Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Lockdown නිසා කඩාවැටුණු සංචාරක කර්මාන්තය නංවන්න රජයෙන් වවුචර් 80,000ක්: ජුනි 7දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

ජුනි 7 වන සඳුදා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

People walk around Albert Park Lake as storm clouds hover over the city skyline in Melbourne.
Albert Park Lake Source: AAP Image/Michael Dodge

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගණන යලිත් ඉහලට
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ඩොලර් මිලියන 32.2ක පැකේජයක්
  • ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාරක සේවකයින් සහ ගුරුවරුන් ඉක්මනින් එන්නත් ප්‍රමුඛතා ලැයිස්තුවට එක් කරන්නැයි ඉල්ලීම්
  • කොරෝනා වෛරසයට යලි ධනාත්මක වූ බටහිර ඔස්ට්‍රේලියානුවාගෙන් අවදානමක් නැති බව බලධාරීන් පවසයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායන මධ්‍යස්තානයකටත් යෝජනා
  • හෘදයාබාධ වැළඳුනු බොහෝ පුද්ගලයින් හදිසි සේවා භාවිත නොකරන බවට හෙළි වේ
  • ලොව අංක එකේ සමාගම් වල බදු ගැන සොයන්න බලවත් රටවල් 7ක් ලන්ඩන් හිදී සාකච්චා
  • මෙවර තරඟාවලියේදී ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ "යුරෝපීය පාපන්දු ශුරතාවලියෙන්" සමුගනීද?
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මෙල්බර්න් හි Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගණන යලිත් ඉහලට

ඊයේ (06/06) දිනයේදී සිදුකළ කොරෝනා පරීක්ෂණ 24,265 ක් හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 81 දෙනෙකු දක්වා වැඩිවී ඇති අතර ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ ගණන 94 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම අද වාර්තා වූ ආසාදිතයින් 11 දෙනාත් සමග Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයට සම්බන්ධ ආසාදිතයින්ගේ සංක්‍යාව 9 දක්වා ඉහල ගොස් තිබේ. 

හඳුනා නොගත් වෛරස දාමයක් වික්ටෝරියා ප්‍රාන්තය තුල පවතින අතර ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසු වන ලෙස ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය Allen Cheng ජනතාවට අවධාරණය කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට පවතින කොරෝනා වෛරස ප්‍රබේදය ශීග්‍ර ලෙස ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින වෛරස ප්‍රබේදයක් වන අතර එය වික්ටෝරියානු ප්‍රජාව අතරට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු සිදු කරයි.

කෙසේ නමුත්, මෙල්බර්න් හි Lockdown තත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් නිසි ලෙස පැවසීමට තවමත් කල් වැඩි බව ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය Allen Cheng පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ ඉක්මනින් Lockdown තත්වයෙන් මිදීම අපේක්ෂාව වුවද එදිනෙදා වාර්තා වන තත්වය මත එම තීරණය රඳා පවතින බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ඩොලර් මිලියන 32.2ක පැකේජයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා එම ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 32.2ක සංචාරක ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙම පැකේජය සඳහා ප්‍රාදේශීය ප්‍රදේශයන්හි සංචාරය කිරීම සඳහා ඩොලර් මිලියන 16ක වටිනාකමින් යුත් වවුචර 80.000ක් ලබාදීමට නියමිත අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තයේ සිටින පිරිස සඳහා ඩොලර් 4,500ක අතිරේකයක් ලබා දීමට නියමිතව තිබේ. ඒ සඳහා ඩොලර් ඊලියන 11.8ක් වෙන් කොට තිබේ.

එමෙන්ම ශීත සෘතුවේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා සඳහා වන නිවාඩු නිකේතන සඳහා ද ඩොලර් මිලයන 4.4ක ආධාර ලබාදීමට ප්‍රාන්ත රජය සුදානම් වේ.

ප්‍රාන්ත සංචාරක අමාත්‍ය Martin Pakula පෙන්වා දෙන්නේ පවතින දේශසීමා නීති හේතුවෙන් මෙම ව්‍යාපාර සඳහා රාජ්‍ය සහාය අවශ්‍ය වන අතර එළඹෙන දීර්ග සති අන්තය තුලදී පවා සංචාරක පිරිස අඩු විය හැකි හෙයින් අරමුදල් මෙම ව්‍යාපාර සඳහා වෙන් කොට ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාරක සේවකයින් සහ ගුරුවරුන් ඉක්මනින් එන්නත් ප්‍රමුඛතා ලැයිස්තුවට එක් කරන්නැයි ඉල්ලීම්

ඔස්ට්‍රේලියාව තුල වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ පිරස සඳහා සහ ගුරුවරුන් සඳහා ඔස්ට්‍රේලියාව තුල ලබා දෙන කොරෝනා එන්නත් අනුපාතයේ අඩු බව මත ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් දැඩි පීඩනයකට පත්ව තිබේ.

එළඹෙන ජුනි මස 15 වැනිදා සිට වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවා සපයන්නන් තම සේවකයින් හට සහ සේවා ලබාගන්නා පිරිස හට ලබාදුන් එන්නත් සංක්‍යාව සම්බන්ධයෙන් සති පතා මධ්‍යම රජයට වාර්තා කිරීම අනිවාර්ය වේ.

වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවකයින් සේවයේ නිරත වද්දී කොරෝනා එන්නත ලබා සිටීද යන්න සම්බන්ධයෙන් සේවා සපයන්නන් වෙත පැවසීම අනිවාර්ය නොවීම මත මෙම සේවකයින් කුමන සංක්‍යාවක් එන්නත ලබා ඇත්ද යන්න පිළිබඳව තොරතුරු නොමැති බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසයි.

Murdoch ළමා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Margie Danchin සඳහන් කොට සිටින්නේ ප්‍රජාව තුල වෛරසය තවදුරටත් පැතිරීම වැලක්වීමට නම් වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ පිරිස සඳහා සහ ගුරුවරුන් කොරෝනා එන්නත ලබා දෙන ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුලත් කල යුතු බවයි.

මේ අතර ඉදිරි සති කිහිපය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයට Pfizer එනත් මාත්‍රා 100.000ක් ලබාදෙන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

කොරෝනා වෛරසයට යලි ධනාත්මක වූ බටහිර ඔස්ට්‍රේලියානුවාගෙන් අවදානමක් නැති බව බලධාරීන් පවසයි

බටහිර ඕස්ට්‍රේලියාවේ පුද්ගලයකු කොරෝනා වෛරසයට ධනාත්මක වීමෙන් අනතුරුව එම පුද්ගලයා පර්ත් හි හෝටල් නිරෝධායනය වෙත නැවත යොමු කොට තිබේ.

මෙම පුද්ගලයා පසුගිය මැයි මස අගදී කොලොම්බියාවේ සිට ඇමරිකාව හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඔහු පැමිණීමෙන් දින දෙකකට පසු කොරෝනා වෛරසයට ධනාත්මක වී තිබේ. කෙසේ නමුත් එම පුද්ගලයාගේ නිරෝධායන කාලසීමාව ජුනි මස 4 වැනිදා අවසන් වුවද ඊට පසු දින එම පුද්ගලයා නැවතත් වෛරසයට ධනාත්මක වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Andy Robertson ඊයේ සඳහන් කොට සිටියේ පරීක්ෂණ ප්‍රතිපල මධ්‍යස්ත ලෙස ධනාත්මක වී ඇති හෙයින් මෙම පුද්ගලයාගෙන් සෙසු පුද්ගලයින් හට වෛරසය සම්ප්රේෂණයක් වී ඇතැයි විශ්වාස නොකරන බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායන මධ්‍යස්තානයකටත් යෝජනා

තම ප්‍රාන්තය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් කිරීමට සුදානම් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

පසුගියදා වික්ටෝරියා ප්‍රාන්ත රජය නව නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සමග එකඟතාවයකට පැමිණි අතර ඒ සඳහා වන මුල්‍යමය ගනුදෙනු සඳහා පසුගිය සතියේදී අත්සන් තැබිණ. මේ සඳහා ඩොලර් මිලියන 200 ක් පමණ වැය වන බව අපේක්ෂා කරන අතර මෙල්බර්න්හි එම මධ්‍යස්ථානය ඉදිකරන ස්ථානය සම්බන්ධයෙන් මේ වනවිට සාකච්චා සිදු කෙරෙමින් පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත භාණ්ඩාගාරික Dominic Perrottet සඳහන් කොට සිටින්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල හෝටල් නිරෝධායනය සාර්ථක ලෙස සිදු කෙරුනද මෙවැනි නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම මගින් මහත් ප්‍රයෝජනයක් සිදු වන බවයි. එමෙන්ම මෙමගින් ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන පද්ධතියට දැඩි අස්වැසිල්ලක් ලැබෙන බවද ඔහු පවසයි.

හෘදයාබාධ වැළඳුනු බොහෝ පුද්ගලයින් හදිසි සේවා භාවිත නොකරන බවට හෙළි වේ

හෘදයාබාධ වැළඳුනු පුද්ගලයින් සෑම තිදෙනෙකුගෙන් එක් අයකුම පමණක් 000 නොහොත් හදිසි සේවා භාවිත කරන බව නවතම සමීක්ෂණයක් හෙළි කොට තිබේ.

Heart Foundation මගින් මෙම සමීක්ෂණය සිදු කොට ඇති අතර එහිදී හෙළිව ඇත්තේ හෘද රෝගීන්ගෙන් 49%ක් පමණ දෙනා ගිලන් රථයක් කැඳවනු වෙනුවට පවුල් වෛද්‍යවරයා වෙත හෝ රෝහලකට යාමට කටයුතු කොට ඇති බවයි.

එමෙන්ම සමීක්ෂණයට බදුන් වූ පුද්ගලයින්ගෙන් 54%ක් දෙනා හෘදයාබාධයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් නොදැන සිට ඇති බවද හෙළිව තිබේ.

ඇතැම් පිරිස කොරෝනා වෛරසය වැළඳීමේ අවදානම සම්බන්ධයෙන් වන බිය නිසා සිය ප්‍රතිකාර ප්‍රමාද කොට ඇති බවද හෙළිව තිබේ.

මේ හේතුවෙන් රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම 000 නොහොත් හදිසි සේවා භාවිත කරන ලෙස ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලොව අංක එකේ සමාගම් වල බදු ගැන සොයන්න බලවත් රටවල් 7ක් ලන්ඩන් හිදී සාකච්චා

ලොව ප්‍රධාන පෙලේ රටවල් 7 ක නියෝජිත සහභාගීත්වයෙන් ලන්ඩන් හිදී සිදු කෙරුණු සාකච්චා වලින් අනතුරුව බහු ජාතික සමාගම් සඳහා බදු අයකිරීම පිළිබඳව වන එම රටවල් එකඟතාවයකට පැමිණ තිබේ.

මේ සාකච්චාව සඳහා බ්‍රිතාන්‍යය , ඇමරිකාව , කැනඩාව ,ප්‍රංශය ,ජර්මනිය , ඉතාලිය සහ ජපානය යන රටවල මුදල් අමාත්‍යවරුන් එක්ව සිටි අතර මෙම ඉතිහාස ගත තීරණය ඔස්සේ Amazon, Facebook සහ Google වැනි සමාගම් වල බදු ගෙවීම සබන්ධයෙන් දැඩි අවධානයක් යොමු කෙරේ.

එක්සත් රාජධානි භාණ්ඩාගාර ප්‍රධානි Rishi Sunak සඳහන් කොට සිටින්නේ මෙම ගිවිසුම මගින් ගෝලීය වශයෙන් සෑම සමාගමක් සඳහාම එකම බදු නීතියක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ ඔස්සේ සෑම සමාගමකටම ගෝලීය වශයෙන් සාධාරණත්වය හිමි වන බවයි.

මෙවර තරඟාවලියේදී ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ "යුරෝපීය පාපන්දු ශුරතාවලියෙන්" සමුගනීද?

2020 යුරෝපීය පාපන්දු ශුරතා තරඟාවලිය ලබන 11 වැනිදා ඉතාලියේදී ඇරඹීමට නියමිතව තිබේ. මෙම තරඟාවලිය කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම වසර දක්වා කල් දැමුණු අතර වසර 63ක පමණ කාලයක් තිසේ පැවති මෙම තරඟාවලිය මෙවර නගර 11ක පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් වේ.

ඒ අනුව අවසන් පූර්ව තරඟය සහ අවසන් මහා තරඟය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර යුරෝපීය පාපන්දු ශුරතා තරඟාවලියේදී ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම, යුරෝපීය තරඟාවලියෙන් සමුගැනීමට නියමිත අතර ඒ අතර ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු වන පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ද සිටිය හැකි බව ක්‍රීඩා විචාරකයින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මෙල්බර්න් හි Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය ඉදිරි වසරක කාලය සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

51 හැවිරිදි සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 445ක් ලෙස වාර්තා වේ.

Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජය වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවැනි පෙළ තරග ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයක් වන අතර තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙවැනි දක්ෂ පිතිකරුවෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බව සනත් පුහුණුකරු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


6 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now