බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ලොවට බලපාන්නේ කෙසේද? (වාර්තා / SBS සිංහල)

බ්‍රිතාන්‍ය තුල වෙසෙන මිලියන 30කට අධික ජනතාව අතරින් 52% කට අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබු අතර, 48% ප්‍රකාශ කර තිබුනේ, බ්‍රිතාන්‍ය තවදුරටත්, යුරෝපා සංගමය තුල රැදී සිටිය යුතු බවයි.

Prime Minister David Cameron

Prime Minister David Cameron speaks outside 10 Downing Street, London, Source: AAP

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට  (Brexit ) තීරණය කිරීම හේතුවෙන්, මේ වනවිට ලොව පුරා  ව්‍යාකුල තත්වයක්  ඇතිව තිබෙන අතර, මෙම අනපේක්ෂිත තත්වය හේතුවෙන් උද්ගත වන තත්වයන්ට මුහුණ දෙන ආකාරය මේ වනවිට ලොව පුරා රටවල් සාකච්චා කරමින් සිටියි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද යන්න විමසා බැලීමට ජනමත විචාරණය පැවති අතර, එහිදී වැඩි පිරිසක් ප්‍රකාශ කර තිබුනේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවයි. මෙම මතයට පක්ෂව කටයුතු කල අයට  මෙය ආශ්වාදනීය කාරණයක් වුවත්, මෙම කාරණයත් සමග ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය බ්‍රිතාන්‍ය හැර ලොව අනෙක් රටවලටද බලපාන කාරණයක් බවට පත්ව තිබේ. මෙම ජනමත විචාරණයේ ප්‍රතිපලයක් ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා මේ වසර අගදී තම ධුරයෙන් ඉවත්වන බව පසුගියදා ප්‍රකාශ කළේය.

ඉතිහාසය

1973 දී ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය යුරෝපා රටවල් සමග ගිවිසුමකට එළබෙන අතර, එවකට එය හදුන්වනු ලැබුවේ යුරෝපිය ආර්ථික ප්‍රජාව (EUROPEAN ECONOMIC COMMUNITY ) නමින්. පසුව 1993 වසරේදී යුරෝපා සංගමය (EUROPEAN UNION) බිහිවූ අතර, බ්‍රිතාන්‍ය එහි සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළේය. වසර 43කට පසුව බ්‍රිතාන්‍ය යුරෝපා රටවල් සමග පැවති  ගිවිසුම අහෝසි කිරීමට එරට විපක්ෂ නායක ඇතුළු ඊට සහය දුන් පිරිසට හැකියාව ලැබීම සුවිශේෂී සිදුවීමක්.

ජනමත විචාරණයේ වැඩි කැමැත්ත යුරෝපා සංගමයෙන් ඉවත්වීමට

බ්‍රිතාන්‍ය තුල වෙසෙන මිලියන 30කට අධික ජනතාව අතරින් 52% කට අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබු අතර, 48% ප්‍රකාශ කර තිබුනේ, බ්‍රිතාන්‍ය තවදුරටත්, යුරෝපා සංගමය තුල රැදී සිටිය යුතු බවයි.

 

UKIP හෙවත් United Kingdom Independence Party නම් පක්ෂයේ නායක Nigel Farage බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව කාලයක සිට විශ්වාශ  කල කෙනෙක් වන අතර, ඔහු මෙය නිර්වචනය කරන්නේ, බ්‍රිතාන්‍යට නිදහස ලැබීමක් ලෙසිනි. මෙම ජනමත විචාරණයේ ප්‍රතිපල ප්‍රකාශයට පත් වූ දිනය බ්‍රිතානයේ රජයේ නිවාඩු දිනයක් වනු ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි.

 

ඇතිව තිබෙන ව්‍යාකුල තත්වය හමුවේ බ්‍රිතාන්‍යට තමන් නායකත්වය ලබාදීම, නුසුදුසු කාරණයක් බවත් ඒ නිසා නව නායකත්වයකට ඉඩ ලබාදෙමින් තමන් තවත් මස කීපයකින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගියදා ප්‍රකාශයට පත් කළේය.  ඩේවිඩ් කැමරන් මහතාගෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය Conservative පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකු වන Boris Johnson මහතා එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වනු ඇති බවට අනාවැකි පලවී තිබේ.

 

මෙලෙස ජනමත විචාරණයකින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව ප්‍රකාශයට පත් වුවත්, බ්‍රිතාන්‍ය සම්පුර්ණයෙන් එම එකමුතුවෙන් ඉවත් වීමට වසර 2ක් වැනි කාලයක් ගතවීමට ඉඩ ඇති බව සදහන්.  මේ පිලිබදව අදහස් දක්වන යුරෝපා කවුන්සිලයේ සභාපති Donald Tusk  බ්‍රිතාන්‍ය සම්පුර්ණයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වන තෙක්, යුරෝපා සංගමයේ සාමාජිකයෙක් ලෙස සලකන බවයි.

ජගත් ආර්ථිකයට ඇති බලපෑම

මෙම ජනමත විචාරණයේ ප්‍රථිපල  ප්‍රකාශයට පත් වීමත් සමගම එය ජගත් වෙළද පොලොට බලපෑම් කරන අයුරු දක්නට ලැබුණු අතර, එහි ප්‍රතිපලයක් ලෙස බ්‍රිතාන්‍ය පවුම සැලකිය ලෙස පහත වැටි ඇති ආකාරය දක්නට ලැබිණි. එය 1985 වසරෙන් පසුව දක්නට ලැබුණු පහලම අගය බව සදහන්. මේ තත්වයත් සමගින් ඇතිවන ව්‍යාකුල තත්වයට මුහුණ දීමට බ්‍රිතානයේ ප්‍රධාන මුල්‍ය ආයතනය වන Bank of England සුදානම් බව එහි ප්‍රධානි Mark Carney ප්‍රකශ කර තිබිණි.

ඕස්ට්‍රේලියාවට ඇති බලපෑම

Brexit හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම අවම බවත්, ඒ සදහා මුහුණ දීමට ඕස්ට්‍රේලියාව  සුදානම් බවත් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා ප්‍රකාශ කර තිබිණි. තවද බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ඕස්ට්‍රේලියාවට වාසි ඇත විය හැකි බවත් ඒ පිලිබදව ධනාත්මක සිතා  කටයුතු කිරීම වැදගත් බවත් බ්‍රිතානයේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Alexander Downer පසුගියදා ප්‍රකාශ  කර තිබිණි.

 

 මේ අතර ඕස්ට්‍රේලියාව පොදුරාජ්‍ය මණ්ඩලීය (Commonwealth ) තත්වයෙන් මිදී ජනරජයක් (republic ) තත්වයට පත් විය යුතු බවට වන මතය, Brexit සමගින් නැවත සමාජ වෙබ් අඩවි ඔස්සේ කතා බහට ලක් වී තිබේ. මෙම මතයට සහය දක්වන පිරිස් "AusExit" නමින් එය හදුන්වා  ඇති අතර , මේ පිලිබදව අදහස් දක්වන අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කර ඇත්තේ, 1999 වසරේ ජනමත විචාරණයකින් ඕස්ට්‍රේලියාව republic තත්වයට පත් වීම මෙරට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා එය වලංගු තර්කයක් නොවන බවයි.

 


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service