට් සභික Van චෝදනා කිරීමෙන් පසු ගත වූ පැය 48 බිහිසුණු කාලයක් ලෙස ජුනි 16 වනදා උදෑසන ABC ගුවන් විදුලියට අදහස් දක්වමින් සෙනෙට් සභික Thorpe විස්තර කළාය..
තමා අත් විඳි ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය පොලිසියට පැමිණිලි නොකළේ එය ආරක්ෂිත විකල්පයක් ලෙස හැඟෙන්නේ නැති නිසා බවත් තමාගේ ප්‍රකාශයට මාධ්‍ය ප්‍රතිචාර දැක්වීම ඉලක්ක කරගත් බවත් ඇය එහිදී විස්තර කළාය.
"එදා මම සම්පූර්ණයෙන්ම යක්ෂාවේශ වුණා, සත්‍ය කතා කිරීම නිසා මම අපරාධකරුවකු බවට පත්වුණා" යනුවෙන් ABC ගුවන් විදුලියේ උදෑසන වැඩසටහනට සෙනෙට් සභික Thorpe ප්‍රකාශ කළාය.
"සුදු ගැහැනියක් කතා කළාට පස්සේ තමයි මාධ්‍යයේ අවධානය මේ සඳහා යොමු කළේ. ඒක තමයි systemic racism හෙවත් සමාජයේ පද්ධතිමය ජාතිවාදය, වර්ණවාදය" යනුවෙන් ඇය එහිදී වැඩි දුරටත් සඳහන් කළාය.
සෙනට් සභික Lidia Thorpe යනු වික්ටෝරියානු ප්‍රාන්තය නියෝජනය කරමින් 2020 වසරේ සිට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සිටින සෙනට් සභිකයෙකි.
Lidia Thorpe ඇබෝර්ජීනියානු සම්භවයකින් පැවත එන තැනැත්තියක් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ෆෙඩරල් සෙනට් සභාවට තේරී පත්වූ පළමු ඇබෝර්ජීනියානු සෙනට් සභිකයා ලෙසද ඇය වාර්තා වේ.
හිටපු ලිබරල් සෙනෙට් සභික Amanda Stoker ද සෙනෙට් සභික David Van ට ලිංගික හිංසා කිරීමේ චෝදනාවක් එල්ල කරනතෙක් තමාගේ චෝදනාවලට නිසි අවධානයක් සහ බරක් නොලැබුණු බවත් Amanda සුදු ජාතික කාන්තාවක් සහ තමා ඇබෝර්ජීනියානු කාන්තාවක් නිසා ප්‍රතිචාරයේ එවැනි වෙනසක් සිදුවූ බවත් Lidia Thorpe පැවසුවාය.
ලිංගික අතවර සිදුවීම්වලින් 87% ක් ඔස්ට්‍රේලියාවේ පැමිණිලි නොකරන බව පැවසූ ඇය, “ජීවිත බේරා ගන්නා” සහාය සහ නීති සේවා සඳහා අමතර අරමුදල් ඉල්ලා සිටියාය.
