T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට අයර්ලන්තය සමග පැවති තරගය ජයග්‍රහණය කර පළමු ඛාණ්ඩය තුළ ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 2.467 ක් සමග දෙවැනි තැනට පත්ව තිබේ.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාවට තවත් තරග 4 ක් ඉතිරිව ඇති අතර ඒවා පර්ත්, සිඩ්නි සහ බ්‍රිස්බේන් හීදී ක්‍රීඩා කිරීමට නියමිතය.
සුපිරි 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය අද (ඔක්තෝබර් 25) ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් රාත්‍රී 10 ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතය.
මෙම තරගය පර්ත් නුවර Optus ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකාව මීළඟට තරග වදින ක්‍රීඩා පිටි සහ තණතීරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.

පර්ත් නුවර Optus ක්‍රීඩාංගනය
සුපිරි 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය අද (ඔක්තෝබර් 25) ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් රාත්‍රී 10 ට ඔස්ට්‍රේලියාව සමග මෙම ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
2018 වසරේ ජනවාරි 21 වන දින විවෘත කරන ලද මෙම නව Optus ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු ක්‍රිකට් තරගය ලෙසද මෙය වාර්තා වේ.
මෙහි පළමු ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර 2019 නොවැම්බර් 8 වනදා පැවැත්වුණු අතර ඔස්ට්‍රේලියාව එහිදී කඩුලු 10 ක විශිෂ්ට ජයක් අත්කරගත්තේය.
මේ දක්වා මෙම ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරග 6 ක් පමණක් පවත්වා ඇති අතර එම තරග හයෙන් පහක්ම ජයග්‍රහණය කර ඇත්තේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම බව සඳහන්.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
60,000 ක පමණ ප්‍රේක්ෂක ධාරිතාවක් සහිත මෙම පර්ත් Optus ක්‍රීඩාංගනය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රමාණයට සමාන බව වාර්තා වේ.
මෙහි තණ තීරුව වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණ තීරුවක් බවත් බොහෝ විට පන්දුව ඉපිලීමේ ස්වභාවයක් ගන්නා බවත් ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු, වර්තමානයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු, Melbourne Cricket Coaching හි ප්‍රධාන පුහුණුකරු ප්‍රබාත් නිස්සංක මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එමෙන්ම මෙහි යාර 30 සීමාවෙන් ඔබ්බෙහි කලාපය ඉතා වේගවත් බවද වාර්තා වේ.
ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරගයකදී මෙම ක්‍රීඩාංගනයේ පන්දු වාරයකට ලබාගත හැකි ලකුණු ප්‍රමාණය සාමාන්‍යයෙන් 7.92 ක් වන බව ESPN Cricinfo වෙබ් අඩවිය සඳහන් කරයි.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය
සුපිරි 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන තරගය ඔක්තෝබර් 29 වනදා නවසීලන්තය සමග සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
එමෙන්ම සුපිරි 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ද නොවැම්බර් 5 වනදා එංගලන්තය සමග මෙම ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
ලෝකයේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාංගනවලින් එකක් ලෙස හැඳින්වෙන මෙම සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් වාසනාවන්ත ක්‍රීඩාංගනයක් බව Melbourne Cricket Coaching හි ප්‍රධාන පුහුණුකරු ප්‍රබාත් නිස්සංක මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
T20 ක්‍රිකට් තරගවල මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පසුව ඔස්ට්‍රේලියාවේ දෙවන වේගවත්ම ලකුණු ලබා ගැනීමේ ක්‍රීඩාංගනය ලෙස මෙය වාර්තා වේ.
ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරගයකදී මෙම ක්‍රීඩාංගනයේ පන්දු වාරයකට ලබාගත හැකි ලකුණු ප්‍රමාණය සාමාන්‍යයෙන් 8.24 ක් වන බව ESPN Cricinfo වෙබ් අඩවිය සඳහන් කරයි.
කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගනවල සහ තණ තීරුවල ස්වභාවය බොහෝ විට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දක්නට ලැබෙන බව ප්‍රබාත් පැවසුවේය.
පිතිකරුවන්ට පාරාදීසයක් වන මෙම ක්‍රීඩාංගනය දඟ පන්දු යවන්නන්ට ද මහත් වාසි ගෙන දෙන බව ඔහු ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් මෙම ක්‍රීඩාංගනයේ T20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් අවම ලකුණු 150 ක සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා බවද ඔහු පැවසීය.
මේ හේතු නිසාම සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවට බොහෝ වාසිදායක ක්‍රීඩාංගනයක් බවද ප්‍රබාත් වැඩි දුරටත් සඳහන් කළේය.
මෙහි දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 36% ක් බවද වාර්තා වේ.

බ්‍රිස්බේන් Gabba ක්‍රීඩාංගනය
බ්‍රිස්බේන් Gabba ක්‍රීඩාංගනය වේග පන්දු යවන්නන් සඳහා එතරම් යහපත් ක්‍රීඩාංගනයක් නොවන බවට ක්‍රිකට් විචාරකයෝ පවසති.
මන්ද මෙම ක්‍රීඩාංගනයේ වේග පන්දු යවන්නන්ට ලකුණු ලබා ගැනීමේ වේගය 8.65 ක් ලෙස සටහන් වන නිසාවෙනි.
T20 තරගයක අඩුම හතරේ සහ හයේ පහරවල් එල්ල කිරීම අතින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පමණක් මෙය දෙවැනි වන බව ESPN Cricinfo වෙබ් අඩවිය සඳහන් කරයි.
පෙර සිටම මෙය පිතිකරුවන්ගේ පාරාදීසයක් බවත් කෙසේවෙතත්, පෙරට වඩා මෙහි තණ තීරුව පන්දු යවන්නන්ට දැන් සහයක් දෙන බවත් Melbourne Cricket Coaching හි ප්‍රධාන පුහුණුකරු ප්‍රබාත් නිස්සංක මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
පසුගිය වසර දෙක තුළ ලෝක කුසලානයකදී ක්‍රීඩකයකු ශතකයක් වාර්තා කර නොමැතිව එකම ක්‍රීඩාංගණය ලෙසද මෙය සඳහන්.
මෙහි දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 45% ක් බවද වාර්තා වේ.

