පසුගිය දා ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් 2023 වසර සදහා ජාතික මට්ටමේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුරේකා ත්‍යාගය දිනා ගැනීමට සමත් වන ඔහු නමින් කරු එස්සැල්ලේ. මෙම 'යුරේකා' සම්මානය මෙරට විද්‍යා ක්ෂේස්ත්‍රයේ 'ඔස්කාර්' සම්මාන උළෙල ලෙසට ද හැඳින්වෙන්නේ එය විද්‍යා ක්ෂේස්ත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන විශේෂ සම්මානයක් වන බැවිනි.
මේ වන විට University of Technology Sydney හි Electromagnetic & Antenna engineering පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන ඔහු විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක් ද වේ.

Key Points
- කීර්තිමත් මහාචාර්ය කරූට හිමි වූ "යුරේකා" සම්මානයේ විශේෂත්වය
- මේ සුවිශේෂී සම්මානය කරූට හිමි වීමේ විශේෂතා
- ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සම්මානනීය පර්යේෂණයේ තොරතුරු
- මහාචාර්ය කරූ ඔස්ට්‍රේලියාවේ "Seriel Winner" කෙනෙක් වුනු අයුරු
- මහචාර්ය කරූ පැමිණි විශිෂ්ටත්වයේ මාවත
- මහචාර්ය කරූගේ පවුල් පසුබිම, ඔහු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ආකාරය සහ ඔහුගේ වත්මන් දායකත්වය
- කීර්තිමත් මහාචාර්යවරයාගෙන් අපේ ප්‍රජාවට, පණිවිඩයක්
කීර්තිමත් මහාචාර්ය කරූට හිමි වූ 'යුරේකා' සම්මානයේ විශේෂත්වය
මෙම සම්මානය විද්‍යාව සඳහා ඔස්ට්‍රේලියාවේ ලබා දෙන උසස්ම සම්මානය වේ. The Australian Museum Eureka Prizes යනු පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18 කින් ඇගයීමට ලක් කෙරෙන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් විද්‍යා සහ තාක්ෂණ සම්මාන උළෙලයි. ඒ නිසාම එය Oscars of Australian Science ලෙස ද හඳුන්වනු ලබයි.
2023 වසරේ යුරේකා සම්මාන උලෙළේ විද්‍යා අංශය සදහා පිදෙන ජාතික මට්ටමේ විශිෂ්ටතම සම්මානයක් වන Department of Defense Eureka prize for Outstanding science in safeguarding Australia යන සම්මානය කරූ නායකත්වය ලබා දුන් පර්යේෂණ කණ්ඩායමට හිමි වීම ඉතාමත් සුවිශේෂී මෙන්ම ඉතාමත් වැදගත් අවස්ථාවක් වේ
මේ සුවිශේෂී සම්මානය කරූට හිමි වීමේ විශේෂතා
යුරේකා සම්මානයක් කරූ වැනි ඉංජිනේරුවන්ට හිමි වන්නේ ඉතාම කලාතුරකින් වීම මෙහි ඇති එක් විශේෂත්වයකි.
විද්‍යා සම්මාන සඳහා යොදා ගන්නා නිර්ණායක ඉංජිනේරු සම්මාන වලට වඩා වෙනස් නමුත් මෙම විද්‍යා සම්මානය ඔවුන්ට හිමි වූයේ ඔහු ඇතුළු කණ්ඩායම සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල ඉංජිනේරු කෝණයෙන් මෙන්ම විද්‍යා කෝණයෙන් බැලුවත් ඉතාම වැදගත් වන නිසා බව කීර්තිමත් විශ්වාස කරයි.
කරූ විසින් නායකත්වය ලබා දෙන University of Technology Sydney හි මෙම ජයග්‍රාහී MetaSteerers නම් පර්යේෂණ කණ්ඩායමේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය අපේ ප්‍රජාවට අයත් තවත් පර්යේෂකයන් කිහිප දෙනෙක් සිටීමද ප්‍රජාවක් ලෙස අපට සුවිශේෂී මෙන්ම මහත් ආඩම්බරයක් ගෙන දෙන කරුණකි.
මෙම සම්මානය සඳහා කරූ ඇතුළු කණ්ඩායම නම් කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ගගනගාමියා වන Scully Power මහතා වන අතර මෙම සම්මානය ප්‍රදානය කරන ලද්දේ ඔස්ට්‍රේලියාවේ සහකාර ආරක්ෂක ඇමති Matt Thislethwaite මහතා විසිනි.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සම්මානනීය පර්යේෂණයේ තොරතුරු
ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යංශයේ Defense Science and Technology අංශය මගින් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා අවශ්‍ය විද්‍යාව හා තාක්ෂණය දියුණු කරනු ලබන අතර මහාචාර්ය කරූ එස්සැල්ලේ එම අංශයේ සිටින විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් සමග වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කරමින් සිටී.
මෙම සම්මානනීය පර්යේෂණය වසර 4ක් පුරා සිදු කරන ලද කරන ලද අතර එම පර්යේෂණ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බැවින් මෙසේ සම්මානයට පාත්‍ර වී තිබේ.
මෙම පර්යේෂණ ඇසුරින් සොයා ගත් ක්‍රමය Meta steering නම් වන අතර ඒ හේතුවෙන් ඔහු ඇතුළු පර්යේෂණ කණ්ඩායම MetaSteerers ලෙස නම් කොට තිබේ.
——————————————————————————————————————
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
- SBS Audio APP එකෙන් (Free)
——————————————————————————————————————
MetaSteerers කණ්ඩායමට මහචාර්ය කරූ සේවය කරන University of Technology Sydney(UTS) , Australian Defense Science and Technology Group (DSTG) සහ Macquarie විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් වේ.
මෙම නව ක්‍රමය මගින් ඇන්ටනාවක් වෙත පැමිණෙන කිරණ වල ගමන් කරන දිශාව වෙනස් කරනු ලබයි. ආරක්ෂක සේවාව සඳහා භාවිතා කරන උපකරණ සඳහා මෙම නව ක්‍රමය ඉතා අත්‍යාවශ්‍ය වේ.
ඝන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය අනුකරණය කරන අතිශය තුනී තැටි එනම් metasurfaces ඇන්ටෙනා පද්ධති වල භාවිතා කිරීම මගින් ආරක්ෂක සන්නිවේදනය සහ නිරීක්ෂණ වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිතව සහ නිරවද්‍ය ලෙස සිදු කරනු ලැබේ.
ඔවුන් දියුණු කළ මෙම නව තාක්‍ෂණය මගින් ඇන්ටනා පද්ධති වල තුනී නමුත් පුළුල් පරාසයක දත්ත සම්ප්‍රේෂණය කළ හැකි අතර දිශාවන් පරාසයක් පුරා දත්ත මෙහෙයවීමට ද මෙමගින් හැකි වී තිබේ.
මෙම නව ක්‍රමයෙන් පෙර නොවූ විරූ ආකාරයේ ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති කරන අතර මෙමගින් ඉදිරියේදී රටේ ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය වෙනස්ම ආකාරයකට සිදු කිරීමට හැකි වනු ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධ පර්යේෂණයක් වන බැවින් මෙම පර්යේෂණය සහ ප්‍රතිඵල ගැන ඉදිරිපත් කළ හැකි තොරතුරු සීමා සහිත වන බවද වගකිවයුතු පර්යේෂකයෙක් ලෙස ඔහු වැඩිදුරටත් SBS සිංහල ගුවන්විදුලි සේවය වෙත පැවසුවේය.
මහාචාර්ය කරූ ඔස්ට්‍රේලියාවේ "Seriel Winner" කෙනෙක් වුණේ මෙහෙමයි
මහාචාර්ය කරූට ජාතික මට්ටමේ සම්මාන සහ ඇගයීම් හිමි වන ප්‍රථම අවස්ථාව මෙම යුරේකා සම්මානය නොවන අතර ඔහුට ඔහුගේ පර්යේෂණ සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට ගණයේ සම්මාන හා ඇගයීම් රැසක් දිගින් දිගටම හිමි ව තිබේ.

පර්යේෂණ වලින් පමණක් නොව සම්මාන අතිනුත් තමා ඉතා සාර්ථක වී ඇති බැවින් ඒ පිළිබඳව සතුටට පත් වන බව මහාචාර්ය කරූ පැවසීය.
ඔහුගේ පර්යේෂණ කටයුතු සාර්ථක කර ගැනීමට බොහෝ පිරිසක් උදව් වූ බව පැවසීමට තරම් නිහතමානී වූ ඔහු ඒ සැමටම ස්තුතිය පල කර සිටියේ ඔවුන් නොසිටින්නට මේ එක් සම්මානයක්වත් හිමි නොවීමට ඉඩ තිබුණු බව පවසමිනි.
එමෙන්ම මෙම යුරේකා සම්මානය ලැබීමට හේතු වූ ඔහු නායකත්වය දැරූ පර්යේෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයින් 12 දෙනා ද ආදරයෙන් සිහිපත් කිරීමටද ඔහු අමතක නොකළේය.
මේ වන විට සිය පර්යේෂණ කටයුතු සහ වෘත්තීය සාර්ථකත්වය උදෙසා සම්මාන 25කට වැඩි ගණනක් හිමි කර ගෙන ඇති කරූ පසු ගිය අවුරුදු දෙකක පමණක් හිමිවූ සම්මාන කිහිපයක තොරතුරු අප සමඟ බෙදා ගත්තේය.
ඒ අතරින් Engineers Australia ජාතික කමිටුවෙන් ලබා දෙන Professional Engineer of the year 2022 සම්මානය ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයෙකුට ලබා ගත හැකි උසස්ම සම්මානය වේ.
2022 වසරේදී ම මහාචාර්ය කරූට Australia Space Award සම්මාන උළෙලේදී Academic of the year සම්මානය හිමිව ඇති අතර එම සම්මාන උළෙලේදීම සම්මාන ලැබූ සියල්ලන්ගෙන්ම විශිෂ්ටතමයාට පිදෙන "Best of the winners" Excellence award හිමි කර ගත්තේද මහචාර්ය කරූ එස්සෙල්ලේ විසිනි.

මහාචාර්ය කරූ එස්සැල්ලේ සම්මාන උළෙලකදී විශිෂ්ටයන් අතර විශිෂ්ටතමයා වූ පළමු අවස්ථාව ද එය නොවූ අතට ඊට පෙර 2021 වසරේ දී Australian Defense Industry Award සම්මාන උළෙලේදී මෙසේ ද්විත්ව සම්මාන වලින් පිදුම් ලැබීමට ඔහු සමත් වී තිබේ.
කරූ විසින් ඔස්ට්‍රේලියානු යුරේකා සම්මාන උළෙලක සම්මානයක් හිමිකර ගන්නා පළමු අවස්ථාව ද මෙය නොවේ.
තරුණ පර්යේෂකයන්ට මග පෙන්වමින් සිදු කරන විශිෂ්ට සේවය වෙනුවෙන් 2021 වසරේදී Australian national Eureka Prize for the Outstanding Mentor of Young Researchers අවසන් වටයට තේරී පත් වීමෙන්ද 2020 වසරේදී එම කාණ්ඩයේම දෙවන ස්ථානයට පත් වීමෙන්ද ඔහු මීට පෙර දෙවරක්ම යුරේකා සම්මාන උළෙල වලදී ඇගයීමට පාත්‍ර වී තිබේ.
මේ සම්මාන නිසා සමහරු මට nick name දාන්නත් පටන් ගත්තා.එක වාර්තාවක මාව Award Magnet කියලත් හදුන්වල තිබුණා.තව තැනක මාව Seriel Winner කියල හදුන්වා දීලා තිබුණා. බය වෙන්න එපා Seriel killer නෙවෙයි. Seriel Winner.
මහාචාර්ය කරූ SBS ගුවන් විදුලි සේවය සමඟ පැවසූයේ සිනාවක් ද එක් කරමිනි.
මහචාර්ය කරූ පැමිණි විශිෂ්ටත්වයේ මාවත
අනෙකුත් සංක්‍රමණිකයන් මෙන්ම අළුත් රටකට පැමිණ අළුත් රැකියාවක් පටන් ගැනීම කරූටත් අභියෝගයක් වූ නමුත් ඔහු මෙසේ සාර්ථක වීම පිටුපස හේතු කිහිපයක් ඇති බව ඔහු පැවසීය.
විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහ වෙනත් රට වල සිටින සුදුසුම සගයන් තෝරා ගැනීම සිය සාර්ථකත්වයට එක් හේතුවක් වූ බව ඔහු විශ්වාස කරයි. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ CSIRO ආයතනයේ ඉතාම දක්ෂ විද්‍යාඥයන් සමග මෙන්ම ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව, චීනය වැනි රටවල විශ්ව විද්‍යාල සමග එක්ව ඔහු සිය පර්යේෂණ කටයුතු සිදු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඉංජිනේරුවෙක් ලෙස ඔහු විසින් ඔස්ට්‍රේලියාව දියුණු කිරීමට මෙම ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ වෙනස්වන දේශපාලන අභිමතාර්ථ කෙරෙහි අවධානය යොමු කළ බවත් රටේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට සිය පර්යේෂණ වල ක්‍රමෝපායන්ගේ දිශානතිය වෙනස් කළ බවත් ඔහු පැවසුවේය.
එක් කලකදී රටේ අවශ්‍යතාවය වූ biomedical devices සඳහා ඔහුගේ පර්යේෂණ වල ප්‍රමුඛත්වය ලබා දෙන ඔහු ඉන් පසු අභ්‍යවකාශ තාක්ෂණයන්ට සහ ආරක්ෂක තාක්ෂණයන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ.මෙසේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි පර්යේෂණ වල strategic direction හඳුනා ගැනීම ඔහුගේ සාර්ථකත්වයේ එක් රහසකි.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයන්ගේ ගැටළු විසදීමට මහාචාර්ය කරූ දැරූ උත්සාහය
මේ දින වල රටේ ප්‍රධාන ගැටළුවක්ව පවතින දුර්වල අන්තර්ජාල සේවා දියුණු කිරීම වෙනුවෙන් මහාචාර්ය කරූ විශේෂ උත්සාහයක් දරමින් සිටී. දුර්වල අන්තර්ජාල සේවා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, හදිසි සේවා ,ව්‍යාපාර ආදී සියල්ලටම බාධාවක් වන බවත් දියුණු වෙමින් පවතින රටවල පමණක් නොව ඔස්ට්‍රේලියාව කැනඩාව වැනි විශාල දියුණු රට වලට ද පොදු බාධාවක්ව පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රධාන නගර වල ගැටළුවක් නොවුණත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රාදේශීය ප්‍රදේශ වල අන්තර්ජාල සේවා දුර්වලතා විශාල ගැටළුවක්ව පවතී.
මෙම අන්තර්ජාල සේවා වැඩි දියුණු කිරීමට ඔස්ට්‍රේලියානු විසඳුමක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන පර්යේෂණ ඔහු විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන ඉංජිනේරු හා විද්‍යාඥයන්ගේ කාර්යාලයත් තවත් ආයතන කිහිපයක් හා එක්ව සිදු කරනු ලබයි.
මෙම පර්යේෂණ මගින් නුදුරු අනාගතයේදී අන්තර්ජාල සේවා වැඩිදියුණු කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ පළමු වාසීන් වන ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ බොහෝ ගැටළු විසදීමට හැකිවනු ඇතැයි මහාචාර්යවරයා අපේක්ෂා කරයි.
කරූගේ පවුල් පසුබිම, ඔහු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ආකාරය සහ ඔහුගේ වත්මන් දායකත්වය
කුඩා කල පටන් කරූට තම දෙමව්පියන්ගේ සහ පවුලේ සහයෝගය ලැබී තිබේ. වේයන්ගොඩ ප්‍රාථමික, මාබොදලේ ප්‍රාථමික පාසල් වල ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ කරූ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ තිබේ.කුඩා කල සිටම ව්‍යවහාරික ගණිතයට සහ භෞතික විද්‍යාවට ඇලුම් කළ කරූ සිය උපාධිය වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හදාරා තිබේ.

උපාධියෙන් පසු මොරටුව විශාල විද්‍යාලයේ කලක් ඉගැන්වූ ඔහුට විශ්ව විද්‍යාලයේ ප්‍රතිඵල හේතුවෙන් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි ව තිබේ. පශ්චාත් උපාධි හැදෑරීමෙන් පසු කැනඩාවේ රජයට අයත් පර්යේෂණ ආයතනයක අවුරුදු දෙකක් පමණ සේවය කළ කරූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Macquarie විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් හිමි වීමත් සමඟ 1992 සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.
——————————————————————————————————————-
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
- අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
- SBS Audio APP (Free)
———————————————————————————————————————
වසර 27ක් පුරා කරූ Macquarie විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයකු , සහකාර මහාචාර්යවරයෙකු, මහාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර අභියෝග වලට මුහුණ දෙමින් ඔහුගේ වෘත්තීය ජීවිතය ක්‍රමයෙන් ගොඩ නගා ගෙන තිබේ.
මීට වසර හතරකට පෙර University of Technology Sydney මගින් කරූට distinguished professor හෙවත් කීර්තිමත් මහාචාර්ය තනතුරක් පිරිනමා ඇති අතර ඔහු එම තනතුර භාර ගෙන මේ වන විටද එම තනතුරේ රැදී සිටී.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පර්යේෂණ වලට සම්බන්ධව කටයුතු කරන මහාචාර්ය කරූ ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලයේ පර්යේෂණ හතරකටද සිය දායකත්වය සපයයි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම මගින් ඔස්ට්‍රේලියාවේ විද්‍යා හා ඉංජිනේරු හැකියාවන් දියුණු කිරීමටත් චන්ද්‍රිකා තාක්ෂණ දියුණු කිරීමටත් මෙම පර්යේෂණ වලින් අවධානය යොමු කෙරෙන අතර එකවර එකිනෙකට වෙනස් පර්යේෂණ 8කට වැඩි ගණනකට ඔහු වර්තමානයේ සිය දායකත්වය ලබා දේ.

ඊට අමතරව ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු වෘත්තිකයන්ගේ ආයතනයේ (IEEE)ගෝලීය කමිටු කිහිපයකට සිය දායකත්වය ලබා දෙන මහචාර්ය කරූ එමගින් ගෝලීය මට්ටමේ තොරතුරු සන්නිවේදන ගැටළු විසදීමට උත්සාහ කරයි.
එමෙන්ම ලොව ප්‍රධාන පෙළේ විද්‍යා සඟරා 4ක සංස්කාරක තනතුරු හොබවන ඔහු ස්වේච්ඡා සේවයේ ඇති වැදගත්කම විශිෂ්ට ලෙස අගය කරන පුද්ගලයෙකි.ඒ නිසාම ඔහු ජාත්‍යන්තර සමුළු කිහිපයකම ස්වේච්ඡා තනතුරු වල සේවය කරන අතර ඊළඟ පරම්පරාව මෙම පර්යේෂණ සඳහා පුහුණු කිරීමට සහ ඔවුන්ට නිසි ලෙස මග පෙන්වීමට ස්වේච්ඡා සේවය ඉතා වැදගත් බව පෙන්වා දෙයි.
ඔහු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ ඔහුගේ බිරිඳ නිල්මිණි සහ මාස 4ක බිළිඳු දියණිය පියුමි ද සමඟයි.
ශ්‍රී ලංකාවේත් පසුව ඔස්ට්‍රේලියාවේත් නීතීඥවරියක් වූ සිය බිරිඳ නිල්මිණි පසුව පරිපාලන සේවයේ නිරත වූ අතර නිරන්තරයෙන් සිය ගමනට අත්වැලක් වූ බව ඔහු ආදරයෙන් සිහිපත් කළේය.
දන්ත වෛද්‍යවරියක් වන සිය එකම දියණිය පියුමි මේ වසරේ විවාපත් වූ බවත් සිඩ්නි නෝත් ෂෝ හි වරවි හි ඇති සිය නිවසට නුදුරින් ජීවත් වන බවත් ඔහු පැවසුවේය.
කීර්තිමත් මහාචාර්යවරයාගෙන් අපේ ප්‍රජාවට, පණිවිඩයක්
සිය වෘත්තීය ජීවිතයේ උපරිම සාර්ථකත්වයක් ලැබූ, විද්‍යාවෙන් ලෝක ප්‍රජාවට සිදු කරන මෙහෙවර උදෙසා සම්මාන පිට සම්මාන වලින් පිදුම් ලබන කරූ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිහතමානී ආදරණීය චරිතයකි.
ඔබට අපේ ප්‍රජාවට දෙන්න තිබෙන පණිවිඩය කුමක්දැයි SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් අප විමසූ විට ඔහු පැවසුවේ තමන් කරන ඕනෑම දෙයක් උපරිමයෙන් ඉටු කළ යුතු බවත් සම්මාන ගැනීමේ බලාපොරොත්තුවෙන් කිසිවක් නොකළ යුතු බවත්ය.
අපේ ජීවිතය ඉතා කෙටියි. ඒ කාලෙ ඇතුළත අපිට ලෝකෙ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවාද කියල හිතන්න ඕනෙ. එහෙම හිතල ඒ අතරින් ඔබට කරන්න පුළුවන් ඔබ කැමති දේවල් කීපයක් තෝරා ගෙන ඒ දේවල් හැකි උපරිම මහන්සියෙන් කරන්න. එතකොට ඒවා ඔක්කොම සාර්ථක වෙයි
ඔහු මෙන් පර්යේෂණ සිදු කරන අය වෙනුවෙන් ඔහු කියා සිටියේ තමා සිදු කරන ලද පර්යේෂණ වල තොරතුරු අන් අයගේ දැනුවත් වීම සඳහා පල කිරීමද (data dissemination) ඉතා වැදගත් වන බවයි.එවිට සම්මාන, ඇගයීම්, citation වැනි අවශේෂ දේවල් නිතැතින්ම ලැබෙනු ඇති බව ඔහු පවසයි.
අවසාන වශයෙන්,කෙතරම් කාර්ය බහුල වුවද සිය සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස මහාචාර්ය කරූ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින ඇතැම් සංක්‍රමණිකයන් කාර්ය බහුල වීමේදී ඔවුන් වෙතින් සෞඛ්‍යය ගැන අවධානය ගිලිහී යන බවත් එය එසේ වීමට ඉඩ නොතබන ලෙසත් ඔහු ප්‍රජාවට සිහිපත් කරයි.
—————————————————————————————————————
· SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhala
· SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
· SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

