ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය 2017 වසරේ නොපැවැවෙන බවත් එය නිසැක වශයෙන් 2018 වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
2018 වසරේ ජනවාරි 6 හෝ 20 හෝ 21 යන දිනවල මැතිවරණය පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙන බවද ඔහු පැවසීය.
තම කොමිසම මෙම මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීමට කැමති නමුත් දේශපාලන පක්ෂ වලට තම අපේක්ෂකයින් තෝරාගැනීමට කාලයක් දීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම නව මැතිවරණ පනත අනුව අපේක්ෂක නාම ලේඛන වලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී ඇති බවත් එසේ නොමැති වුවහොත් එම නාම ලේඛන ප්‍රතික්ෂේප වනු ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඊයේ (12/09) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති උත්සවයකදී ය.

