Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය, ආහාර ඉක්මනින් නරක් වන කාලය. ඔබ මොනවද කරන්න ඕනෑ: SBS සිංහල විශේෂාංග

ගිම්හාන කාලයේ වැඩි වශයෙන් ආහාර නරක් වීම මෙන්ම ආහාර විෂවීම දක්නට ලැබේ. ඒවා වලක්වා ගනිමින් ආරක්ෂාකාරීව එළිමහනේ BBQ එකක්, පික්නික් එකක් සැලසුම් කර ගන්නා ආකාරයත්, නිවසේ එදිනෙදා ආහාර සුරක්ෂිතතාවය පවත්වාගන්න අවශ්‍ය වැදගත් තොරතුරුත් ඔබට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

man-and-boy-cooking-barbecue-for-family
Barbecue in summer Source: Getty Images/Michael H

ආහාර විද්‍යාව සම්බන්ධව වසර ගණනාවක වෘත්තීය පළපුරුද්දක් ඇති ඕස්ට්‍රේලියාවේ ජේෂ්ඨ විගණන නිලධාරිනියක් වන ආහාර තාක්ෂණවේදීනී කොන්ස්ටන් ජයසිංහ මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාවේ වැදගත් තොරතුරු මේ ලිපියේ අන්තර්ගත වේ.


ගිම්හාන කාලයේදී ආහාර සුරක්ෂිතතාවය ගැන වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ඇයි?

  • ගිම්හාන කාලයේ පවතින උෂ්ණත්වය බැක්ටීරියා වර්ධනයට හිතකර වේ. බැක්ටීරියා මගින් ආහාර නරක් වීමත්,  නරක් වූ ආහාර ආහාරයට ගැනීමෙන් ආහාර විෂ වීමත් සිදුවේ.
  • ගිම්හාන කාලයේදී වැඩි වශයෙන් අපි පාර්ක් එකක් , මුහුදු වෙරළක් වැනි එළිමහන් ස්ථානවල ආහාර ගැනීමට යොමුවන අතර ඒ ස්ථානවල බොහෝවිට, 
  1. ආහාර සුදුසු උෂ්ණත්වයේ තබාගැනීමට ශීතකරණ පහසුකම් නොමැති වේ.
  2. අත් සේදීමේ පහසුකම් නොතිබිය හැක.

වසරේ සියලුම කාලවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගිම්හාන කාලයේද අදාළ වන බව පැවසූ කොන්ස්ටන් මහත්මිය, ගිම්හාන කාලයේදී එළිමහනට BBQ කිරීමට සහ Picnic ලෙස ගෙන යන ආහාර නිවසේදී නිවැරදිව සකස් කළ යුතු ආකාරය ගැනද මෙහිදී පැහැදිලි කරන ලදී.

ආහාර වල බැක්ටීරියා වර්ධනය වැලැක්වීමට ගත යුතු ප්‍රධානම ක්‍රියාමාර්ගය වන්නේ උෂ්ණත්වය පාලනයයි.

ඔබ ඇතැම් වෙලාවට එතරම් සැලකිල්ලක් නොදක්වන, එහෙත් ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙන්න...

1. නිවැරදි ක්‍රමයට බඩු මිලදී ගැනීම

අනිත් සියලු කටයුතු නිමාකර අවසානයට ආහාර වර්ග මිලදී ගැනීම සුදුසු වන අතර වෙළෙඳසලෙන් මිලදී ගන්නා ආහාර වර්ග ට්‍රොලියට දමා ගත යුතු පිළිවෙළ පහත පරිදි වේ.

  • පළමුව වියලි ආහාර වර්ග
  • දෙවනුව එළවළු පලතුරු මස් මාලු වැනි ශීත කළ ආහාර ආහාර
  • අවසාන වශයෙන් අධිශීත කළ ආහාර වර්ග

මිලදී ගත් ආහාර පාන හැකි ඉක්මනින් වාහනයේ අසුරාගෙන නිවස බලා පැමිණීම වඩාත් සුදුසු වේ. ශීත කළ සහ අධි ශීතකල ආහාර, උෂ්ණත්වය වැඩි වාහනයේ boot එකට වඩා (වාහනයේ පසුපස කොටස/ඩිකිය ) වායුසමීකරණය ක්‍රියාත්මක වන වාහනය තුළම රැගෙන යාම සුදුසු වේ.

2.නිවැරදි ක්‍රමයට ශීතකරණය භාවිතා කිරීම.

  • නිවසට පැමිණි වහාම මිලදී ගත් ආහාර වර්ග වලින්, ශීත කළ ආහාර ශීතකරණයේද, අධිශීත කළ ආහාර අධි ශිතකරණයේද ඇසිරිය යුතුය.
  • විශාල ප්‍රමාණ වලින් මිලදී ගත් මස් වර්ග කපා වෙන්කර වරකට අවශ්‍ය ප්‍රමාණ වලින් ziplock කවර වල බහා හෝ වෙනම කොටස් ලෙස අසුරා ශීත කිරීම හෝ අධිශීත කිරීම කළ යුතුය.
  • ශීත කල මස් වර්ග දින දෙකක් ඇතුළත භාවිතයට ගැනීම නිවැරදි ක්‍රමයයි.
  • අධිශීත කල මස් වර්ග භාවිතයට පෙර අයිස් ඉවත් කිරීමේදී,

පිස ගැනීමට අවශ්‍ය දිනට පෙර දින රාත්‍රියේ අධිශීතකරණයෙන් ගෙන ශීතකරණයේ සාමාන්‍ය කොටසට දැමීම සුදුසුම ක්‍රමය වන අතර මෙහිදී උෂ්ණත්ව පාලනයකින් යුතුව අයිස් ඉවත්වීම සිදුවන නිසා බැක්ටීරියා වර්ධනය අඩුවේ. වතුර භාජනයකට දමන්නේ නම් පැයක් ඇතුළත අයිස් ඉවත් කර ගැනීම සුදුසුයි. ගිම්හාන කාලයේ නම් කිසිවිටකත් මේසයක් මත දිගු වෙලාවක් තබා අයිස් ඉවත් වෙන්නට ඉඩ හරිම සිදු නොකළ යුතුයි. 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Refrigerator
Foods in the Refrigerator. Source: Getty Images/Karen Moskowitz

ශීතකරණයේ ආහාර වර්ග ඇසුරුම් කිරීමේ දී,

  1. සකසන ලද සලාද වැනි ආහාර සහ පිසූ ආහාර එහි උඩ කොටස් වලත් මැරිනේට් කළ හෝ අමු මස් යට කොටස්වලත්
  2. අසුරා ගැනීම සුදුසු වේ. මෙයින් අමු මස් හෝ මාලු වලින් එන වතුර වැටීමක් සිදුවීමෙන් පිසගත් ආහාර නරක් වීම වළකී. කිසිවිටෙකත් මේවා මේවා එකට ඇසුරුම් කිරීම නොකළ යුතුය.
  3. ශීතකරණයේ අයිස් හෝ වතුර බිංදු ලෙස එක් වීම, ආහාර වැටී තට්ටු ලෙස ගබඩා වී තිබීම ( Biofilms) මාරාන්තික බැක්ටීරියා වර්ධනයට ඉඩ සලසයි.
  4. ශීතකරණය නිරතුරුවම පිරිසිඳුව වියළිව සහ Sanitize කර තබා ගැනීම ආහාර සුරක්ෂිතතාවය සඳහා ඉතා වැදගත් වේ.

ආහාර සුරක්ෂිතතාවය සඳහා මුළුතැන්ගෙයි හිදී අනුගමනය කළ යුතු සරල ක්‍රියාමාර්ග කිහිපයක්,

  • නිතරම අත් සේදීම
  • අවශ්‍ය විට අත් වැසුම් (kitchen gloves)පාවිච්චි කිරීම
  • මස්, මාළු සහ එළවළු පලතුරු සඳහා වෙන වෙනම Cutting board තබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා අවශ්‍ය නම් වෙන වෙනම වර්ණ වලින් සැදී cutting boards තබා ගත හැක.
  • සෑම ස්ථානයක්ම හා සෑම උපකරණයක්ම පිරිසිදුව වියලිව තබා ගැනීම
  • මුළුතැන් ගෙයෙහි ඇති කසල ඉවත් කිරීමේ බඳුනෙහි එකතුවන කුණු කසල නිතරම ඉවත් කොට බඳුන් වලට අලුත් Bin liners යොදා තැබීම. මුළුතැන් ගෙයෙහි පවතින කසල බඳුන බැක්ටීරියා හොඳින් වර්ධනය වන ස්ථානයකි.

එළිමහනේ Barbecue එකකදී ආහාර සුරක්ෂිතතාවය පවත්වාගන්න අවධානය යොමු කළ යුතු කරුණු

  • නිවසේදී BBQ සඳහා අවශ්‍ය මස් වර්ග සකසා මැරිනේට් කල වහාම ශිතකරණයේ දැමීම, සහ ඒවා එළිමහනට රැගෙන යන විට අයිස් පෙට්ටියක / Esky යක ඇසිරීම.
  • වැඩි වෙලා එළිමහනේ නොතබා හැකි ඉක්මනින් පිස ගැනීම.
  • පිසුණු මස් BBQ උදුනෙන් ඉවත් කර ගත් පසු මීළඟට පිස ගැනීමට ඇති අමු මස් එක් කිරීම.
  • පිසුණු මස් සහ අමු මස් සඳහා, සහ සැකසූ එළවළු සලාද සඳහාත් වෙන වෙනම tongs (අල්ලුවක්) පාවිච්චි කිරීම
  • පිසින අතරතුරම හෝ පිස ගත් වහාම මස් වර්ග ආහාරට ගැනීම.
  • සකසාගෙන ආ සැලඩ් වර්ග ඉක්මනින් ආහාරයට ගැනීම.
  • BBQ එකකදී ඉතිරි වන ආහාර (Leftovers) නැවත ගෙදර ගෙනැවිත් ශීතකරණයක තබා ආහාරයට ගැනීම නුසුදුසුයි.
මේ සම්බන්දව වැඩිදුරටත් SBS සිංහල සේවයට අදහස් දැක්වූ ආහාර තාක්ෂණ වේදිනි කොන්ස්ටන් මහත්මිය පැවසූයේ නරක් වීමට ඉඩ කඩ වැඩි මස් වර්ග වැනි ආහාර සඳහා බැක්ටීරියා ක්‍රියාත්මක වන උෂ්ණත්වය (temperature danger zone) සෙල්සියස් අංශක 5 - 60 වන අතර සෑම විටම ඒ සීමාවෙන් පිට උෂ්ණත්වය පවත්වා ගැනීමට හැකිතාක් උත්සාහ කළ යුතු බවයි.

තවද, පිසින විට සෙල්සියස් අංශක 85 දක්වා පමණ උෂ්ණත්වය වැඩි වුවත් පැයකටත් අඩු කාලයක් තුළ නැවත බැක්ටීරියා ක්‍රියාත්මක වන සෙල්සියස් 60 දක්වා උෂ්ණත්වය ඉක්මනින් අඩු විය හැකි බවත් ඇය පෙන්වා දුන්නා.

Sandwich
Sandwich_ picnic mat. Source: Getty Images/Westend61

ඔබ Picnic mat එකක හිඳගෙන එළිමහනේ ඒකරාශී වීම් වලට සහභාගී වනවා නම්,

  • බිත්තර, මස්, මාළු, එළවළු වැනි දෑ යොදා සකස් කල සැන්විච් වර්ග පැය හතරක් ඇතුළත ආහාරයට ගැනීම සිදුකිරීම යෝග්‍යයි. නැතිනම් ඔබ ආහාරයට ගන්නේ බැක්ටීරියා වර්දනය වුනු ආහාර විය හැකියි.
  • පික්නික් එකක් සඳහා සකසා ගෙනෙන ආහාර බොහෝ විට කලින් දින රාත්‍රියේ හෝ එදින උදෑසන සාදන ආහාර විය හැකියි. එබැවින් දවස අවසානයේදී එම ඉතිරි වන ආහාර නැවත නිවසට රැගෙන යාම නොකළ යුතු අතර, ඉතිරි වෙන දෑ ඉවත ලෑම මඟින් ආහාර විෂ වීම් වලින් වැළකී සිටීමට උපකාරී වේ.

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhala

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


5 min read

Published

Updated

By Athini Amarasiri



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now