Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

හදිසි අනතුරකට බඳුන් වුනු වික්ටෝරියා ප්‍රාන්ත අගමැති තවදුරටත් ICU හි රඳවා තැබේ: මාර්තු 11 දා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 11 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ....

Victorian premier Daniel Andrews
Source: AAP

Highlights

  • හදිසි අනතුරකට බඳුන් වුනු වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ගේ තත්වය
  • කඩාවැටී ඇති මෙරට සංචාරක කර්මාන්තයට නගා සිටුවීමට මධ්‍යම රජයෙන් විශේෂිත ගුවන් ප්‍රවේශපත්‍ර පැකේජයක්
  • සහරාන් පුහුණු කල ස්වයං ඝාතක කාන්තාවන් දෙදෙනෙක් තවමත් නිදැල්ලේ සිටින බවට අනාවරණයක්.
  • මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිවුනු තවත් සිය ගණනක් අත්අඩංගුවට
  • තවත් කොවිඩ් එන්නතක් අනුමැතියට යුරෝපා සංගමයේ අවධානය
  • ශ්‍රී ලංකා - කොදෙව් පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී කොදෙව් පිලට විශිෂ්ඨ ජයක්.

 හදිසි අනතුරකට බඳුන් වුනු වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිගේ තත්වය

 හදිසි අනතුරකට භාජනය වීම හේතුවෙන් රෝහල් ගතකොට සිටින වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් Daniel Andrews මහතා සැත්කමකට භාජනය කිරීමට අවශ්‍ය වේදැයි වෛද්‍ය වරුන් විසින් තවදුරටත් නිරීක්ෂණය කෙරෙන බව වාර්තා වේ.

මොනින්ටන් ප්‍රදේශයේ නිවාඩුවක් ගතකරමින් සිටියදී, ඔහු රැඳී සිටි නිවාඩු නිකේතනයේ තෙත පඩිපෙළකින් ලිස්සා වැටීමෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති අගමැතිවරයා මෙසේ අනතුරට පත්ව ඇත. එම හදිසි අනතුරින් Daniel Andrews මහතාගේ ඉළ ඇට කිහිපයක් ද බිඳී ඇති අතර, කොඳු ඇට පෙළේ T7 කශේරුකාව බිඳී ඇති බවද සඳහන්.

වෛද්‍ය උපදෙස් මත, වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා මේවන විට  ඇල්ෆ්‍රඩ් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රඳවා තිබේ.

Daniel Andrews මහතා සුවපහසු තබා ඇති බවත්, ඔහුගේ වේදනාව හොඳින් පාලනය කොට ඇති බවත්, එහෙත් සැත්කම් සඳහා ක්ෂණික සැලසුම් නොමැති බවත්, ඇල්ෆ්‍රඩ් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී, මහාචාර්ය ස්ටීව් මැක්ග්ලොග්ලින් පවසා සිටි.

කඩාවැටී ඇති මෙරට සංචාරක කර්මාන්තයට නගා සිටුවීමට මධ්‍යම රජයෙන් විශේෂිත ගුවන් ප්‍රවේශපත්‍ර පැකේජයක්

කොරෝනා හේතුවෙන් කඩාවැටී ඇති මෙරට සංචාරක කර්මාන්තයට උපකාර කිරීම සඳහා මධ්‍යම රජය විසින් දේශීය සංචාරකයින් උදෙසා විශේෂිත  පැකේජයක් හඳුන්වා දීමට යයි. විශේෂයෙන් ජාත්‍යන්තර දේශසීමා වසා ඇති සමයක ඕස්ට්‍රේලියානුවන්ට රට තුල සංචාරයේ යෙදීම සඳහා දේශීය ගුවන් ටිකට් පත්වල මිල හරි අඩක් දක්වා අඩුකිරීමට මධ්‍යම රජය තීරණය කොට ඇත.

ඒ යටතේ අප්‍රේල් සිට ජූලි  මාසය දක්වා වන කාලය තුලදී දේශීය ගුවන් ප්‍රවේශ පත්‍ර ලක්ෂ 8 ක් මෙලෙස හරි අඩක මුදලක් යටතේ ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත දක්වා සංචාරයේ යෙදෙන පුද්ගලයින් හට ලබාදීමට සැලසුම් සකස්කොට ඇත. ඒ අනුව Gold Coast, Sunshine Coast, Cairns, Whitsundays, Alice Springs, Launceston, Broome, වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප, Merimbula සහ Kangaroo Island යන සංචාරක ගමනාන්ත වෙත යන දේශීය සංචාරකයින් සඳහා මෙම ගුවන් ප්‍රවේශපත්‍ර සහනය හිමිවේ.

එසේම විදේශීය ගුවන් ගමන් නැවත ආරම්භ වන තෙක් කාර්ය මණ්ඩල 8,600 ක් සේවයේ තබා ගැනීම සඳහා ගුවන් සමාගම්වලට සිදුකරන මුදල් ප්‍රදානයන් ද මෙම පැකේජයට ඇතුළත් ය.

මේ සියළු ක්‍රියාමාර්ග වලින් අපේක්ෂා කරනුයේ මෙරට රැකියා පවත්වාගැනීම සඳහා සහය වීම බව මධ්‍යම රජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මයිකල් මැකෝමැක් පවසා සිටී.

කොවිඩ් 19 එන්නත්කරණයේ පමාව විමසීමට සෙනෙට් කමිටුවක්

ඕස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ජනතාවට ලබාදීමේ කාර්යක්‍ෂමතාව අඩු වීම පිළිබඳව විමර්ශනයට පත්කළ සෙනෙට් කමිටුව, මෙරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් පිළිතුරු ඉල්ලා සිටී.

මෙරට 100,000 කට අධික පිරිසකට ඔවුන්ගේ පළමු මාත්‍රාව මේ වන විට ලැබී ඇති අතර, එය රජය විසින් නිවේදනය කොට සිටි ඉල්ලකයට  වඩා බොහෝසෙයින් පසුපසින් පවතින බව වාර්තා වේ.

මාර්තු මාසය අවසන් වන විට මිලියන හතරක ජනතාවකට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට රජය සැලසුම් කොට තිබූ අතර, ඔක්තෝබර් වන විට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ මෙරට සියලුම වැඩිහිටියන්ට ලබා ගත හැකි වන පරිදි සැලසුම් සකස්කොට තිබිණ.

මෙම මන්දගාමීත්වය  සම්බන්දයෙන් කරුණු පැහැදිලි කිරීම උදෙසා ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් බ්‍රෙන්ඩන් මර්ෆි යන දෙදෙනා, සෙනෙට් සභාවේ කොරෝනා වෛරස් සඳහා වන ප්‍රතිචාර කමිටුව හමුවේ පෙනී සිටිනු ඇත.

ශ්‍රී ලංකාවෙන් ......

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. එලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ  77 හැවිරිදි කාන්තාවක්, කොළඹ 09  ප්‍රදේශයේ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අලවතුගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව, මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 515කි.

තවද, ඊයේ දිනය නිමාවන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් 300 ක් පිළිබඳව වාර්තා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව 86,643ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පාස්කු විමර්ශන කමිටු වාර්තාව විවාදයට ගැනේ

පාස්කු ප්‍රහාරය සම්බන්ද කොමිසම් වාර්තාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ විය.  එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගත් පිරිස් , බන්දනාගාර ගතව සිටින පිරිස සහ ඇප පිට නිදහස්ව සිටින පිරිස් සම්බන්දයෙන් විශේෂ හෙළිදරව්වක් කොට සිටියේය.

එහිදී තවදුරටත් කරුණු හෙළිදරව් කොට සිටි  අමාත්‍ය සරත් වීරසේකර මහතා කියාසිටියේ සහරාන් යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 වසරේ මුල්භාගයේ දී ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත් බවයි. කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා ලබා දී ඇති බවත් ඉන් 5ක් මියගොස් ඇති අතර තිදෙනෙක්ට චෝදනා ගොනු කර ඇතැයිද, 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු සිදුකෙරෙන බව ද තවත් දෙදෙනෙකු තවම නිදැල්ලේ සිටින බවද , ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකල තම විශේෂ ප්‍රකාශයේදී සඳහන් කොට සිටියේය.

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව තවත් සිය ගණනක් අත්අඩංගුවට

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා කරුවන් සිය ගණනක් ඊයේ දිනයේදීත් (මාර්තු 10) අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.

මියන්මාර පාලන බලය අත්පත් කොට ගෙන සිටින හමුදා පාලනාධිකාරිය දැනට වැඩවර්ජනයේ දී සිටින දුම්රිය සේවකයින්ට ගිනි අවි එල්ලකොට සේවයට වාර්තා කරන ලෙසට බලකොට ඇතැයි දුම්රිය සේවකයන් පවසා තිබේ.

තවත් කොවිඩ් එන්නතක් අනුමැතියට යුරෝපා සංගමයේ අවධානය  

අද දිනයේදී ඖෂධ පිලිබඳ විශේෂ රැස්වීමක් කැඳවීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. ජොන්සන් & ජොන්සන් සමගම විසින් නිපදවා ඇති එක්වරක් පමණක් ලබාදිය හැකි Covid 19 එන්නත සඳහා අනුමැතිය ලබාදීම සුදුසු දැයි මෙම රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි.

එම එන්නත සනදහා අනුමැතිය ලැබුනහොත් එය යුරෝපා සංගමයේ අනුමැතිය ලැබූ 4 වන එන්නත බවට පත්වන අතර එය යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් 27ක් සඳහා බෙදා හැරීමේ අවසරයද හිමිවෙයි.

ශ්‍රී ලංකා - කොදෙව් පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී කොදෙව් පිලට විශිෂ්ඨ ජයක්.

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ (මාර්තු 10) පැවැත්වුණු ප්‍රථම එක්දින තරඟයෙන් කදුළු 8ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වූහ.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 232ක් ලබාගත්හ.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 යි.

දිමුත් කරුණාරත්න ලකුණු 52 යි

අශේන් බණ්ඩාර ලකුණු 50 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වෝ පන්දුවාර 47 ක දී කඩුලු  2 ක් පමණක් දැවී ලකුණු 236ක් රැස්කොට ජයග්‍රහණය වාර්තා කලහ.

ෂේ  හෝප්  ලකුණු 110 යි

එවින් ලුවිස් ලකුණු 65 යි

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 50 ට කඩුළු 2 ක් දවා ගත්තේය

ශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරඟය මාර්තු 13 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් අළුයම 12.30 ට ආරම්භවීමට නියමිතයි. 

----------------------------------------------------------------------------------

SBS සිංහල ගුවන්විදුලියේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙරවරු 11 සිට..

_______________________________________________________________________________________________

 *** පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

 

 

 

 

 

 

 

 

 

 

 

 


6 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now