SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා දිවි සැරියෙන් සමු ගනියි.: 'SBS සිංහල' අනුස්මරණ සටහන

Veteran journalist S. Piyasena passes away
Source: Lankadeepa

3 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු මෙන්ම  ප්‍රවීණ ලේඛකයකු වූ එස්.පියසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (05/04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

උදෑසන ආහාර ගනිමින් සිටියදී ඇතිවූ හදිසි රෝගාතුරවීමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරන විට ද  ඒ මහතා මියගොස් සිටි බව වාර්තා වේ.

1922 නොවැම්බර් 14වැනිදා උපත ලැබූ පියසේන මහතා මිය යන විට  94 වන වියෙහි පසු විය.

මිය යන විටද ශ්‍රී ලංකාවේ ‍දිනපතා පළවන ජාතික පුවත්පත් දෙකකට සෑම සිකුරාදාම දේශපාලන තීරු ලිපි දෙකක් සතිපතා ලියමින් සිටියේය.

S. පියසේන මහතා SBS සිංහල ගුවන් විදුලියේ මුල් භාගයේදී වැඩසටහන් වලට ද දායක වී ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට සමීප විය.

එසේම මාසිකව ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත්වලටද ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාව වෙනුවෙන් පලකරන පහන, සන්නස, සිහනද ඇතුළු පුවත්පත් කිහිපයකටම පියසේන මහතා මාසිකව ලිපි සපයමින් සිටියේය.

පස්යොදුන් කෝරළයේ අලුත්ගම දේවගොඩ ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ ඒ මහතා සිව්දරු පියකු විය.

පියසේන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. එහිදී ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන්ගෙන් සිංහල භාෂාව ඉගෙනගත් පියසේන මහතා පොල්වත්තේ බුද්ධදත්ත, ආනන්ද මෛත්‍රිය යන හිමිවරුන් සෙවණේ සිප්සතර ලබා ඇත.

ආනන්දයේ ඉගෙනුම ලැබීමෙන් පසු ඉන්දියාවේ කල්කටාවට ගොස් බීකොම් උපාධිය හැදැරූ අතර එහිදී වාමාංශික දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී ට්‍රොස්කිවාදියකු විය.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ තම පියා නිසා ලංකාවේ වාමාංශික ව්‍යාපාර හා බැඳී දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයන් ඇසුරු කළේය.

එම පක්ෂයේ මුල්ම පුවත්පත වූ ජනශක්තිය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේද පියසේන මහතාය.

1964 දී ඉන්දියාවේ ආකාශ්වාහිනී ගුවන්විදුලි නාලිකාවේ සිංහල වැඩසටහන් සම්පාදකවරයා ලෙස සේවයට යන ඔහු 1976 සිට යළි ලංකාදීපයේ කර්තෘවරයකු ලෙස සේවය කරයි.

සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ වසර 11ක් සේවය කළ පියසේන මහතා දෙවසරක් ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස ද රාජකාරී කළේය.

1978 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙසද කටයුතු කළ පියසේන මහතා එවකට අලෙවිය පහත වැටී තිබූ දවස, ලංකාදීප වැනි පුවත්පත්වල අලෙවිය කිහිප ගුණයකින් වැඩිකිරීමට ද දායක විය.

1956 වසරේ ශ්‍රී ලංකා පළමු පාර්ලිමේන්තුවේ පළමු සිංහල සමගාමී කතා පරිවර්තකයා වීමේ ගෞරවය දිනා ගන්නේ ද ඇස්.පියසේන මහතාය.

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රහස් පරීක්ෂක කථාවල පුරෝගාමියා වන්නේ ද ඒ මහතාය.

ඔස්ට්‍රේලියා පුරවැසිභාවය හිමි පියසේන මහතා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර මියයන විට පනාගොඩ රොමියෙල් මාවතේ ශාක්‍යසිංහාරාමය අසල නිවසේ ජීවත්ව සිටියේය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (07/04) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

පියසේන මහතාගේ දේහය 732/3, රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම නිවසේ තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා ඇස්. පියසේන මහතා බව ද බොහෝ විචාරකයින් පවසයි. .


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now