SKIP TO MAIN CONTENT

අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලත් ප්‍රවීණ ශ්‍රී ලාංකික චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් මෙලොව හැරයයි

veteran Sri Lankan film director - Dr D.B Nihalsingha
veteran Sri Lankan film director - Dr D.B Nihalsingha Source: veteran Sri Lankan film director - Dr D.B Nihalsingha

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන කලාකීර්ති ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් හෘදයාබාධයකින් ඊයේ (21දා)කොළඹදී අභාවප්‍රාප්ත විය.දේශීය සිනමා කර්මාන්තයට විශිෂ්ට සේවාවක් ඉටු කළ නිහාල්සිංහ මහතා ප්‍රථම සිනමාස් කෝප් කෙටි චිත්‍රපටය වන 'භක්ති' චිත්‍රපටය හැටේ දශකයේ එළි දක්වන ලදී.

වැලිකතර, මල්දෙණියේ සිමියොන්, කෙළිමඩල, රිදී නිම්නය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නිහාල්සිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි වෘත්තාන්තය වන 'දිමුතු මුතු'නිෂ්පාදනය කෙළේය. රේඛා, කළුසුදු ටෙලි නාට්‍යයන්ද ඔහුගේ අධ්‍යක්ෂණයන්ය.

නිහාල්සිංහ මහතා අධ්‍යක්ෂණය කළ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ රඟ පෑ අනෝජා වීරසිංහ හොඳම නිළිය වශයෙන් ජගත් සම්මානයට පාත්‍ර වූ අතර 'භක්ති' කෙටි චිත්‍රපටය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සිනමා සම්මාන උළෙලේදී සම්මාන හිමිකර ගෙන ඇත.

වියට්නාම් යුද්ධය වාර්තා කිරීමට කැමරාකරුවකු ලෙස සහභාගි වූ නිහාල්සිංහ මහතා චිත්‍රපට කැමරාකරණය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් 'සරසවි' ජනාධිපති සහ ඕසීඅයිසී විචාරක සම්මාන හිමිකර ගැනීමට සමත් විය. ඔහු අධ්‍යක්ෂණය කළ 'වැලිකතර' 50 දශකයේ හොඳම සිංහල චිත්‍රපට දහයට තෝරා ගැනිණි.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව 1972 ආරම්භ කළ අවස්ථාවේ එහි ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්වූ හෙතෙම එම සංස්ථාවේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරමින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා විශාල මෙහෙවරක් ඉටු කෙළේය. චිත්‍රපට කර්මාන්තය නඟා සිටුවීමට එම සංස්ථාව වෙතින් ඉමහත් කාර්යභාරයක් ඉටු කිරීමට 1972-78 කාලයේදී කැපවී ක්‍රියා කළ නිහාල්සිංහ මහතා එම සංස්ථාව විශාල වශයෙන් ලාභ උපදවන ආයතනයක් බවට පත් කෙළේය.

සිනමා කැමරාකරණය පිළිබඳ විශිෂ්ට ගණයේ හසළ දැනුමක් හිමිකරගෙන සිටි ඩී.බී. නිහාල්සිංහ මහතා සිනමාව පිළිබඳ පාඨමාලාවක් කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කර එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් විශාල සිසු පිරිසක් සිනමා ක්‍ෂේත්‍රයට දායාද කෙළේය.

නිහාල්සිංහ මහතා ප්‍රථම රූපවාහිනි ආයතනය වශයෙන් 'ටෙලි සිනෙ' ආයතනය ආරම්භ කර එහි සභාපති වශයෙන්ද කටයුතු කෙළේය.

පත්‍රකලාවෙඩි ඩී.බී. ධනපාල මහතාගේ ජේ‍යෂ්ඨ පුත්‍රයායි. අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී ඩී.බී නිහාල්සිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම ඉරිදා ( 24දා) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now