නිවන් මග අවබෝධ කරගන්න ඕස්ට්‍රේලියාවේදී ගිහි ගෙය අතහැරි ලාංකික විද්‍යාඥයා: අතුරුගිරියේ මහින්ද ස්වාමීන් වහන්සේ

ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ගිහි ජීවිතය ගත කොට ඇති අතර, උන්වහන්සේ Australian National University හි පර්යේෂණ විද්‍යාඥයකු ලෙස ගිහි කල කටයුතු කොට තිබේ. ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම බන්ධනාගාර ඇතුළු විවිධ රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියානුවන් හට බුදු දහමේ සංකල්ප ඔස්සේ මානසික ගැටළු වලින් මිදීම සඳහා සිය දැනුම බෙදා දීම සිදු කරයි.

01.jpg

Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero Credit: Simon Fazio

Key Points
  • ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිළිබඳව මතකය අවදි කිරීමක්
  • ඕස්ට්‍රේලියාවේ ගිහි ජීවිතය ගත කරමින් සිටියදී පැවිදි ජිවිතයට යොමු වීම
  • මේ වනවිට ඕස්ට්‍රේලියාවේ විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථාන (Rehabilitation centre) සහ නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන (Correctional centre) වල සිටින පිරිසට තමා ඉගෙන ගත් ධර්මයෙන් මානසික ගැටළු සඳහා උපකාර සිදු කිරීමේ ආරම්භය
  • ඕස්ට්‍රේලියාවේ විවිධ සමාජ විරෝධී ක්‍රියා නිසා නීතිමයවශයෙන් දඬුවම් විඳින පුද්ගලයින් සහ පුනරුත්ථාපනය වන පුද්ගලයින් සඳහා මානසික උපදේශනය සිදු කිරීමට "බුදු දහමේ සංකල්ප" භාවිත කරන ආකාරය
  • තමා සිදු කරන කාර්යයන් ඔස්සේ ලැබුන ප්‍රතිපල
  • මුහුණ දීමට සිදු වූ අභියෝග
  • ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන් හට සිදු කිරීමට බලාපොරොත්තු වන කටයුතු
  • ඕස්ට්‍රේලියාවට පැමිණ පර්යේෂණ විද්‍යාඥයකු ලෙසට ආරම්භ කල ජීවිතය බුද්ධ පුත්‍රයෙකු ලෙසින් අවසන් වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තිබෙන හැඟීම
ශ්‍රී ලාංකිකයින්ට නම් ඕස්ට්‍රේලියාව පෙනෙන්නේ, තමන් ඉපදුන ශ්‍රී ලංකාවට වඩා යමක් ලබාගත හැකි සහ තමන්ගේ ජීවිතය සැපවත් කරගත හැකි රටක් ලෙසින්. නමුත් ඕස්ට්‍රේලියාවේදී මේ හැමෝගෙම වගේ හීන ජයගත්තු කෙනෙක් වැඩිකලක් ගත වීමටත් පෙර චීවරය තෝරාගැනීම යම් විදියක අපුර්වත්වයක් ලෙස අනිවාර්යයෙන්ම හැඳින්විය හැකියි. මේ අපුර්ව සහ දුර්ලභ වූ තීරණය ගත්තු සහ අවසානයේදී තමාගේ ඉගෙනීමෙන් ඕස්ට්‍රේලියානුවන්ට මානසික උපදේශන ලබාදෙන බුද්ධ පුත්‍රයා වන්නේ ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ.

ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ සමග SBS සිංහල සේවය සිදු කල පිළිසඳර ඔස්සේ මෙම ලිපිය සකසා තිබේ.




ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිළිබඳව මතකය අවදි කිරීමක්


ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ ගිහි කල ශ්‍රී ලංකාවේ අතුරුගිරිය ප්‍රදේශයේ වාසය කොට ඇති අතර කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.

අනතුරුව උන්වහන්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව Molecular Biology & Biotechnology සම්බන්ධයෙන් විශේෂ විද්‍යාවේදී උපාධියක් හදාරා තිබේ.

එම විශ්ව විද්‍යාල සමයේදී තමාගේ ගිහිකල බිරිඳ හමුවූ බව ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ SBS සිංහලට පැවසුහ.

අනතුරුව ඔවුන් දෙදෙනාම Australian National University හි ආචාර්ය උපාධිය සඳහා අයදුම් කොට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

2019 වසරේදී ආචර්ය උපාධිය අවසන් කිරීමෙන් අනතුරව covid -19 සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කොට ඇති අතර ගිහිකල බිරිඳ ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක වශයෙන් කටයුතු කොට තිබේ.

ඕස්ට්‍රේලියාවේ ගිහි ජීවිතය ගත කරමින් සිටියදී පැවිදි ජිවිතයට යොමු වීම


සොඳුරු සිනහවක් සමග අප නැගු පැනයට පිළිතුරු දෙමින් ස්වාමින් වහන්සේ සඳහන් කොට සිටියේ එය ඉතා සුන්දර කතාවක් වන බවයි.

මේ සඳහා වූ පදනම 2010 වසර දක්වා ඈතට දිව යන බව උන්වහන්සේ අපත් සමග පැවසූහ.

2010 වසරේදී තමා සහ ගිහිකල බිරිඳ, ශ්‍රී ලංකාවේ ගැටඹේ පන්සලට ගිය බවත් මෙහිදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීම පිළිබඳව දෙදෙනා අතර පිලිසඳරක් ඇති වූ බවත් ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ අපත් සමග පැවසුහ.
3.jpg
Credit: Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero
මෙහිදී දෙදෙනාම බුදුරජාණන් වහන්සේ කියූ ධර්මය තේරුම් ගැනීම කෙදිනක හෝ සිදු කල යුතු බවට අධිෂ්ඨාන කොටගෙන ඇති අතර ඔවුන් කාලයාත් සමග විවිධ ගුරුවරුන් වෙත ගොස් තිබේ.

කෙසේ නමුත් අවසාන වශයෙන් වත්මන් ගුරු ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව අන්තර්ජාලය ඔස්සේ අහඹු ලෙස ශ්‍රවණය කිරීමට දෙපලට ඕස්ට්‍රේලියාවේ සිටියදී අවකාශය හිමි වූ බව ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් කියා සිටී.

පැය 4ක් පමණ කාලයක් පුරා දෙවෙන මෙම ධර්ම දේශනාව රාත්‍රියක් පුරා අඛණ්ඩව දෙවරක් ශ්‍රවනය කල බවත්, මෙය තමාට සහ තම ගිහිකල බිරිඳට ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතය තෝරාගැනීමට ඉවහල් වූ බව උන්වහන්සේ පැවසුහ.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථාන (Rehabilitation centre) සහ නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන (Correctional centre) වල සිටින පිරිසට තමා ඉගෙන ගත් ධර්මයෙන් මානසික ගැටළු සඳහා උපකාර සිදු කිරීමේ ආරම්භය


මේ සම්බන්ධයෙන් ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් සඳහන් කොට සිටියේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී තමා සහ ගිහිකල බිරිඳ අනගාරික සහ අනගරිකා ලෙස ශ්‍රී ලංකාවේ පැවිදි වීමට සුදානම් වන සමයේදී මෙය ඇරඹුන බවයි.

එම සමයේදී ශ්‍රී ලංකාවේ තිබෙන ආරාමයට ඕස්ට්‍රේලියාවේ පිරිස නිර්මාණය කල Ministry of Nirvana යන සංවිධානයෙන් ආරාධනයක් ලැබී තිබේ.
2.jpg
Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero Credit: Simon Fazio
මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම බන්ධනාගාර වල සිටින පිරිසේ මානසික ආතතිය අඩු කිරීම සඳහා කටයුතු කිරීමට ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් අනගාරික සමයේදී නැවත ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ මේ වනවිට සෑම වසරකම කිහිප වතාවක් ඔස්ට්‍රේලියාවට වැඩම කොට සෑම ප්‍රාන්තයකම පාහේ මෙවැනි වැඩසටහන් සඳහා සහභාගී වීම සිදු කරයි.

ඕස්ට්‍රේලියාවේ විවිධ සමාජ විරෝධී ක්‍රියා නිසා නීතිමයවශයෙන් දඬුවම් විඳින පුද්ගලයින් සහ පුනරුත්ථාපනය වන පුද්ගලයින් සඳහා මානසික උපදේශනය සිදු කිරීමට "බුදු දහමේ සංකල්ප" භාවිත කරන ආකාරය


ඕස්ට්‍රේලියාවේ වැඩ සිටින මහා සංඝරත්නය මේ සඳහා විශාල කැපකිරීමක් සිදු කරන බව ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ පෙන්වා දෙයි.

තමා මේ ඔස්සේ සිදු කරන්නේ උන්වහන්සේලාගේ මග යමින්, තමාට සිදු කල හැකි දායකත්වයක් වන බව ස්වාමින් වහන්සේ SBS සිංහල සේවයට පැවසුහ.

තමන්වහන්සේ ශාසනයට අලුත් බවත් තම ජීවිතකලයෙන් වැඩි කොටසක් විද්‍යාව සමග ගෙවූ බවත් උන්වහන්සේ කියා සිටී.

මේ හේතුවෙන් බුදු දහමේ සංකල්ප ඕස්ට්‍රේලියානුවන් හට සමීප කිරීම සහ සරළව තේරුම් කරදීම, උන්වහන්සේ විද්‍යාව භාවිත කරමින් සිදු කරයි.
4.jpg
Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero
විද්‍යාව ලොව සෑම අයකුම ඉගෙන ගැනීම සිදු කරන අතර එය පිළිගැනීම හේතුවෙන් විද්‍යාව උපයෝගී කරමින් බුදු දහමේ සංකල්ප ඔවුනට තේරුම් කරදීම පහසු වන බවයි පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ පවසන්නේ.

මෙහි ප්‍රධාන අරමුණ යම් හේතුවක් මත දඬුවම් විඳින පිරිස එම මානසිකත්වයෙන් ඉවත් කිරීම වන බවත් උන්වහන්සේ පවසා සිටී.

එමෙන්ම ස්වාමින් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙය හුදෙක්ම ඕස්ට්‍රේලියනුවන්ගේ මානසික ආතතිය, කාංසාව, මානසික අවපීඩනය අඩු කිරීම සඳහා නොව ඒවා සහමුලින් ඉවත් කිරීම සඳහා සිදු කරන කාර්යයක් වන බවයි.

මේ සඳහා යම් කාලයක් ගත වන අතර කෙසේ නමුත් මේ දෙය සිදු කල හැකි බවත්, බුදුරජාණන් වහන්සේ ලොව සෑම අයකුටම අයත් වන බවත් ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ SBS සිංහල සේවයට පැවසුහ.

බුදුහාමුදුරුවෝ අයිති අපිට නෙමෙයි, බුදුහාමුදුරුවෝ අයිති අපි හැමෝටම. මේ ලෝකේ මනසක් තියෙන හැමෝගේම ගුරුවරයා තමයි භාග්‍යවතුන් වහන්සේ. අපි මෙතන ආගමක් ව්‍යාප්ත කරනවා නෙමෙයි, බුදුහාමුදුරුවන් හොයල දීපු දර්ශනය ගැන තමයි මේ කතා කරන්නේ

තමා සිදු කරන කාර්යයන් ඔස්සේ ලැබුන ප්‍රතිපල


මේ සම්බන්ධයෙන් ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ අපත් සමග මතකය අවදි කලේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wagga Wagga හි බන්ධනාගාරයක සිටි ස්වදේශික ඕස්ට්‍රේලියානු පුද්ගලයකු හමුවූ අවස්ථාවක සිදු වූ කතාබහකුයි.

මෙහිදී කිසිම විටක බන්ධනාගාරය තුල ඔහු පමණක් සිරව නොසිටින බවට ඔහුට වටහා දෙමින් සහ තමන් චීවරධාරියකු ලෙස ආරාමය තුල සීමා සහිතව ජීවත් වන බව පෙන්වා දෙමින් උන්වහසේ ස්වදේශික ඕස්ට්‍රේලියානු පුද්ගලයා අත්විඳින මානසික පීඩන තත්වය වෙනස් කොට තිබේ.
7.jpg
Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero
මෙලෙස පුද්ගලයකුගේ අදහස් වෙනස් කිරීම ඔස්සේ ඔවුන්ගේ සිත් තුල තිබෙන පීඩාව ඉවත් වන බව ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ පෙන්වා දී තිබේ.

මේ වනවිට එම පුද්ගලයා යම් සතුටකින් සහ මානසික පිඩනයකින් තොරව එම බන්ධනාගාරයේ කාලය ගත කරමින් සිටින බවත් උන්වහන්සේ පවසයි.

එමෙන්ම ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ සෙසු වැඩසටහන් සඳහා සහභාගී වන සහ බුදු දහම පිළිබඳව කිසිදු දැනුමක් නොමැති පිරිස, වැඩසටහන් වලින් අනතුරුව තවදුරටත් ඒ හා සම්බන්ධ වීමට බෙහෙවින් උත්සුක වන බවයි.

කෙසේ නමුත් බුද්ධ ධර්මය කිසි දිනෙකවත් විද්‍යාව හමුවේ දෙවැනි නොවන බව උන්වහන්සේ පෙන්වා දෙයි.

භාග්‍යවතුන්වහන්සේ හොයාගත්තු දේ කවදාවත් scientist ලාට හොයාගන්න හම්බවෙන්නේ නැහැ, හැබැයි science base කරලා දෙයක් කියනකොට ඒ පිරිසට ලොකු අවබෝධයක් පොඩි කාලයක් ඇතුලත ලබාදෙන්න පුළුවන්


මුහුණ දීමට සිදු වූ අභියෝග


පුද්ගලයින් බුදු දහම සෑම විටම ආගමක් ලෙස දැකීම හේතුවෙන් වැඩසටහන් සඳහා සහභාගී වීම ඇතැම් පිරිසක් යම් චකිතයකින් සිදු කරන බව මේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ සඳහන් කොට සිටී.

මෙහිදී ඔවුන්ට මේ ඔස්සේ ආගම ප්‍රචාරය කිරීමක් සිදු නොවන බවත්, භාග්‍යවතුන් වහන්සේ මානසික සුවය සම්බන්ධයෙන් සඳහන් කල දේ සරලව කියා දීම පමණක් සිදු වන බවත් ඔවුනට පැහැදිලි කිරීම සිදු කල යුතු වේ.
6.jpg
Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero
තමන් චීවරය පැළඳීම මගින් ආගමික ස්වරුපයක් මෙම වැඩසටහන් වල බාහිරව දක්නට ලැබීම දැඩි අභියෝගයක් වන බවත්, කෙසේ නමුත් ශාසනයට කැප වූ අයකු වශයෙන් තමන් භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමවේදය අනුගමනය කල යුතු බවත් උන්වහන්සේ කියා සිටී.

ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන් හට සිදු කිරීමට බලාපොරොත්තු වන කටයුතු


ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෞද්ධ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් Buddhist Science Fair වශයෙන් වැඩසටහනක් ඕස්ට්‍රේලියානුවන් හට සිදු කිරීමට බලාපොරොත්තු වන බව ස්වාමීන් වහන්සේ සඳහන් කරයි.

මේ සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ විශ්ව විද්‍යාල වල පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් සම්බන්ධ කරගැනීම බලාපොරොත්තුවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල, පුනරුත්ථාපන මධ්‍යස්ථාන සහ නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන වල සහය ලබමින්, ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම බෞද්ධ ප්‍රජාවට සහ ඕස්ට්‍රේලියානුවන් හට නොමිලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ සඳහා සහභාගී වීමට කැමති පිරිසට වැඩසටහන් පැවැත්වෙන දින සහ ස්ථාන Ministry of Nirvana යන Facebook පිටුව මගින් තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී.

එමෙන්ම මේ දක්වා පැවති වැඩසටහන් සඳහා You Tube චැනලය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
5.jpg
Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero
මෙය තමන් පමණක් සිදු කරන කාර්යයක් නොවන බවත් මේ සඳහා 750කට අසන්න විශාල පිරිසකගේ දහඩිය මහන්සිය එක්වන බවත් ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ පවසයි.

ඕස්ට්‍රේලියාවට පැමිණ පර්යේෂණ විද්‍යාඥයකු ලෙසට ආරම්භ කල ජීවිතය, ඕස්ට්‍රේලියානුවන්ගේ මානසික පීඩනය අවම කිරීම සඳහා ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන බුද්ධ පුත්‍රයෙකු ලෙසින් අවසන් වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තිබෙන හැඟීම


SBS සිංහල සේවය නැගූ මෙම පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ කියා සිටියේ, මේ පිළිබඳව තමාට ඉමහත් සතුටක් තිබෙන බවයි.

ගිහිකල ජීවිතය තුල තමා වෙනුවෙන් පමණක් ජීවත් වූ බවත්, මේ වනවිට ගෙවන පැවිදි ජීවිතය ලෝක සත්වයා හටත් තමාටත් නිවන අවබෝධ කරගැනීම සඳහා ගෙවන බවත් උන්වහන්සේ කියා සිටී.

ස්වාමින් වහන්සේගේ වත්මන් ජීවිතය සෑම පුද්ගලයකුම පීඩා විඳින මානසික පීඩනය අවසන් කිරීමට පමණක් කැපවී තිබේ.

මෙය මනුෂ්‍ය ජීවිතයකින් සිදු කල හැකි යහපත්ම ක්‍රියාවක් වන අතර ඒ පිළිබඳව තමන් භාග්‍යවතුන් වහන්සේටත් තම ගුරු ස්වාමින් වහන්සේලාටත් පින් රැස් වන බව ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද ස්වාමින් වහන්සේ අපත් සමග පැවසූහ.

ස්වාමින් වහන්සේ අවසන් වශයෙන් සඳහන් කොට සිටියේ, අතීතයේදී මහරහතන් වහන්සේලා රැගෙන ආ අවබෝධය තවත් විශාල පිරිසකට බෙදාදීමට හැකිවීම පිළිබඳව තමන්වහන්සේට අප්‍රමාණ සතුටක් තිබෙන බවයි.

Share

Published

Updated

By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නිවන් මග අවබෝධ කරගන්න ඕස්ට්‍රේලියාවේදී ගිහි ගෙය අතහැරි ලාංකික විද්‍යාඥයා: අතුරුගිරියේ මහින්ද ස්වාමීන් වහන්සේ | SBS Sinhala