Key Points
- Body image activist හෙවත්, පුද්ගලයින්ට ඔවුන්ගේ ස්වභාවික ශරීරය සම්බන්ධයෙන් ලැජ්ජාවක් ඇති කරන ආකාරයේ ප්‍රතිචාර සඳහා විරෝධය දක්වන ජාත්‍යන්තර ව්‍යාපාරයක ක්‍රියාකාරිනියක ලේඛිකාවක සහ අධ්‍යක්ෂකවරියක වන Taryn Brumfitt මෙවර 2023 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස නම් කිරීම
- Tom Calma, Awer Mabil සහ Amar Sing අනෙකුත් කාණ්ඩවල ජයග්‍රාහකයින් ලෙස නම් කිරීම
- බදාදා රාත්‍රියේ කැන්බරා හි පැවති උත්සවයේදී සම්මාන ප්‍රකාශයට පත් කිරීම
Taryn Brumfitt, පුද්ගලයින් තම ශරීරය දකින ආකාරය සහ ඒ පිළිබඳව සෙසු පිරිස කතා කරන ආකාරය වෙනස් කිරීම සඳහා වූ මෙහෙයුමක පසුගිය දශකය ගත කොට තිබේ.
ඇය මේ වනවිට 2023 වසරේ ඔස්ට්‍රේලියානුවා වශයෙන් නම් දරයි.
ඊයේ (25/01) රාත්‍රියේ කැන්බරා හි පැවති උත්සවයකදී මෙම වසරේ සම්මානලාභීන් ප්‍රකාශයට පත් කිරීම සිදු විය.
මෙහිදී මහාචාර්ය Tom Calma වසරේ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානුවා ලෙසත්, Awer Mabil වසරේ තරුණ ඕස්ට්‍රේලියානුවා ලෙසත්, Amar Singh ඕස්ට්‍රේලියානු දේශීය වීරයා ලෙසත් සම්මාන ලැබීය.

Taryn Brumfitt යනු කවුද?
2013 දී සමාජ මාධ්‍ය තුල "පෙර සහ පසු" වශයෙන් තමාගේ ඡායාරූපයක් පළ කිරීමෙන් පසු Taryn ට ඒ සඳහා ඉහල පිළිගැනීමක් ලැබිණ.
මෙහි ‘පෙර’ යන රූපය ඇය කායවර්ධන තරගයකට ඉදිරිපත් වෙමින් සීමිත ආහාර රටාවක් සහ දැඩි ව්‍යායාම රටාවක් අනුගමනය කරමින් සිටියදී ලබාගෙන ඇති අතර ‘පසු’ රූපයේ දැක්වූයේ වඩාත් සැහැල්ලු ජීවන රටාවක සිටින ඇයගේ චායාරූපයයි.
ඇයගේ මෙම චායාරූප සමාජ මාධ්‍ය තුල පල කිරීම ගෝලීය ව්‍යාපාරයක් සඳහා මුලික විය.
අනතුරුව Taryn, Body Image Movement යන ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර, 2016 වසරේදී දී Embrace නම් වාර්තා චිත්‍රපටය නිකුත් කිරීම සිදු කලාය. මේ ඔස්සේ ස්වභාවික ශරීර රූපය, සමාජ මාධ්‍ය සහ කාන්තාවන් තමන්වම වටහා ගන්නා ආකාරය සාකච්චා කරයි.
මෙම චිත්‍රපටය මේ වන විට රටවල් 190 ක මිලියන සංඛ්‍යාත ජනතාවක් නරඹා ඇති අතර, 2022 වසරේදී ඇය Embrace Kids යන වාර්තා චිත්‍රපටයද එළිදැක්වීය.
ඊයේ(25/01) රාත්‍රියේ තමාට ලැබි සම්මානය පිළිගන්නා විට, Taryn පැවසුවේ, විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටලු විසඳීම ඉතා වැදගත් කරුණක් වන බවයි.

එමෙන්ම පුද්ගලයින් තම ශරීරයට වෛර කරමින් ලෝකයට ඉපිද නැති නමුත් බොහෝ පිරිසක් ශරීරය ප්‍රශ්නයක් යැයි සිතීම හා ලැජ්ජාවට පත්වීම සිදු කරන බවත් Taryn සඳහන් කළාය.
මේ සඳහා ඕස්ට්‍රේලියානු පාසල් ළමුන්ගෙන් සියයට 70 ක් ශරීර ප්‍රතිරූපය ඔවුන්ගේ අංක එකේ සැලකිල්ල ලෙස සැළකීම හේතු වී තිබේ.
ඇය පවසන්නේ ස්වභාවික ශරීර ප්‍රතිරූපය යහපත්ව තබාගැනීමට සටන් කිරීමට අප ඉපිද නොමැති බවයි.
කෙසේ නමුත් දරුවන්ට දියුණු විය හැකි සහ ඔවුන්ව මානසිකව සවිබල ගැන්වීමේ පරිසරයක් නිර්මාණය කරමින් ඔවුන්ට ආදර්ශමත් ලෙස කටයුතු කිරීම අවශ්‍ය වන බවත් Taryn මෙහිදී පැවසුවාය.

Taryn ශරීරයේ ධනාත්මක බව වර්ධනය කිරීම සඳහා නිර්මාණය කොට ඇති පර්යේෂණ පදනම් වූ Embrace Hub සමඟ දෙමාපියන් සඳහා පොතක් නිර්මාණය කිරීමට විශේෂඥ වෛද්‍ය Zali Yager සමඟ කටයුතු කොට තිබේ.
ඇය මේ වනවිට ශීග්‍ර ලෙස අලෙවි වන ග්‍රන්ථ 4ක්ද ලියා ඇති අතර ඇය ජාත්‍යන්තරව ගෞරවයට පාත්‍ර වූ ප්‍රධාන කථිකාචාර්යවරියක්ද වේ.
ජාතික ඕස්ට්‍රේලියානු දින කවුන්සිලයේ සභාපති Danielle Roche සඳහන් කොට සිටින්නේ Taryn ගේ කාර්යය බොහෝ ඕස්ට්‍රේලියානුවන් සහ ලොව පුරා සිටින පුද්ගලයින් සඳහා පුද්ගලික මට්ටමින් ප්‍රබල වෙනසක් ඇති කොට ඇති බවයි.
ලොව පුරා කාන්තාවන්ට, තම ස්වභාවික ශරීරයේ පෙනුම සම්බන්ධයෙන් පීඩාවක් නොමැතිව කටයුතු කිරීම සඳහා Taryn වැඩකටයුතු රැසක් සිදු කොට තිබේ.
වසරේ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානුවා - මහාචාර්ය Tom Calma
මහාචාර්ය Tom Calma වසරේ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානුවා වශයෙන් මෙවර පිදුම් ලැබීය.
ඔහු මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් විශාල කාලසීමාවක් පෙනී සිට තිබේ.
විදේශීයව රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙන් කටයුතු කල ඔහු හිටපු ස්වදේශික කටයුතු අමාත්‍ය Philip Ruddock ගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කොට තිබේ.
එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ ද්විත්ව අමාත්‍යාංශ දරමින්, Kungarakan සහ Iwaidja මිනිසා ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට සිය ජීවිතය කැප කොට තිබේ.
ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සේවය කරන අතරතුර, මහාචාර්ය Tom Calma 2005 දී සමාජ සාධාරණත්වය පිළිබඳ වාර්තාව නිකුත් කළ අතර එය, ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන් සහ ආදිවාසී නොවන ඕස්ට්‍රේලියානුවන් අතර සෞඛ්‍ය හා ආයු අපේක්ෂා පරතරය පරම්පරාවක් තුළ අවසන් කිරීම අරමුණු කරගත් Close the Gap ව්‍යාපාරයට අඩිතාලම දැමීය.

ඕස්ට්‍රේලියානු පළමු ජාතීන්ගේ ජාතික කොංග්‍රසය පිහිටුවීමට ඔහු මූලික විය.
දශකයකට වැඩි කාලයක් Reconciliation Australia හි සම සභාපතිත්වයද ඔහු දැරූ අතර Indigenous Smoking program යන වැඩසටහනටද නායකත්වය දැරීය.
එමෙන්ම ඔහු Voice to Parliament යෝජනාවේ සම-ප්‍රධානියා ලෙස කටයුතු කොට තිබේ.
මහාචාර්ය Tom Calma මේ වනවිට කැන්බරා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් කටයුතු කරන අතර, ඔහු ක්‍රියාකාරී ස්වේච්ඡා සේවකයකු, උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කරයි.
මහාචාර්ය Tom Calma ඕස්ට්‍රේලියානු විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකු ලෙස ඇතුළත් කර ගත් පළමු ස්වදේශික ඕස්ට්‍රේලියානුවාද වේ.
සම්මානය ලබා ගන්නා විට මහාචාර්ය Tom Calma, "Voice to Parliament" ජනමත විචාරණයේ වැදගත්කම අවධාරණය කළේය.
ඔහු කියා සිටියේ ජනමත විචාරණය යනු මිනිසුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අතර තේරීමක් නොවන අතර එය පීඩාවට පත් ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි වැසියන් සඳහා වූ සහායක් වන බවයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාව ලොව පැරණිතම අඛණ්ඩව පවතින සංස්කෘතීන්ගේ නිවහනක් වන බවත් ඔහු පෙන්වා දීම සිදු කළේය.
වසරේ යොවුන් ඕස්ට්‍රේලියානුවා - Awer Mabil
Socceroo Awer Mabil වසරේ යොවුන් ඕස්ට්‍රේලියානුවා වශයෙන් පිදුම් ලැබීය.
Awer Mabil 1995 දී කෙන්යාවේ Kakuma නම් සරණාගත කඳවුරේ උපත ලබා ඇත්තේ, ඔහුගේ දෙමාපියන් දකුණු සුඩානයේ සිවිල් යුද්ධයෙන් පලා යාමෙන් අනතුරුවයි.
ඔහුගේ ජීවිතයේ පළමු වසර 10 එහි ගත කිරීමෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණ ඉංග්‍රීසි කතා කිරීමට ඉගෙන ගෙන ඇති අතර පාපන්දු ක්‍රීඩාව ඔස්සේ ඔහුට මිතුරන් හමුව තිබේ.
Mabil, Adelaide United සහ ලොව පුරා ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කොට ඇති අතර, 2022 FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාවට උපකාර කිරීමෙන් අනතුරුව ඔහුව ජාතික වශයෙන් සැමරීම සිදු විය.
Mabil, සරණාගතයින් සඳහා වඩා හොඳ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රතිපත්ති සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අරමුණු කරගත් Barefoot to Boots නම් ලාභ නොලබන සංවිධානයේ සම-ආරම්භකවරයා වෙයි.
යුරෝපයේ පාපන්දු සම්බන්ධ කටයුතු හේතුවෙන් ඔහුට මෙම උත්සවයට සහභාගී වීමට නොහැකි වූ නමුත් කලින් පටිගත කරන ලද වීඩියෝ පණිවිඩයක් හරහා ඔහු ප්‍රේක්ෂකයින් ඇමතීම සිදු කළේය.
ඒ ඔස්සේ ඔහු සඳහන් කොට සිටියේ මීළඟ පරම්පරාවට උපකාර කිරීම තම වැදගත්ම කාර්යය වන බවයි.
ඕස්ට්‍රේලියාව තමන්ට සහ තම පවුලේ පිරිසට ඔවුන්ගේ සිහින පසුපස යාමට අවස්ථාව ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.
ඕස්ට්‍රේලියානු දේශීය වීරයා - Amar Singh
ඕස්ට්‍රේලියානු දේශීය වීරයා වශයෙන් Amar Singh පිදුම් ලැබීය.
ඔහු ඕස්ට්‍රේලියාවේ පුණ්‍යායතනයක් වන Turbans 4 Australia හි නිර්මාතෘ වෙයි.
1998 වසරේ දී ඉන්දියාවේ පන්ජාබ් හි සිට ඔහුගේ මව, වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ වැඩිමහල් සහෝදරයා සමඟ ඕස්ට්‍රේලියාවට පැමිණි ඔහු වයස අවුරුදු 15 දී තම ජීවිතය ආරම්භ කොට තිබේ.
එමෙන්ම ඔහු 2000 වසරේදී දී ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ අතර, එතැන් සිට ඔහු ආඩම්බර ඕස්ට්‍රේලියානු සීක් ජාතිකයෙකු වශයෙන් කටයුතු කොට තිබේ. කෙසේ නමුත් ඔහුගේ "සීක් හිස්වැසුම්" සහ "රැවුල" සම්බන්ධයෙන් වාර්ගික අපවාද සහ අපහාස රැසක් අත්වින්ද තිබේ.

මේ හේතුවෙන් ඔහු Turbans 4 Australia පිහිට වූ අතර ඒ ඔස්සේ අවශ්‍යතා ඇති ඕස්ට්‍රේලියානුවන්ට උපකාර කොට තිබේ.
මෙම පුණ්‍යායතනයේ ස්වේච්ඡා සේවකයන් 300කට අධික සංඛ්‍යාවක් සිටින අතර මෙමගින් බටහිර සිඩ්නි හි ආහාර අවශ්‍ය පිරිසට සිල්ලර බඩු අවශ්‍ය පිරිසට සතියකට භාණ්ඩ මලු 450 ඇසුරුම් කර බෙදා හැරීම සිදු කරයි.
එමෙන්ම මෙම පුණ්‍යායතනය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි මගින් සහ ගංවතුර මගින් ආපදාවට පත් වුවන්ට සහනාධාර ලබාදීමද අඛණ්ඩව සිදු කොට තිබේ.
Amar Singh පවසන්නේ තමන් ආගමික ප්‍රජාවක ප්‍රායෝගික සාමාජිකයෙකු ලෙස, ඕස්ට්‍රේලියානුවන් සියලු ආගම් සහ සියලු පසුබිම්වලින් සමානව සලකනු දැකීම සිහිනය වන බවයි.
එමෙන්ම යමකු සික් ජාතිකයින්ගේ සංස්කෘතිකමය භාණ්ඩයක් වශයෙන් සැලකෙන kirpan නමින් හැඳින්වෙන වක්‍ර තනි දාර කිනිස්ස, ජටාව හෝ හිජාබය මත විනිශ්චය කරනු දැකීමත් තමන් අකමැති බව ඔහු මෙහිදී පැවසීය.

