(Sophie Lewis and Karen Willis සහ www.abc.net.au වෙබ් අඩවියට සැපයු ලිපියක් ඇසුරෙන්)
සෑම වසරකම අප්‍රේල් මාසයේ ආරම්භයත් සමග ඕස්ට්‍රේලියාව තුල පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ වාරික ඉහල යන අතර, එය මිලියන 11ක් වූ රක්ෂණ ආවරණ හිමි ඕස්ට්‍රේලියානුවන් පිරිසකට බලපාන කාරණයක් බවට පත්ව තිබේ.
දළ වශයෙන් මේ වසරේ අප්‍රේල් පළමුවැනිදා සිට පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ වාරික මිල සියයට 3.95කින් ඉහල යන අතර, එය රක්ෂණ සමාගම අනුව වෙනස් විය හැකියි. පසුගිය වසර වලට සාපේක්ෂව මෙම මිල ඉහල යාම අඩු ප්‍රතිශතයක් වුවත්, වැටුප් වැඩි වන වේගයට සාපේක්ෂව මෙය සැලකිය යුතු ලෙස ඉහල වැඩි වීමක් බව සදහන් කල යුතුයි.
පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණයක් අවශ්‍ය වන්නේ ඇයි ?
ඕස්ට්‍රේලියාව තුල රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගැනීමේදී සහ සාමාන්‍ය වෛද්‍යවරයාවරුන්ගේ සේවාවන් ලබාගැනීමේදී Medicare වැඩසටහන යටතේ සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි කරුවන්ට නොමිලේ අදාල සේවාවන් රැසක් සැපයෙන අතර, රජය පවසන්නේ පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ලබාගැනීම වඩා යෝගය බවයි.
ඔබ පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණයක් හිමි අයෙක් නම්, Medicare levy surcharge නම් විශේෂ බද්ධ ගෙවිය යුතු නැති අතර, ඔබට රක්ෂණ ආවරණය හිමි වීම නිසාවෙන් බදු සහනයක්ද හිමි වනවා.
සමහරෙක් මෙම බදු සහනය නිසා පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ලබාගන්නා අතර, තවත් පිරිසක් සමහරක් ප්‍රතිකාර සදහා රජයේ රෝහල් පද්ධතිය තුල පොරොත්තු ලේඛනයේ සිටීමට දක්වන මැලිකම නිසා රක්ෂණ ආවරණ ලබාගැනීමට යොමු වන බව සදහන්.
තවත් පිරිසක් පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ලබාගන්නේ තත්වයෙන් උසස් සේවාවක් ලබාගැනීමේ අරමුණින්.
කෙසේ වෙතත් දත්ත සලකා බැලීමේදී පෙනී යන්නේ, ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 45.8කට පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ හිමි බවයි. 1999 වර්ෂය සලකා බැලීමේදී එය සැලකිය යුතු වැඩිවීමක් වන අතර, එවකට රක්ෂණ ආවරණ හිමි ප්‍රතිශතය සියයට 31ක් වූ බව සදහන්.
පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ හිමියන්ට අඩු පොරොත්තු කාලයක්
හදිසි අනතුරුවලට අදාල ප්‍රතිකාර බොහෝ විට රජයේ රෝහල් වලින් ලබාදෙන අතර, අනෙකුත් ජිවිත වලට හදිසි තර්ජනයක් නොවන ප්‍රතිකාර (non-urgent" or elective surgery) ලබාගැනීමේදී පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ වල පිහිට පැතීම යෝගය බව රජයේ නිර්දේශය වී තිබේ.
හදිසි නොවන ශල්‍යකර්ම (elective surgery) සිදු කිරීමේදී අදාල රෝගීන්ට මුහුණ දීමට සිදුව පොරොත්තු කාලය එක් එක් කාරණය හෝ රෝගියාගේ තත්වය අනුව වෙනස් වන අතර, දල වශයෙන් ගත් කල රජයේ රෝහල් පද්ධතිය මත යැපෙන රෝගියෙක්ට දින 42ක කාලයකුත් පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ හිමි අයෙකුට දින 20ක කාලයකුත් අදාල ප්‍රතිකාර සදහා බලාසිටීමට සිදු වී ඇති බව සදහන්.
හදිසි නොවන හදවත් සැත්කම් සදහා රජයේ රෝහල් පද්ධතිය තුල දින 18ක සාමාන්‍ය පොරොත්තු කාලයක්ද, පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ හිමි අයෙකු සදහා දින 16ක සාමාන්‍ය පොරොත්තු කාලයක්ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
එක් එක් රෝගී තත්වය, ශල්‍යකර්මයේ ස්වභාවය ආදී කාරණා මත අදාල පොරොත්තු කාලයවෙනස් විය හැකි බව මෙහිදී නැවතත් අවධාරණය කල යුතුයි.
පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ආශ්‍රිත ඇති ගැටලු
පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණයක් හිමි කරගැනීම ඉතා මිල අධික කාරණයක් සේම පාරිභෝගිකයින් ගෙවන මුදලට ඔවුන්ට හිමිවන ආවරණය තුල අවශ්‍ය කරුණු කාරණා තෝරා ගැනීමට ඔවුන්ට නිදහසක් හෝ අවස්ථාවක් ඇතිද යන්න මෙහිදී ගැටළු සහගත තත්වයක් බවට පත්ව තිබේ.
උදාහරණයක් ලෙස පසුගියදා Bupa පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ සමාගම නිකුත් කල නිවේදනයකට අනුව ඔවුන් සමග විශේෂ සබදතාවයක් නොමැති රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා විට තමන් අතින් ගෙවිය යුතු මුදල ඉහල අගයක් ගත හැකි බව සදහන්. තවද සමහරක් ප්‍රතිකාර ක්‍රම අදාල රක්ෂණ ආවරණයට ඇතුලත් නොවිය හැකි බව ඔවුන් මෙහිදී සදහන් කර තිබේ.
රක්ෂණ සමාගමට අදාල වරප්‍රසාද සීමා කිරීමේ අයිතිය හිමි වන බැවින් මෙහිදී පාර්භෝගික නිදහස සීමා වන බව සදහන් කලයුතුයි.
ඔබට ගැලපෙන පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණය ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
විවිධ සමාගම් වලින් වෙළද පොලට ඉදිරිපත් කරන පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ සංසන්ධනය කර බලා මෙම තීරණය ගැනීම වැදගත් වන අතර අදාල රක්ෂණ ආවරණයට ඇතුලත් වරප්‍රසාද සහ සීමාවන් පිලිබදව මෙහිදී සැලකිලිමත් විය යුතුයි.
තවද උදාහරණයක් ලෙස ඔබ දරුවන් බිහිකිරීමට බලාපොරොත්තුවෙන් සිටන පවුලක් නම් අදාල රක්ෂණ ආවරණය ඒ සදහා අදාල රෝහල් පහසුකම් ඇතුලත්ද, පොරොත්තු කාලය පිළිබද ඇති වගන්ති (Waiting Period ) මොනවාද යන්න පිලිබදව සැලකිලි මත් විය යුතුයි. තවද ඔබ වයස් ගත අයෙක් නම් hip replacements and cataract removal වැනි ශල්‍ය කාර්ම අදාල රක්ෂණ ආවරණයට ඇතුලත්දැයි සොයා බැලීම වැදගත්.
පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණය ලබාගැනීමට පෙර www.privatehealth.gov.au/ හා www.choice.com.au/money/insurance/health/compare වැනි වෙබ් අඩවි පරිශීලනය මගින් ඒ පිලිබදව ඔබට යම් අදහසක් ලබා ගත හැකි වනු ඇති.

