වසර 68 කට පසු අද (14/11) දිනයේදී චන්ද්‍රයා විශාලව දැකගත හැකි අවස්ථාවක් පෘථිවි වාසීන්ට උදාවී තිබෙන බව වාර්තා වේ.
අන් දිනවලට වඩා චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන මෙම අවස්ථාව Super Moon හෙවත් සුපිරි හඳ ලෙස හඳුන්වයි.
පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර වෙනදාට වඩා අඩුවීම මෙම දිනයේ විශේෂත්වය බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මේ හේතුවෙන් සඳ වෙනදාට වඩා 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බව සඳහන්.
මීට පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර ඉදිරියේදී මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දිනය.
චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර්ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට විශාලව දිස්වන බව කියැවේ. මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි.
පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වේ. නමුත් සුපිරි හඳක් දිස්වන 2016 නොවැම්බර් 14 දින චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ. එම දුර 2034 නොවැම්බර් 25 දින 356,500 km බවත් 2052 දෙසැම්බර් 6 දින 356,425 km බවත් පැවසේ.

