Key Points :
- වජිරට හිමිවූ වසරේ ගණකාධිකාරිවරයා ජාතික සම්මානය සහ එහි ඇති සුවිශේෂිත්වය
- වජිර ජයසූරිය පිළිබඳ තොරතුරු
- වජිරගේ සංක්‍රමණික පසුබිම සහ පවුල් පසුබිම
- නොනවත්වා සිදු කරන අධ්‍යාපන කටයුතු
- සරණාගත ප්‍රජාවටත් කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ටත් නොමිලේ සේවය සපයමින් වජිර සිදු කරන ප්‍රජා මෙහෙවර
SBS සිංහල ගුවන් විදුලිය සේවයෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සුවිශේෂී තොරතුරු නිරන්තරයෙන් වාර්තා කරනු ලබයි.
2022 වසර සඳහා වසරේ ගණකාධිකාරිවරයා - ජාතික සම්මානය හිමි කරගන්නේ ශ්‍රී ලාංකේය පසුබිමක් ඇති ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෙසෙන වජිර ජයසූරිය මහතායි.
මෙම සම්මානය හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික පසුබිමක් ඇති පුද්ගලයා වන ඔහුට මෙම සම්මානය හිමි වන්නේ ඔහුගේ වසර 12 ක ගිණුම්කරණ දිවියේ සාර්ථකත්වයේ ඇගයීමක් ලෙසයි.
වජිරට හිමිවූ වසරේ ගණකාධිකාරිවරයා ජාතික සම්මානය සහ එහි ඇති සුවිශේෂිත්වය
Austral accounts ආයතනයේ නිර්මාතෘ සහ හවුල්කරු වන වජිර ජයසූරියට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පසුගියදා පැවති Institute of Public Accountants ජාතික සම්මේලනයේදී "වසරේ ගණකාධිකාරීවරයා - ජාතික සම්මානය" හිමි විය. එම අවස්ථාවේදම ඔහුට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහා වසරේ ගණකාධිකාරීවයාට හිමි වන සම්මානයද එකම වේදිකාවක හිමි වීම සුවිශේෂීතාවයකි.
IPA යනු වසර 100 කට පමණ පෙර පිහිටුවන ලද ගණකාධිකාරීවරුන් සඳහා ඔස්ට්‍රේලියාවේ පැරණිතම නියෝජිත වෘත්තීය ආයතනයක් ලෙස පිළිගැනේ. එය ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරිවරුන් සඳහා ඇති වෘත්තීය ආයතන තුනෙන් එකකි.

IPA වෙතින් ලැබුණු මෙම ජාතික සම්මානය වජිරගේ වසර 12ක ගිණුම්කරණ දිවියේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහුට හිමි වී තිබේ.
ඔහු විසින් ප්‍රජාවට කරන ලද විශිෂ්ට සේවය, වෘත්තියට කරන ලද දායකත්වය, ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම්, අඛණ්ඩ පුහුණුවීම්, ව්‍යවසායකත්ව කුසලතා සහ ඔහුගේ සේවාදායකයින්ගේ ඔහුට ලැබුණු අනුග්‍රහයන් මෙම සම්මානය මගින් ඇගයීමට ලක් කර තිබේ
මෙම ගෞරවනීය සම්මානය දිනාගත් ශ්‍රී ලාංකේය පසුබිමක් ඇති පළමු පුද්ගලයා වන්නේ වජිර ජයසූරියයි.
වජිර ජයසූරිය පිළිබඳ තොරතුරු
වජිර ජයසූරිය රාජ්‍ය ගණකාධිකාරීවරයෙකු වන අතර ඔස්ට්‍රේලියාවේ Austral Accountants හි නිර්මාතෘ සහ ව්‍යාපාර සහකරුවෙකු වේ. ඔහු ඕස්ට්‍රේලියාවේ බදුකරණය, මූල්‍ය සහ කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ විශේෂඥයෙකු වන අතර වසර 12 කට වැඩි පළපුරුද්දක් දරයි.
ශ්‍රී ලංකාවේ කුලී රථ ඇනවුම් කිරීමේ යෙදුමක් වන Muve (ride-sharing app)හි සහ සංගීත කලාවේ රියැලිටි යෙදුමක් වන Audici (musiv reality app) හි සම-නිර්මාතෘවරයා වීම ඔහුගේ ව්‍යවසායක ජීවිතයේ විශේෂ අවස්ථා වේ.
වජිර කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇති අතර Ice-Skating Queensland Inc හි ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසද සේවය කර තිබේ.
පසුගිය වසර 15 තුළ විවිධ ව්‍යාපාරවල නිරත වෙමින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ඇති ඔහු වෙළඳ ව්‍යාපාර, පහසුකම් සේවා සපයන ආයතන outsourcing ආයතන සහ තොරතුරු තාක්ෂණ ආයතනය සදහා සිය විශේෂඥ දැනුම සපයා තිබේ.
වජිරගේ සංක්‍රමණික පසුබිම සහ පවුල් පසුබිම
ජාත්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ගණකාධිකාරිකරණයෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරීමට වජිර ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ 2007 වසරේදීය.
ලංකාවේ කිරිබත්ගොඩ උපන් ඔහුට සිය පියාගේ වාමාංශික දේශපාලනය නිසා එවකට සිය පවුලට ඇතිවූ විවිධ තර්ජන හේතුවෙන් ආරක්ෂාව සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශ 5 ක වරින් වර ජීවත් වීමට සිදුවී තිබේ.
අවසානයේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට යන ඔහු ඔහුගේ බිරිඳ ගිහානි සමඟ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම 2007 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

පශ්චාත් උපාධිය අවසන් කර නැවත ලංකාවට යාමේ අදහසින් සිටියත් පසුව එම තීරණය වෙනස් වුණ බවත් ඔහු දැන් සිය බිරිඳ ගිහානි සහ දියණියන් දෙදෙනා සමඟ ක්වීන්ස්ලන්තයේ සතුටින් පවුල් ජීවිතය ගත කරන බවත් ඔහු පැවසුවේය.
නොනවත්වා සිදු කරන අධ්‍යාපන කටයුතු
වජිර මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ද, ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, Central Queensland විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධි ඩිප්ලෝමාවක් ද, New England විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර උපාය සැලසුම්කරණය පිළිබඳ උපාධි සහතිකයක් ද ලබා ගෙන ඇත.
වර්තමානයේ ඔහු Southern Queensland Australia විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඔහුගේ වෘත්තීය ආචාර්ය උපාධිය හදාරමින් සිටී.
තවද, ඔහු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (IPA) ,
එක්සත් රාජධානියේ මූල්‍ය ගණකාධිකාරී ආයතනය (IFA)
ඔස්ට්‍රේලියාවේ ජාතික බදු සහ ගණකාධිකාරී සංගමය (NTAA) සහ ඔස්ට්‍රේලියානු බදු ආයතනය(FTI) යන වෘත්තීමය ආයතන වල සාමාජිකත්වය දරන අතර
එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියාවේ බදු වෘත්තික මණ්ඩලයේ (TPB) ලියාපදිංචි බදු නියෝජිතයෙකු වන අතර ASIC හි ලියාපදිංචි නියෝජිතයෙක් ද වේ.
ඕනෑම කෙනෙක් සිය වෘත්තීය ජීවිතය සමග සමාන්තරව සහ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදුකිරීම සිය ක්ෂේත්‍රය තුළ යාවත්කාලීන දැනුම ලබාගැනීමට සහ වෘත්තීය නිපුණත්වය ලබා ගැනීමට මහඟු පිටුවහලක් වන බව වජිර SBS සිංහල ගුවන්විදුලි සේවය වෙත පැවසුවේය.
සරණාගත ප්‍රජාවටත් කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ටත් නොමිලේ සේවය සපයමින් වජිර සිදු කරන ප්‍රජා මෙහෙවර
වජිර ඔස්ට්‍රේලියානු ප්‍රජාවට උපකාර කිරීම සඳහා ප්‍රාදේශීය සංවිධාන කිහිපයක් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.
එහිදී විශේෂයෙන්ම ඔහුගේ දැනුම සහ ප්‍රවීණත්වය අන් අය සමඟ නොමසුරුව බෙදා ගැනීමට ඔහු දායක වේ.
ඔහු ඔස්ට්‍රේලියාවේ Small Business Association of Australia හි ස්වේච්ඡා බදු උපදේශකවරයෙකු ලෙසද සිය ප්‍රජා මෙහෙවර සිදු කරයි.

වජිර විශ්වාස කරන්නේ සරණාගත ප්‍රජාවට සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය විශේෂඥ දැනුම නොමිලේ ලබා දීමට හැකි වීම සිය වෘත්තීය ජීවිතයේ ලද වටිනාම අවස්ථාවක් වන බවයි.
කුඩා පරිමාණ ව්‍යාපාර වල නිරත වීමට අවශ්‍ය කැමැත්ත, අත්දැකීම් සහ කුසලතා ඇති සංක්‍රමණිකයන් සහ සරණාගතයින් බොහෝ දෙනෙකු සිටින බවත් නිසි මග පෙන්වීම සහ වෘත්තීය උපදේශනය ඔවුන්ට අවශ්‍ය බවත් වජිර පෙන්වා දුන්නේය.
ඔහු විසින් අධ්‍යක්ෂ ධුරය හොබවන Small Business Counselling Australia නම් වූ ඔහුගේ නවතම සංවිධානය මගින්
ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර හිමියන්ගේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාර වන නොමිලේ උපදේශන ලබා දීමට වජිර බලාපොරොත්තු වේ.

