මෙවර ඕස්ට්‍රේලියාවට සරත් සෘතුව පැමිණුනේ තරමක් වෙනස් අකාරයකින් ඒ වගේම තරමක් රෞද්‍ර පෙනුමකින්.ඒ ලොව පුරා දෙනෝ දහසකගේ ජීවිත වෙනස් කල කොරෝනා වෛරසය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කිරීම හේතුවෙන්. මෙම ආක්‍රමණයෙන් මිදීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තමන්ට සිදු කල හැකි සියලුම ක්‍රියාමාර්ග ගනු ලැබුවත් එමගින් අපහසුතාවයට වගේම පීඩනයකට පත්වූ පිරිස අති විශාලයි.
කොරෝනා වෛරසය පාලනය කිරීමේ පරමාර්ථයෙන් ඕස්ට්‍රේලියානු රජය සිදුකල දේශසීමා වසාදැමීම මගින්,ඒ වනවිට ඔස්ට්‍රේලියාව තුල තාවකාලික සංචාරක වීසා මත සිටි බොහෝ පිරිසකට වගේම දෙමාපියන්ට දැඩි පීඩනයක් එල්ල කෙරුනා.
මේ වනවිටත් තාවකාලික වීසා ලාභීන් විශාල පරිසක් නැවතත් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව විවිධ අපහසුතාවන්ට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ මෙය තමන්ට ආතතියක් ගෙනදෙන්නක් බවයි.
මේ වනවිට උද්ගතව ඇති තත්වය මත ඔස්ට්‍රේලියාව තුල තාවකාලික සංචාරක වීසා යටතේ සිටින ශ්‍රී ලංකික දෙමාපියන් සම්බන්ධයෙන් සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කලා.
අපේ විමසුමට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම සිටින දෙමාපියන් අප සමඟ පලකල අදහස් සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය SBS සිංහල සේවයට දන්වා සිටි කරුණු මෙම ලිපියේ මින් ඉදිරියට සඳහන් වේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන තම දියණිය බැලීමට පැමිණි ග්‍රේෂන් වීරසිංහ මහතාගේ කතාව....
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන තම දියණිය බැලීම සඳහා වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ග්‍රේෂන් වීරසිංහ මහතාට මෙවර මුහුණදීමට සිදු වුනේ වෙනදාට වඩා තරමක් වෙනස් අත්දැකීමකට.
තම බිරිඳ සමග පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු සාමාන්‍ය අන්දමින් කාලය ගත කලත් ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව තුළ ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය මෙම වසරේ ඔහුගේ සැලසුම් සඳහා දැඩි බාධා එල්ල කලා.
ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින කාලය තුළදී, ශ්‍රී ලංකාවේ සිටින තම වැඩිමහල් පුතුට දාව අලුත උපන් මුණුපුරා බැලීමට පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට යාමට වීරසිංහ මහතා සියලු දේ සුදානම් කොට තිබූ නමුත් ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසාදැමීමත් ශ්‍රී ලංකාව තුල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් හේතුවෙන් ඔහුට තමන් සැලසුම් කල පරිදි ලංකාවට යාමට සිදුවුනේ නැහැ.

අලුත උපන් මුණුපුරා හේතුවෙන් , වැඩිමහල් පුතුට සහ ඔහුගේ බිරිඳට තම සහාය ලබාදීමට නොහැකි වීම පිළිබඳව තමා සිටින්නේ යම් කනස්සල්ලකින් බව වීරසිංහ මහතා SBS සිංහල සේවය සමග සඳහන් කළා.
"....මගේ ලොකු පුතාටයි එයාගේ බිරිඳටයි ඒ වෙලාවේ අපේ උදව් අවශ්‍යයි ඒ අයගේ වැඩකටයුතු කරගන්න. අපි එදාට යන්න සැලසුම් කලේ ඒ නිසා, නමුත් අපිට යන්න ලැබුනෙත් නැහැ ඒ වගේම මගේ අනිත් දරුවන්ට එයාලව බලන්න එන්නත් බැරිවුනා ලංකාවේ ඇඳිරිනීතිය තිබුන නිසා. කොහොම වුනත් දැන් මෙහෙ ඉන්න අයව ලංකාවට යවන්න වැඩපිළිවෙලක් තියෙන නිසා මම හිතනවා අපිට ඉක්මනටම ලංකාවට ගිහින් අයෙත් එන්න පුලුවන් වෙයි කියලා...."

කැන්බරා හි කොන්සල් ජෙනරාල් කාර්යාලය මගින් මෙරට සිටින, නැවතත් ශ්‍රී ලංකාවට යාමට උත්සාහ දරන තාවකාලික වීසා හිමියන් සඳහා ගුවන් ගමන් සේවා ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් ක්‍රියාත්මක කොට ඇති අතර ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවට සඳහන් කළ තාවකාලික වීසා හිමියන්ගේ නාමලේඛනයක් ඔවුන් සතුව පවතිනවා.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන තම දියණිය බැලීමට පැමිණි චමිලා නයනකුමාරි මහත්මියගේ කතාව....
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපනය ලැබූ තම දියණියගේ උපාධි උත්සවයට සහභාගී වීමට පැමිණි චමිලා නයනකුමාරි මහත්මිය ඕස්ට්‍රේලියානු රජයේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමේ වැඩපිළිවෙලින් පීඩාවට පත් වූ තවත් එක් ශ්‍රී ලංකික මවක්.
ඇය අප්‍රේල් මාසයේ දෙවන සතියේ නැවතත් ශ්‍රී ලංකාව බලා යාමට පැමිණියත් මාර්තු මාසයේදී, ජාත්‍යන්තරය සඳහා සිය දේශසීමා වසාදැමීමත් සමග ඇයට තමන් බලාපොරොත්තු වූ ආකාරයට නැවතත් ලංකාවට යාමට හැකි වුනේ නැහැ.

තමන්ගේ වීසා කොන්දේසීන්ට අනුව මාස තුනක කාලයක් ඇතුලත නැවතත් ඕස්ට්‍රේලියාවෙන් පිට විය යුතුව තිබුනත් මෙම තත්වයත් සමග තමන් යම් ආතතියකට පත් වූ බව ඇය පවසනවා.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවට තමන් සිදු කල ඉල්ලීම මත ඔවුන් තම වීසා කාලය දිගු කිරීම තමාට මහඟු අස්වැසිල්ලක් වූ බවයි චමිලා මහත්මිය පවසන්නේ.
පවතින බාධක මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සිටින තම පියාගේ අසනීප තත්වය මත චමිලා මහත්මිය තරමක් ගැටලුකාරී තත්වයකට මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා, ඇය SBS සිංහල සේවයට පැවසුවේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට යාම තම එකම අභිප්‍රාය වන බවයි.
"....මගේ තාත්තගේ අසනීප තත්වය තරමක් වැඩි වෙලා තියෙනවා, මගේ සහෝදරිය තමයි හැම දෙයක්ම මේ වෙද්දී කරන්නේ. නංගිගේ දරුවොත් එක්ක මේ දේවල් එයාටත් තනියෙන් කරන්න අමාරුයි ඒ නිසා මම පුලුවන් ඉක්මනින් ලංකාවට යන්න ඕනේ...."

මේ පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොන්සල් ජෙනරාල් කාර්යාලය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇති අතර තමාට ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් සිටින බව ඇය පවසනවා.
"....මම මේ ගැන කොන්සල් ජෙනරාල් කාර්යාලයට දැනුම් දුන්නා, මට දැනගන්න ලැබුන විදියට මේ වෙද්දී එයාලා මම දන්න කීප දෙනෙකුට කතා කරලා එයාලව ලංකාවට යවලත් තියෙනවා. එයාලාගේ ලිස්ට් එකේ මම ඉන්නවා කියලත් කාර්යාලයෙන් කිව්වා...." චමිලා මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන දුවත් , පුතාත් බැලීමට පැමිනි තමාරා පෙරේරා මහත්මියගේ කතාව ....
මවුබිමට යාමට නොහැකිව මෙහි සිරවී සිටින අය අතුරින් SBS සිංහල සේවයට අදහස් ඉදිරිපත් කිරීමට මීළඟට අප සමඟ සම්බන්ද වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් හි Clyde ප්‍රදේශයේ වෙසෙන තමාරා පෙරේරා මහත්මියයි.
ඇය පවසා සිටිනුයේ නිසි කාලයට අනුකූලව තමා හට ආපසු යාමට නියමිතව තිබුනේ මේ වසරේ මැයි මස දී වුවත් සංචාරක තහනම් හේතුවෙන් තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සිදුවීම ඇයට මහත් සිත් තැවුලක් අත්කොට දීමට සමත්ව ඇති බවයි.
තමාරා මහත්මිය පවසනුයේ ඇගේ දියණිය සහ පුතනුවන් යන දෙදෙනාම මෙල්බර්න් හි වාසය කරන බවයි. මාරුවෙන් මාරුවට පුතුගේ සහ දියණියගේ නිවෙස් වල ඇය වාසය කරමින් සිටින්නීය.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය උත්සන්න වීමෙන් බොහෝ ව්‍යාපාරික ආයතන සහ රැකියා ස්ථාන වසා දැමීමට සිදුවීම නිසා තවමත් තාවකාලික වීසා යටතේ සිටින තම දියණියට රැකියා අහිමි වීමෙන් සහ පුතනුවන් stood down කිරීම හෙවත් නැවත සේවා ස්ථාන ආරම්භ කරන තෙක් තාවකාලිකව රැකියාව අත්හිටු වීමට සිදුවීම නිසා පවුල් දෙකටම ආර්ථික දුෂ්කරතාවයනට දැඩි ලෙසින් මුහුණ දීමට සිදුව ඇති බව ඇය SBS සිංහල සේවය සමඟ පවසා සිටියාය.
දියණියගේ සහ පුතුගේ පවුල් තවමත් තාවකාලික වීසා යටතේ පසුවීම නිසා ඕස්ට්‍රේලියානු රජයෙන් රැකියා අහිමි වූවනට ලබාදෙන Job seeker සහ තාවකාලිකව වසා දැමුනු රැකියා ස්ථාන වල සේවකයිනට ලබාදෙන Job Keeper දීමනා කිසිවක් නොලැබුනු බවයි තමාරා මහත්මිය පවසා සිටියේ.
"....රැකියා අහිමි වීම නිසා දුවගේ පවුලත් පුතාගේ පවුලත් ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුන දී සිටින බව මට හොඳාකාරවම තේරෙනවා. එත එයාලා මට ඒ කිසිවක් පෙන්නන්නේ නැහැ. නමුත් ඉතිං අපි තරුණ වයසෙදිත් මමයි මගේ මහත්තයයි දරුවනුත් සමඟ හරියට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නමුත් අපි ඒ කිසිම දෙයක් දරුවන්ට දැනෙන්නට සලස්වුයේ නැහැ. අද අපේ දරුවොත් ඒ වගේම තමයි. ඒ ගැන මට හොඳට තේරෙනවා. මට දුක මමත් ඇවිත් ඒ ගොල්ලන්ට තවත් බරක් වෙන්න වුනු එක ගැනයි...."තමාරා මහත්මිය SBS සිංහල සේවය සමඟ පවසා සිටියාය.

තමාරා මහත්මිය පවසන්නේ මෙම තත්වය මත දරුවන් මත යැපීමට සිදුවීම ඇයට මහත් සිත් තැවුලක් බවයි.එමෙන්ම ඇය පවසන්නේ මෙහි සිට ලංකාව බලා යාමට සිටින පුද්ගලයින් පිටත්කොට හැරීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කලයුතු බවයි.
"….මම නම් කියන්නේ මේක තවදුරත් ඉක්මන් කලයුතු බව. මට තවදුරත් දරුවන් ගෙන් යැපෙන්නට බැහැ. ඒ ආර්ථික කරදර මද්‍යයේ මගේ visitor වීසා එක දීර්ඝ කරගැනීමට එයාලට අමතර ගාස්තු ගෙවීමටත් සිදුවුනා. COVID 19 නිසා ගෙදරටම කොටු වෙලා. Lockdown එකට කලින් පන්සල් යන්න පුරුදු වෙලා හිටියා, දැන් ඒකත් නැහැ. මම රෑට නින්දට ගිහිනුත් ඕවා කල්පනා කරනවා.
නුපුරුදු රටක කොහේ යන්නද, මොනවා කරන්නද නොදැන බිත්ති හතරකට කොටුවීමට සිදුවීම හරිම දුකක්. මගේ ළමයි වෙලාවකට මට දොස් කියනවා මම තැන් තැන් වලට වෙලා කල්පනා කරනවා කියලා. ඇත්තටම මම මෙහෙ ඉන්න එකේ තේරුමක් නැහැ....”තමාරා මහත්මිය පැවසුවාය.
දැන් ලංකාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍ර සහ හෝටල් නිරෝධායනය සඳහා අදාළ පුදගලයා විසින් ගාස්තු ගෙවීමක් කරන නිසා , දැනට ලංකාවේ නොරෝධායනයට වෙනකොට ඇති හෝටල් වල තදබදයක් ඇත්නම් අලුතෙන් හෝටල් වෙන් කරවා හෝ මේ නැවත ගෙන්වා ගැනීමේ කාර්යාවලිය කඩිනම් කලයුතු බව අප සමඟ අදහස් පලකොට සිටි තමාරා පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කොට සිටියාය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තම පුතු බැලීමට පැමිනි කිත්සිරි වික්‍රමසේකර මහතාගේ කතාව....
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාසය කරන තම වැඩිමහල් පුතු සහ මුණුපුරන් බැලීමට පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි කීර්තිසිරි වික්‍රමසේකර මහතාත්, ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමේ පියවර හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
මැයි මස අගදී වික්‍රමසේකර මහතාගේ තාවකාලික සංචාරක වීසා කාලය නිමා වීමත් සමඟ ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව හරහා තම වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඔහුට සහ ඔහුගේ පුත් රන්දික හට විශේෂ ප්‍රයත්නයක් දැරීමට සිදු වුනා. ඒ ඒවනවිට තම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සඳහා සියලු ලිපි ලේඛණ සකස් කරමින් සිටි ඔහුට තම පියාගේ වීසා කාලය දිගු කරගැනීම සඳහා අමතර ලිපි ලේඛණ සකස් කිරීමට සිදුවීමත් සමගයි.

කීර්තිසිරි වික්‍රමසේකර මහතා SBS සිංහල සේවයට පැවසුවේ තම බිරිඳ ශ්‍රී ලංකාවේ සිටීම මෙන්ම තමන්ට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වීම මත තමන් යම් අතතියකට පත්ව ඇති බවයි.
"....මම යන්න හිටියේ මැයි මාසේ, මගේ බිරිඳ ලංකාවේ ඉන්නේ තනියම. මේ තත්වයත් එක්ක මට වුනු එක ප්‍රශ්නයක් තමයි වීසා Extend කරගන්න වුන එක, ඒ වගේම අනිත් ප්‍රශ්නේ තමයි මට අවශ්‍ය කරන බෙහෙතුයි Doctor ව හම්බවෙන එකයි කරන්න බැරි එක, මම මේ වෙද්දී Doctor ව Phone එකෙන් සම්බන්ධ කරගන්නවා. එත් පුලුවන් ඉක්මනින් ලංකාවට යන්න තමයි අවශ්‍ය වෙන්නේ...."
තමන් සැලසුම් කල කාලය තුල ශ්‍රී ලංකාවට යාමට නොහැකි වීම මත,විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වන තමන්ට ඒ වනතෙක් ලබා දුන් විශ්‍රාම වැටුපද තාවකාලිකව නවතා දමා ඇතැයි වික්‍රමසේකර මහතා පවසනවා.

මෙය තමන් මුහුණ දී ඇති තත්වය මත තවත් ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තම මුණුපුරන් සමග කාලය ගතකිරීමේදී තම ආතතිය මදකට ඉවත්ව ගියද ශ්‍රී ලංකාවට යාමට නිශ්චිත දිනයක් පිළිබඳව තවමත් නොදැන සිටීම කනස්සල්ලට කරුණක් බවද වික්‍රමසේකර මහතා පවසනවා.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මේ සම්බන්ද ක්‍රියා පරිපාටිය
දැනට ඕස්ට්‍රේලියාවේ සිටින පිරිස් ක්‍රමානුකුලව නැවත ශ්‍රී ලංකාවට යැවීම සිදුවනුයේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ප්‍රාන්ත වල පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල වල මැදිහත්වීමෙන් සිදුකරගෙන යන ලියාපදිංචි වීමේ ක්‍රියා පරිපාටිය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයද එක්ව සිටී.
ඒ අනුව ලංකාවට නැවත පිටත්වීම සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි විය යුතුයි.
දැනට මේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනුයේ කෙසේද ? SBS සිංහල ගුවන් විදුලිය මේ සම්බන්දව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වත්මන් වැඩබලන මහකොමසාරිස් ලෙසින් කටයුතු කරන සෙනරත් දිසානායක මහතා අමතනු ලැබීය.
සෙනරත් මහතා පැවසූයේ මේ වසරේ මැයි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා ලාභීන් නැවත මවුබිම බලා පිටත් කොට හැරීමේ ක්‍රියාවලිය ඇරඹුණු බවයි (repatriation). එතැන් සිට මේ දක්වා පුද්ගලයින් 2153 දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්කොට හැර ඇති අතර තවත් 2900 ක පමන පිරිසක් පොරොත්තු ලේඛනයේ (waiting list) ආපසු යාමට බලාපොරොත්තුවෙන් පසුවන බවද ඒ මහතා SBS සිංහල සේවයට සඳහන් කොට සිටියේය.
ඒ අතරට මෙල්බර්න් නුවරින් 1980 ක්, සිඩ්නි නුවරින් 420 දෙදෙනක්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 244 ක්, සහ කැන්බරා නුවරින් 80 දෙනෙකු ද ඇතුලත් වේ.

මෙලෙස ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාව බලා යන පිරිස් ශ්‍රී ලංකාවේදී දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යටත් විය යුතුයි. ඒ සඳහා අදාල වන PCR පරීක්ෂණ, හෝටල් නිරෝධායන කටයුතු සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම ආදී කටයුතු සම්බන්දව Avant Garde Maritime Services Private Limited ආයතනය කටයුතු කරන අතර ගුවන් ගමන් පහසුකම් සහ ගුවන් ප්‍රවේශපත්‍ර පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරනු ලබන බව වැඩ බලන මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
"....අවසාන වතාවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් ශ්‍රී ලංකාව බලා ගුවන් යානයක් පිටත් වුනේ සැප්තැම්බර් 20 දා යි. නැවතත් සැප්තැම්බර් මස අවසානයේදී ගුවන් යානයක් මෙල්බර්න් සිට කොළඹ බලා පිටත් වීමට නියමිතයි. ඒ වගේම බොහෝ විට ඔක්තෝම්බර් මාසයේ මුල් සති දෙක ඇතුලත සිඩ්නි සිට ශි ලංකාව බලා නැවතත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වීමට ඉඩ තිබෙනවා. එය දැනට සිඩ්නි සිට ලංකාව බලා යාමට පොරොත්තු ලේඛනයේ සිටින අයවලුන්ට සුභදායක ආරංචියක් වේවි...."සෙනරත් දිසානායක මහතා SBS සිංහල සේවය සමඟින් මේ සම්බන්දව තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
COVID 19 හේතුවෙන්, විදේශගත ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාව බලා ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය, ජනාධිපති ලේඛම් කාර්යාලය, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ COVID 19 committee consulates යන ආයතන වල සාමූහික ප්‍රයත්නයකි.
මෙම ප්‍රයත්නය සඵල කරමින්,නැවතත් ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සියලුම දෙනා හට නොබෝ දිනකින්ම තම මවු බිම දැකගැනීමේ හැකියාව හිමිවන බව නොඅනුමානයි.
******************************************************************************
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /
96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
******************************************************************************

