Latest

මෙල්බර්න්හි වෙසෙන උඩරට නර්තනයේ හිස වෙස් බැඳි ලොව ප්‍රථම මුස්ලිම් ජාතිකයා SBS සිංහල සේවයේ අපට කියූ කථාව

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වශයෙන්, ශ්‍රී ලාංකික කලාව සහ සංස්කෘතිය ඕස්ට්‍රේලියාවේ දී අත්විදීමට ලැබීම ඉමහත් සතුටක්. ලොව ප්‍රථම උඩරට වෙස් බැඳි මුස්ලිම් ජාතිකයා යැයි විශ්වාස කෙරෙන නර්තන ශිල්පියාව SBS සිංහල සේවයේ අපට මෙල්බර්න් නුවරින් හමු වුණා. ඔහු ශ්‍රී ලාංකික උඩරට නර්තන කලාවෙන් මෙන්ම ඉන්දීය භරත නර්තන කලාවෙනුත් එක ලෙස දස්කම් දක්වන අතිි දක්ෂ ගුරුවරයෙක්. නර්තන කලාව හරහා ජාති ආගම් බේද වලින් තොරව හුදු ශ්‍රී ලාංකිකත්වය පමණක් ශ්‍රී ලංකික ප්‍රජාවට තිළිණ කරන ඔහු නමින් රශාන් සම්සුල්.

The first Muslim person believed to be a Kandian Wes Dancer

Source: Supplied / Supplied

අද SBS සිංහල සේවයේ අපි නර්තනය, ගායනය, වේශ නිරූපණය, ඇඳුම් නිර්මාණය, ලාංකික විවාහ මංගල උත්සව මෙහෙයවීම, වේදිකා සැරසිලි යනාදී විවිධ කලා ක්‍ෂේත්‍රවල අති දක්ෂයෙකු හමු වනවා. ඔහු  නර්තනය හැදෑරීම කෙනෙකුට සුදුසු නොවන බව විශ්වාස කෙරෙන මුස්ලිම් පවුලකින් පැවත ඒම ඔහුගේ විශේෂත්වයයි. නමුත් ඔහු එම රීතිය බිඳ දමා නර්තනය හදාරන්නට පෙළඹෙනවා. ඒ අනුව  ඔහු දැනට විශ්වාස කෙරෙන පරිදි උඩරට නර්තනයේ සම්ප්‍රදායික වෙස් බැඳීම සිදු කරන ලද ලොව පළමුවන මුස්ලිම් පසුබිමක් සහිත පුද්ගලයා බවට පත්වනවා. මේ ඔහුගේ කතාවයි. 




මුස්ලිම් තරුණයෙක් ලෙස රශාන් නර්තන කලාව හදාරන්න මුල පිරීම සිදු වුණ ආකාරය.

මීට දශක දෙකකට ඔබ්බෙන් ලාංකික මුස්ලිම් තරුණයන් නර්තනයට යොමු වීම ඉතා දුලබ කරුණක්. එවැනි පසුබිමක පුංචි රශාන් පාසලේ පළමු වසරේ අධ්‍යාපනය හදාරන විට ඔහුගේ වැඩිමහල් සොහොයුරා එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. දහවල් 12.30ට පාසැල නිමා වුණත් පුංචි රශාන්ට තම සොහොයුරා පාසැල අවසන් වන තුරු පාසලේ නැටුම් කාමරය අසලට වෙලා ඉන්න සිදු වෙනවා. එතැනදී දිනක් රශාන්ට තම සොහොයුරා සාමාන්‍යපෙළ නර්තන ප්‍රයෝගික පරීක්ෂණය සදහා පුහුණුවීම් වල නිරත වෙනවා දකින්නට ලැබෙනවා. "මොකක්ද මේ , එක්කෙනෙක් සද්දෙට බෙරේට ගහද්දි, අනිත් අය එක එක හැඩේට අත් කකුල් තිය තියා කරන අපූරු වැඩේ?" පුංචි රශාන්ගේ හිතේ කුතුහලයක් හට ගන්නවා. එදා ඒ උපන්න ආශාව අද රශාන්ව නර්තනයේ පරතෙරටම රැගෙන යන්න මූල බීජය වූ බව ඔහු SBS සිංහල සේවයට පැවසුවා.
රශාන් වෙස් නර්තන ශිල්පියෙකු ලෙස
Source: Supplied / Supplied
ලොව ප්‍රථම මුස්ලිම් ජාතික උඩරට වෙස් නර්තන ශිල්පියා ගේ බිහිවීම.

පාසල් අවදියේ නර්තන අංශයෙන් හරි හරියට දස්කම් දක්වන රශාන් ට පාසල නියෝජනය කරමින් විවිධ නර්තන තරගාවලි සදහා සම්බන්ධ වන්නට අවස්ථාව උදා වෙනවා. එහිදී ජාතික මට්ටමේ නර්තන තරග සදහා සම්බන්ධ වීමේදී එක් අවස්ථාවක ඔහුට උඩරට වෙස් ඇදුම් කට්ටලය අනිවාර්යයෙන් පළදින්න වූ බව SBS සිංහල සේවයේ අපට රශාන් පැවසුවා. එහිදී හදහනක් වත් නොමැති රශාන්ට උඩරට චාරිත්‍රානුකූලව නැකතට වෙස් බැදීමේ අභියෝගයට මුහුණ පාන්නට සිදු වෙනවා. මන්ද යත් සාමාන්‍ය සම්ප්‍රදායට අනුව උඩරට වෙස් බැදීමේදී ශිල්පියාගේ හදහනට අනුකුලව නැකත් සදා චාරිත්‍රානුකූලව වෙස් බදිනු ලබන නිසා. 

උඩරට නර්තනය හදාරන ශිල්පියෙක්ට මුල් වරට වෙස් ඇදුම් කට්ටලය පැළදීම ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මේ සදහා නර්තන ශිල්පියා තුන් මසක් මස් මාංශ ඇතුළු 'කිලි' යැයි සැළකෙන සියල්ලෙන් ඈත්ව සිටීම අනිවාර්ය වෙනවා. මේ නිසා තුන් වේලම මස් මාංශ අනුභවයට හුරු වුණ රශාන්ගේ පවුලෙන් ඈත්ව ඔහු කෙටි කලකට තම නර්තන ආචාර්‍යවරියගේ නිවසේ නැවතී වෙස් මංගල්‍ය සදහා පේ වූ බව ඔහු SBS සිංහල සේවයට පැවසුවා.
හිස වෙස් පැළදි දිනය
Source: Supplied / Supplied
හිස වෙස් පැළදීමේ දිනය උදා වනවා. මෙම හිස වෙස් පැළදීමේ මංගල්‍යන් පවත්වන්නේ විහාරස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ. රශාන්ගේ පවුලට මෙම අවස්ථාව බොහොම වෙනස් අත්දැකීමක්. ඔවුන් පන්සලට පා තබද්දීම විහාරාධිපති ස්වාමින් වහන්සේ මයික්‍රෆෝනයෙන්; "ඔය එන ඇත්තියො කවුරුත් හිසට දාලා තියෙන මුංදානේ (මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණය) ගලවන්න ඕන නෑ ඔය විදියටම පන්සලට ආවානම් හොඳයි" යැයි වදාරමින් සියළු දෙනාව නිසි ගෞරවයට බදුන් කළ බව පවසමින් රශාන් SBS සිංහල සේවයේ අපත් සමග තම මතකයන් බෙදා ගත්තා. හිස වෙස් පළදන මොහිතේදී ද රශාන්ට උන්වහන්සේ ශුභ දිශාව වෙනුවට පෙනෙන තෙක් මානයේ ඇති පල්ලිය දෙස බලා ආශිර්වාද ලබා ගන්නා ලෙස ඔවදන් දෙනවා. ලොව පළමු මුස්ලිම් වෙස් නර්තන ශිල්පියා බිහිවූ එදින අන්‍යොන්‍ය ගෞරවය රකිමින් සංස්කෘතීන් දෙකක් බොහොම අපූරුවට මුසුවුණා.
 සම්ප්‍රදායික උඩරට මංගල උත්සවයක අෂ්ඨක ගයන්නා සහ නර්තන වේශ නිරුපන ශිල්පියෙක් ලෙස
සම්ප්‍රදායික උඩරට මංගල උත්සවයක අෂ්ඨක ගයන්නා සහ නර්තන වේශ නිරුපන ශිල්පියෙක් ලෙස Source: Supplied / Supplied
උඩරට වෙස් නර්තන කලාවෙන් නොනවතින රශාන් ඉන්දීය හින්දු භරත නර්තන කලාව හදාරන්නට යොමු වූ ආකාරය

නර්තන කලාව, ගායනය, වේශ නිරූපණය, රංග රචනය, රංගවස්ත්‍ර නිර්මාණය , වේදිකා සැරසිළි වැනි විවිධ අංශයන්ට උපන් හපන්කන් දක්වන මොහු තම පාසල් අවදියේදීම රියැලිටි තරගාවලි දෙකක් ජය ගන්නවා. ඉන් අනතුරුව ඔහුට  කොළඹ දී ඉන්දීය භරත නර්තන කලාව හදාරන්නට අවස්ථාව උදා වනවා. ඉන් නොනැවතුණු ඔහු ලොව අංක එකේ භරත නාට්‍යම් උසස් අධ්‍යාපනය ලබා දෙන කලාක්ෂේත්‍රා විශ්වවිද්‍යාලයට අයදුම්පත් යොමු කරනවා. නමුත් ඔහුගේ පවුලට සමාජයෙන් එල්ල වන යම් යම් බලපෑම් නිසාවෙන් ඔහුට නර්තනයෙන් උසස් අධ්‍යාපනය හදාරන්නට ඔහුගේ දෙමවුපියන් ඉඩ හසර ලබා දේවිදැයි ඔහු තුළ ඇති වුණේ චකිතයක්. මේ හේතුවෙන් ඔහු තමන්ට මෝස්තර නිර්මාණකරණය හැදෑරීම සදහා ඉන්දියාවට යාමට අවශ්‍ය බව ඔහුගේ දෙමවුපියන්ට පවසනවා. යහපත් සිතින් පුංචි බොරුවක් කියූ ඔහ ු අන්‍යන්ගේ උපකාරයෙන් ද ඉතා තරුණ වියේදී ම තමන් ද උපයාගත් මුදල රැගෙන සම්මුඛ පරීක්ෂණය සදහා ඉන්දියාව බලා පිටත් වනවා. එහි දී පෙන්වූ දස්කම් හේතුවෙන් ඔහුට දෙවන වසර සදහා උසස්වීමක් සමගම තම උපාධිය හැදෑරීම ආරම්භ කිරීමට අවස්ථාව උදා වූ බව ඔහු SBS සිංහල සේවයට පැවසුවා..
රශාන් හින්දු භරත නර්තනයේ  යෙදෙමින්
රශාන් හින්දු භරත නර්තනයේ යෙදෙමින් Source: Supplied / Supplied
ඕස්ට්‍රේලියාවට පැමිණ ඕස්ට්‍රේලියාව තුළ වෙසෙන ශ්‍රී ලාංකික ජාතීන් අතර සංහිදියාව ඇති කරන්නට රශාන් නර්තනය මාධ්‍යක් කර ගන්නා ආකාරය

2015 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි රශාන් එක ළමයෙක්ට මාස ගණනාවක් නර්තනය උගන්වනවා. ඉන් පසු ටිකෙන් ටික දරුවන් ඔහු ළගට නර්තනය හදාරන්නට යොමු වනවා. සාම්ප්‍රදායික නර්තනයට මුල් තැන දෙන මොහු දරුවන්ගේ නර්තන කළ එළි මංගල්‍ය, අරංගේත්‍රම් උත්සව ද පවත්වමින් දශකයකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව තුළ නර්තන පාසලක් පවත්වනවා. ඕස්ට්‍රේලියාවේ තම නර්තන දිවියට දශකයක් සපිරීම නිමිත්තෙන් ඔහු දළදාව වටා ගෙතුණු නර්තන නාට්‍යක නිර්මාණ කටයුතුද සිදු කරමින් සිටිනවා.

ඔහුගේ වචන වලින් නර්තනය සහ ආගම අතර ඇති සම්බන්ධය ඔහු හරිම අපුරු ආකාරයකට SBS සිංහල සේවය හරහා පෙන්වා දෙනවා; 'නර්තනයයි ආගමයි පටලව ගන්න එපා. නර්තන කියන්නෙ මිනිස් සංහතියටම ඇදහිය හැකි ආගමක්. නර්තනය ඇතුලේ විවිධ ආග්මික දේවල් දකින්න තියෙනවා. එත් නර්තන බාර සර්ව ආගමික දෙවියෙකුට කියල තමයි මම විශ්වාස කරන්නේ '.
ලාංකික උත්සව හා බැදි නර්තන අංගයන්
Source: Supplied / Supllied
ඔහු සියළු දරුවන්ට පවසන්නේ, නර්තන කලාව යනු අපේ ලාංකික උරුමයක් වන නිසා එය හදාරන්නට කිසිදු කෙනෙක් පසුබට විය යුතු නැති බවයි. ඔහු බුදුන් වහන්සේ, අල්ලා දෙවියන්, ශිව දෙවියන් වැනි විවිධ ආගමික විශ්වාසයන්ට අයත් චරිත අලලා නර්තනාංග නිර්මාණය කරනවා. එහිදී සියළු දරුවන්ට තමන්ගේ ආගම මෙන්ම අනෙකුත් ආගම් පිළිබඳවත් අවබෝධයක් සහ ගරුත්වයක් ඇති වනවා. එමෙන්ම ඔහු තම සිසුන් සමග සිංහල හිංදු අවුරුදු චාරිත්‍ර , ආගමික උත්සව වැනි විශේෂ අවස්ථා සදහා නර්තනය යොදා ගනිමින් නිර්මාණ සිදු කරනවා. එහිදී අදාළ සංස්කෘතීන්ට අයත් බාහිර දැණුමටද දරුවන් නිරාවරණය  වන බව රශාන් SBS සිංහල සේවයේ අප සමග සිය අත්දැකීම් බෙදා ගත්තා. එය ශ්‍රී ලාංකික ප්‍රජාවන් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය ඇති කිරීමට ඉතා හොද තෝතැන්නක් වනවා නොඅනුමානයි.

නර්තනාචාර්ය වරයෙක් ලෙස ඔහු සමාජයට දෙන පණිවිඩය

තරගකාරී ලෝකය  තුළ හැල්මේ දුවන පුංචි දරුවන් හට ළමා කාලයේ රස විදින්නට, ඔවුන් තුළ වූ කළාකරුවා හදුනා ගන්නට දරුවන්ට කලාව පිළිබඳ අධ්‍යාපනය ලබා දීම වටිනා දායාදයක් බව රශාන් පවසනවා. දරුවන් තුළ විනය ඇති කරන්නට, අනෙකා සමග එක්ව කටයුතු කරන්නට දරුවන්ට එයින් මනා පිටුවහලක් ලැබෙන බව ඔහු පවසනවා.

එමෙන් ම, සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තන කලාව දිගින් දිගටම වෙනස් කරමින් ඉදිරියට ගෙන ගියහොත් අනාගතයේදී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදායක් මීළග පරම්පරාවලට දැක ගැනීමට ඉතුරු නොවෙන නිසා අපේ ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදාය විකුර්ති නොකර ඇති සැටියෙන්  ඉදිරි පරම්පරාවලට දායාද කරන ලෙස ඔහු SBS සිංහල සේවය හරහා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Share

Published

Updated

By Kavindya Umayanganee Chandrasoma
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙල්බර්න්හි වෙසෙන උඩරට නර්තනයේ හිස වෙස් බැඳි ලොව ප්‍රථම මුස්ලිම් ජාතිකයා SBS සිංහල සේවයේ අපට කියූ කථාව | SBS Sinhala