සමලිංගික සබදතා පැවැත්වීම අපරාධ වරදක් ලෙස සැලකීම හේතුවෙන් දශක ගණනාවක් අපහසුතාවයට පත් වූවන්ගෙන් සමාව අයදින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගියදා, ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුල විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළේය. මෙලෙස ඔස්ට්‍රේලියාව තුල නිල වශයෙන් සමාවක් ප්‍රකාශයට පත් කල පළමු ප්‍රාන්ත රජය බවට පත්වන්නේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයයි.
දැනට 84 හැවිරිදි වියේ පසුවන Noel Tovey, 1951 වසරේ සමලිංගික සබදතා වරදක් වශයෙන් සැලකු නිසා සිර දඩුවන් නියම වුවෙකු වන අතර, මෙතරම් ඉක්මනට මේ සදහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් සමාවක් ප්‍රකාශයට පත් වීම තමන් බලාපොරොත්තු නොවූ කාරණයක් බව පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සමාව ගැනීම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන අවස්ථාවට Noel Tovey ද සහභාගී වී සිටි බව සදහන්. ඔහු සිරගතව සිටි කාලයේදී විවිධ ලිංගික හිංසන ක්‍රියාවලටද ලක් වූ බව ඔහු පවසයි. වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews විසින් මෙම සමාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට සහාය දක්වමින් අදහස් දැක්වූ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක Matthew Guy සදහන් කලේ සමලිංගිකත්වය වරදක්ව පති සමයේ මෙල්බර්න් රාජකීය රෝහල තුල ඔවුන්ට ප්‍රතිකාර කිරීමට, ඉතා අප්‍රසන්න ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවයි. සමලිංගිකත්වය රෝගයක් ලෙස සලකා විදුලි සැර යොදාගෙන එය සුව කිරීමට ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක වූ බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් ඔහුගේ කතාවේදී සිහිපත් කළේය.
Noel Tovey සිර දඩුවම් විදීමෙන් අනතුරුව, වේදිකා රංගන ශිල්පියෙක් ලෙස තම වෘත්තීය ආරම්භ කලත්, සමලිංගික සබදතා පැවැත්වීම වරදක් බවට පත්වීම හේතුවෙන් සිරගතවීම හේතුවෙන්, නර්තන උපදේශක වරයා තමන් සමග කටයුතු කිරීම ප්‍රතික්ෂේප කල බව ඔහු සදහන් කරයි.
සමලිංගික විවාහ නීතිගත කිරීම ඕස්ට්‍රේලියාව තුල මීළඟ දේශපාලන සටන ඇතිවන කරණය බව Noel පවසනවා.
තවද ලොව තවත් කතෝලික රටවල් සමලිංගික විවාහ නීතිගත කර තිබියදී, මෙරට ඒ සදහා ජනමත විචාරණයක් පැවැත්වීම සදහා යෝජනා වී තිබීම හාස්‍ය ජනක බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
