පවතින අයහපත් කලගුනයද නොතකා ජාත්‍යන්තර සිසුන් දහස් ගණනක් වික්ටෝරියානු රජයෙන් ලබාදෙන ආහාර වවුචර ලබාගැනීම සඳහා මෙල්බර්න් නගරයේ Town Hallහි පෙළගැසී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් කෙතරම් අරගලයක නිරතවනේද යන්න මනාව මෙමගින් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සඳහන් කොට තිබේ.
මෙල්බර්න් නගර සභාව මගින් Our Shout ලෙස හැදින්වූ ආහාර වවුචර වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර ඒ සඳහා පැය 36ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී ජාත්‍යන්තර සිසුන් 17,000 ක් ඒ සඳහා ඉල්ලුම් කොට තිබේ. මේ හේතුවෙන් එම වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබේ. ජාත්‍යන්තර සිසුන් 1000 ක් ඉලක්කකරමින් එක අයකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 200ක වටිනාකමින් යුත් ආහාර වවුචර ලබාදීමට සැලසුම් කොට තිබිණ.

මේ වනවිට ආධාර අවශ්‍යවන ජාත්‍යන්තර සිසුන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මෙලෙස මෙල්බර්න් හි පසුගිය සඳුදා (1 June) පෙළගැසුණු බවට විශ්වාස කරන බව ඕස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywood පවසා තිබේ. ජාත්‍යන්තර සිසුන්ට තමන්ට අවශ්‍ය සහය ලබාගැනීම මේ වනවිට අතිශය දුෂ්කර කාර්යයක් වී ඇති අතර සිය මුලික භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන සිසුන් සඳහා ඔස්ට්‍රේලියාව ලබාදෙන සහයන් ලබාගැනීමට අතිශය අපහසු බව හෙළිව ඇතැයිද ඔහු පෙන්වා දේ.
Phil Honeywood පවසන්නේ මෙමගින් ජාත්‍යන්තර සිසුන් ගෙන්වාගැනීම පිළිබඳව ඔස්ට්‍රේලියාවට පවතින කීර්තිනාමයට කැළලක් ඇතිවීමට ඉඩකඩ පවතින බවයි.
එසේම ජාත්‍යන්තර සිසුන් හට නැවතත් සිය රටවල් වෙත යන ලෙසට කල ප්‍රකාශයන් වැනි නිසි සම්බන්ධීකරණයක් නොමැති පණිවුඩ මගින් මේ වනවිට ඔස්ට්‍රේලියාවට පවතින ගෞරවයද යම්තාක්දුරකට අහිමිව ඇතැයිද ඔහු අවධාරණය කොට තිබේ.

මේ වනවිට මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර ඇතැම් ජාත්‍යන්තර සිසුන් එදිනෙදා ජීවත්වීම සඳහා අරගයක පසුවන අතර ඇතැම් සිසුන් හට මුදල් නොමැතිකම හේතුවෙන් සිටීමට නිවාස අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිලයේ ඕස්ට්‍රේලියානු ප්‍රකාශිකා Mili Mishra පෙන්වා දේ. සිය හිතවතුන්ගෙන් වෙන්ව සිටීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් තවදුරටත් මානසිකව පීඩා විදින බවද ඇය පෙන්වා දී තිබේ.
වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews පසුගියදා අවධාරණය කොට සිටියේ ජාත්‍යන්තර සිසුන් නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීම ආරම්භ කලයුතු බවයි. මේ සඳහා තවමත් නිශ්චිත දිනයක් යෝජනා කොට නොමැති වුවද ජාත්‍යන්තර සිසුන් නැවතත් ගෙන්වාගැනීම පිළිබඳව සාර්ථක සාකච්චා කිහිපයක් සිදුකල බව ඔහු සඳහන් කොට තිබේ.
ජාත්‍යන්තර අධ්‍යාපන අංශය මගින් 2019 වසර තුලදී වික්ටෝරියානු ප්‍රාන්තයට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 12 අදායමක් හිමිව තිබේ.


