පුරවැසිභාවය ලබාදීමේ නීති සංශෝධනයට 2018 වසරේ ඕස්ට්‍රේලියානු රජයේ සැලසුම්

හෙටට (ජනවාරි 26) යෙදී ඇති ඕස්ට්‍රේලියානු දිනයත් සමග ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමිකරගන්නා සංක්‍රමණිකයින් තම ජීවිතය තුල හිමිවන සුවිශේෂී අවස්ථාව සමරන අතරතුර, ඉදිරියේදී පුරවැසිභාවය සදහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය රජය අදාල නීති සංශෝධනය කරන්නේ කෙසේද යන්න පිලිබදව විමසිල්ලෙන් සිටියි.

australian citizenship

Source: AAP

පුරවැසිභාවය ලබාදීමට අදාල නව නීති පසුගිය වසරේ සෙනෙට් සභාව මගින් අනුමත නොකළ අතර, 2018 වසරේ නැවත පාර්ලිමේන්තුව රැස්  වූ පසු නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව සදහන්. නව යෝජිත නීති සදහා, ලැබුණු යෝජනා මත පදනම්ව සංශෝධන කීපයක් එක්  කල බව පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය Alan Tudge පවසයි. නව නීති යටතේ පුරවැසි භාවය හිමි කරගන්නා  සංක්‍රමණිකයින් හට ඕස්ට්‍රේලියානු ජන සමාජය තුල හිමි වරප්‍රසාද උපරිම අයුරින් ලැබීමට සලස්වන බවත්, ඔවුන් ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වීමට ඇති හැකියාව සහ ඒ සදහා අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ඇත්දැයි විමසා බැලීම නව නීති වල අරමුණ බවත් අමාත්‍ය වරයා වැඩි දුරටත් සදහන් කරයි. අදාල සංශෝධන එළබෙන ජුලි 1දා  සිට ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව සදහන්.

ස්වාධීන සෙනෙට් සභිකයින්ගේ සහාය තීරණාත්මකයි


ටර්න්බුල් රජයේ නව පුරවැසි භාවය පිළිබද නීති 2017 වසරේ අප්‍රේල් මාසයේ මුලින්ම ඉදිරිපත් විය. ස්ථිර පදිංචිය හිමිවීමෙන් වසරකට පසු දැනට පවතින නීති අනුව පුරවැසි භාවය සදහා අයදුම් කල හැකි අතර, නව නීති යටතේ එය වසරක් 4ක් ලෙස යෝජනා වී තිබේ. තවද විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුමට සමාන ඉංග්‍රීසි මට්ටමක් බලාපොරොත්තු වන ඉංග්‍රීසි දැනුම මැන  බලන විභාගයකටද මෙහිදී පෙනී සිටිය යුතු බව සදහන්.

යම් සංක්‍රමනිකයෙකු යහපත් ඔස්ට්‍රේලියනුවෙකු බවට පත් වීම වලකාලන ඕනෑම යෝජනාවකට කම්කරු පක්ෂය විරුද්ධ වන බව එම පක්ෂයේ ප්‍රමුඛ පෙලේ සාමාජිකයෙකු වන Tony Burke මහතා පවසයි. අදාල යෝජනා සදහා විරුද්ධ වී එය ප්‍රතික්ෂේප වීම නිසා සැනසුම් සුසුම් හෙලන විශාල පිරිසක් තමන්ට හමු වී ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

දැනට පුරවැසි භාවය සදහා අයදුම් කර ඇති අයට නව නීති අදාල වන්නේ කෙසේද ?

රජය නව පුරවැසිභාවය පිළිබද නීති සදහා අනුමැතිය ලබාගන්නා තුරු, ලැබෙන අයදුම් පත් දැනට පවතින නීති ප්‍රතිපාදන යටතේ සලකා  බලනු ඇති බව සදහන්.


දැනට ස්ථිර පදිංචිය ඇති සහ   පුරවැසි භාවය සදහා මේ වන විටත් අයදුම් කර ඇති අය සදහා නව නීති අදාල නොවන සේ නීති සංශෝධනය කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බවත්, එසේ නොකළහොත් තම කණ්ඩායම ඊට සහාය  නොදෙන බවත් ස්වාධීන  සෙන්ට් සභික Nick Xenophon පවසයි. මෙම නව නීති සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඔහු ඇතුළු සෙනෙට් සභිකයින්ගේ ජන්ද ඉතා වැදගත් සාධකයක් ලෙස සදහන් කල හැකියි. තවද පුරවැසි භාවය පිළිබද විභාගයට පෙනී සිටිය හැකි වාර  ගණනට  සීමාවක් පැනවීමට රජය සුදානම් වන අතර අදාල ප්‍රතිපාදනයද ඉවත් කල යුතු බව Xenophon කණ්ඩායම සදහන් කරයි. තවද ඉංග්‍රීසි දැනුම මැන බලන පරීක්ෂණයද අවශ්‍ය නොවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

දැනට රජය විසින් යෝජිත ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ මට්ටම competent (ඉතා හොද ) ලෙස ප්‍රකාශයට පත් වී ඇති අතර එය  modest (සාමාන්‍ය ) මට්ටම දක්වා පහත දැමීමට රජය සුදානම් බව අමාත්‍ය Alan Tudge SBS මාධ්‍ය ජාලයට  අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. තවද මේ වසරේ ජුලි 1දාට  පෙර අයදුම්පත් ඉදිරිපත් කරන අයට  නව නීති බලනොපාන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

තවද පුරවැසි භාවය පිළිබද විභාගයට පෙනී සිටිය හැකි වාර  ගණන සීමා  කරමින් ඉදිරිපත් කර ඇති යෝජනාවද සංශෝධනය කිරීමට හැකි බවට අමාත්‍ය වරයා මෙහිදී ඉගි පල කර ඇති අතර, මේ වන විට රජය සිදු කර ඇති සංශෝධන සමගින් මෙය අනුමත වනු ඇතැයි  තමන්ට විශ්වාශ බව අමාත්‍ය වරයා පවසයි.

සංක්‍රමණ කටයුතු ඒජන්තවරුන්ට කාර්යබහුල කාලසීමාවක්


මේ අතර මේ පිලිබදව අදහස් දක්වන සංක්‍රමණ කටයුතු ඒජන්තවරුන් පවසන්නේ පසුගිය වකවානුව තුල තමන් නොසිතු පරිදි කාර්යබහුල වූ බවයි.

සිඩ්නි නුවර සිටින සංක්‍රමණ කටයුතු ඒජන්ත  වරයෙකු වන Jason Browne පවසන්නේ තම කාර්යාලයට පැමිණෙන සමහරක් සේවා දායකයින් ඉතා බියෙන් සහ කනස්සල්ලෙන් පසුවන බවයි.

457 වීසා කාණ්ඩය අවලංගු වෙයි.


තවද දැනට ඕස්ට්‍රේලියාවට  තාවකාලික රැකියා සදහා පැමිණිය හැකි 457 වීසා  කාණ්ඩය 2018 වසරේ අවලංගු වීමට නියමිත අතර ඒ වෙනුවට නව වීසා  කාණ්ඩයක්  හදුන්වාදීමට නියමිත බව සදහන්. රැකියා ස්ථානය මගින් ලබාදෙන අනුග්‍රහය යටතේ, 457 වීසා  කාණ්ඩය යටතේ මෙරටට පැමිණෙන අයට  ස්ථිර පදිංචිය සදහා අයදුම් කිරීමට අවස්ථාව හිමි විය. නමුත් අලුතින් හදුන්වාදෙන තාවකාලික වීසා කාණ්ඩය යටතේ මෙලෙස ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති අතර, ඒ සදහා වෙනත් වීසා  කාණ්ඩයක්  සදහා අයදුම් කල යුතු බව සදහන්.

මේ තත්වය යටතේ සමහරක් සංක්‍රමණිකයින් නවසීලන්තයට සංක්‍රමණය කිරීම පිලිබදව සිතා බලන නමුත් නවසීලන්තයද වත්මන් රජය යටතේ සංක්‍රමණ නීති දැඩි කිරීමට පියවර ගෙන ඇති නිසා එයද පහසු කාර්යයක් නොවනු ඇති බව සදහන්.










Share

Published

Updated

By Sanjaya Dissanayake, Marija Zivic
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service