ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ නිවාඩුව සඳහා විදෙස් සංචාරයක් සැලසුම් කරනවාද?
ඔබ ඔස්ට්‍රේලියානු ඩොලරයේ ශක්තිය මත පමණක් ඔබේ විදෙස් සංචාරය සැලසුම් කරන්නේ නම්, ඉදිරි සතිවලදී යුරෝපයට වඩා ආසියාව තෝරා ගැනීම වඩාත් යෝග්‍ය විය හැකිය.
ලොව පුරා විදෙස් මුදල්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ ශක්තිය මත පදනම්ව ඔබේ විදෙස් සංචාරය සඳහා පහත රටවල් යෝජනා කළ හැකිය.
ඔස්ට්‍රේලියානු ඩොලරයේ ශක්තිය මත පදනම්ව සංචාරය සඳහා වාසි රටවල්
ජපානය
නිවාඩුවක් ගත කිරීම සඳහා ජපානයට යාමට මෙය හොඳ කාලයක් බව IG Markets විශ්ලේෂක Tony Sycamore, SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
ඔස්ට්‍රේලියානු ඩොලරය 2022 ඔක්තෝබර් මාසයේ සිට ජපන් යෙන් එකට සාපේක්ෂව සියයට 7.1 කින් ඉහළ ගොස් ඇත.
එක් ඔස්ට්‍රේලියානු ඩොලරයකින් ඔබට ජපන් යෙන් 97 ක් පමණ මිලදී ගැනීමට මේ කාලයේ හැකියාව පවතී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
දිගු කාලීනව බලන කල 2014 සිට ඔස්ට්‍රේලියානු ඩොලරය, ජපාන යෙන් එකට සාපේක්ෂව ප්‍රබලම මට්ටම්වල පවතින බව Tony Sycamore පැවසීය.
ජපානයේ මහ බැංකුව තවමත් පොලී අනුපාත ඉතා අඩු මට්ටමක තබා ගැනීම නිසා ජපන් යෙන් එක බෙහෙවින් දුර්වල වී ඇති බව AMP හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥවරියක් වන Diana Mousina පැවසුවාය.
කොවිඩ් වසංගතය අතරතුර රට වසා දැමීම්වලින් පසුව ජපානය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සංචාරකයින් සඳහා නිල වශයෙන් විවෘත කරන ලද අතර මෙය ඔස්ට්‍රේලියානුවන් සඳහා ජනප්‍රිය සංචාරක සහ හිම මත ලිස්සා යාමේ ගමනාන්තයකි.

චීනය
ඔස්ට්‍රේලියානු ඩොලරය ඉතා ශක්තිමත් වෙමින් පවතින තවත් එක් රටක් ලෙස චීනය හැඳින්වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට සාපේක්ෂව දුර්වල චීන yuan (CNY) එකක් මත ඔස්ට්‍රේලියානු ඩොලරය 10% කින් පමණ ඉහළ ගොස් ඇත.
"පසුගිය සති හය තුළ චීන yuan සමග ඔස්ට්‍රේලියානු ඩොලරය සසඳන විට ඩොලරය සම්පූර්ණයෙන්ම ඉහළ ගොස් ඇත," IG Markets විශ්ලේෂක Tony Sycamore පැවසීය.
අපේක්ෂා කරන ආර්ථික උත්තේජක ක්‍රියාමාර්ගවල ආරම්භය ලෙස චීනයේ මහ බැංකුව පසුගිය සතියේ සිය ණය පොලී අනුපාතිකය අඩු කළ බවත්, එය ඔස්ට්‍රේලියානු ඩොලරයට ශක්තිමත් සහයෝගයක් ලබා දීමට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.
ඉන්දුනීසියාව
දැනටමත් බාලි හෝ වෙනත් ඉන්දුනීසියානු දූපත් වෙත සංචාරයක් සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවාසීන්ට මේ කාලය ඉතාම සුබදායී කාලයකි.
ඔස්ට්‍රේලියානු ඩොලරය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඉන්දුනීසියානු රුපියලට සාපේක්ෂව 7.82% කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව මේ වන විට එක් ඔස්ට්‍රේලියානු ඩොලරයකින් ඔබට ඉන්දුනීසියානු රුපියල් 10,290 ක් මිලදී ගැනීමට හැකිවේ.
විදේශිකයන් සම්බන්ධයෙන් අනුමත කළ නොහැකි සහ නොමනා සිදුවීම් මාලාවකින් පසුව බාලි වෙත ගමන් කරන ඔස්ට්‍රේලියානුවන්ට බාලි වෙත පැමිණීමෙන් පසු 'හැසිරෙන්නේ කෙසේද' යන විස්තර අඩංගු කාඩ්පත් දැන් නිකුත් කරනු ලැබේ.

ඉන්දියාව
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඉන්දීය රුපියලට එරෙහිව ඔස්ට්‍රේලියානු ඩොලරය 10.1% කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව එක් ඔස්ට්‍රේලියානු ඩොලරයකකින් ඔබට ඉන්දීය රුපියල් 56ක් ලැබේ.
එය මේ වසරේ පෙබරවාරි මාසයේ ඉහළ මට්ටමේ සිට තරමක් පහතට වැටී ඇත, නමුත් පසුගිය වසර තුන තුළ ඉන්දීය රුපියලට එරෙහිව ඔස්ට්‍රේලියානු ඩොලරය ශක්තිමත්ම මට්ටමක පැවතියේය.
නෝර්වේ සහ ස්වීඩනය
ඔස්ට්‍රේලියානු ඩොලරය යුරෝවට සාපේක්ෂව දුර්වල මට්ටමක පවතින අතර තමන්ගේම මුදල් සහිත යුරෝපීය රටවල්වල එම කතාව වෙනස් වේ.
ඔස්ට්‍රේලියානු ඩොලරය නෝර්වේ සහ ස්වීඩනයේ ඉතා ශක්තිමත් වී ඇති අතර නෝර්වීජියානු ක්‍රෝන් සහ ස්වීඩන් ක්‍රෝනා වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය මෙම වසර මුලදී පසුගිය වසර 10 තුළ එහි ඉහළම අගයට ළඟා විය.
මේ අවස්ථාව වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයට ඔබට නෝර්වීජියානු ක්‍රෝන් 7.2ක් සහ ස්වීඩන් ක්‍රෝනා 7.3ක් මිලදී ගැනීමට හැකිය.

සංකීර්ණ වන රටවල්
ඇමෙරිකාව
ඇතැම් කෙටි කාලීන මිනුම් මත, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඔස්ට්‍රේලියානු ඩොලරය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 11.1% කින් ඉහළ ගොස් ඇත.
මෙය මත පදනම්ව, තවත් ඔස්ට්‍රේලියානුවන් ඇමෙරිකාවට හෝ ඇමෙරිකානු ඩොලරය භාවිතා කරන Costa Rica, Puerto Rico, Ecuador හෝ වෙනත් ලතින් ඇමරිකානු රටවල සංචාරයක් පිළිබඳ සලකා බැලිය හැකි බව IG Markets විශ්ලේෂක Tony Sycamore, SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
නමුත් 2021 හි දක්නට ලැබුණු ඉහළ මට්ටමේ සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය දැන් ක්‍රමිකව පහත වැටී තිබේ.
මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් ශත 68කි.
Commonwealth බැංකුවේ අනාවැකිවලට නුව සැප්තැම්බර් කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ඩොලරය ඇමෙරිකානු ඩොලර් ශත 62 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ශත 60 මට්ටම 2024 මාර්තු දක්වා පවතිනු ඇත.

නවසීලන්තය
ඔස්ට්‍රේලියානු සංචාරකයින්ගේ වඩාත් ජනප්‍රිය ගමනාන්තය වන්නේ අසල්වැසි නවසීලන්තයයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය නවසීලන්ත ඩොලරයට එරෙහිව තරමක් පහත වැටී ඇති නමුත් නවසීලන්තයේ අයහපත් ආර්ථික අනාවැකි මධ්‍යයේ පසුගිය සති තුන තුළ තියුනු ලෙස ඉහළ ගොස් ඇත.
මේ මොහොතේ ඔස්ට්‍රේලියානු ඩොලර් එකක වටිනාකම නවසීලන්ත ඩොලර් 1.10 කි.
නවසීලන්තය ආර්ථික අවපාතයකට අවතීර්ණ වී ඇති අතර, එනිසා තවදුරටත් එහි මුදල් ඒකකය පසු බෑමකට ලක්වීමට ඉඩ ඇත.

මුදල් අතින් බලන කල ඔස්ට්‍රේලියානුවසීන්ට මේ කාලයේ සංචාරයට නුසුදුසු රටවල්
යුරෝපය
යුරෝපා කලාපයේ රටවල් 20 ක මුදල් ඒකකය වන යුරෝවට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය 1.75% කින් පහත වැටී ඇත.
ඔස්ට්‍රේලියානු ඩොලර් එකක වටිනාකම යුරෝ ශත 62 කි.

එක්සත් රාජධානිය
ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ගේ තවත් පොදු ගමනාන්තයක් වන්නේ එක්සත් රාජධානියයි, නමුත් ඔස්ට්‍රේලියානු ඩොලරය බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව හොඳින් ක්‍රියා නොකරයි, එය මේ වන විට 2.64% කින් පහත වැටී ඇත.
එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් දැන් පැන්ස 54 ක් වන අතර එය වසර පුරා පහළට බසින බව පෙනී යයි.

