ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හට ඇප ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම එළඹෙන අප්‍රේල් 07 වන දින කැදවීමට අභියාචනාධිකරණය අද (04/04) නියෝග කළේය.
අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු මෙම පෙත්සම අද දින කැදවීමට තිබුණද මෙය විභාගයට ගන්නා විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් විනිසුරුවරයෙකු නොපැමිණීම හේතුවෙන් එය කල් ගිය බව වාර්තා වේ.
මෙම පෙත්සමේ වග උත්තරකරු වන නීතිපතිවරයාට අප්‍රේල් 07 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටීමට අද නොතීසි නිකුත් කරනු ලැබිණි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය ඇප ලබා නොදීම නීතියට අනුකූල නොවන බව දන්වමින් මන්ත්‍රීවරයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.
ඊයේ (03/04) දිනයේද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබා ගැනීම සදහා අවස්ථා දෙකකදී ඇප ඉල්ලීම් දෙකක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නමුත් එම ඇප ඉල්ලීම් ද්විත්වයම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

