Key Points
- ඔබ දඩයක් නොගෙවීම ඔස්සේ ඔබට අතිරේකව එකතු වන ගාස්තු වල සිට ඔබේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ දේපළ අහිමිවීම දක්වා යා හැකියි
- සාපරාධී වැරදි සඳහා දඩ නිකුත් කරනු ලබන අතර උසාවියේදී දඩයක් සම්බන්ධයෙන් විවාද කිරීමට පෙර නීති උපදෙස් නිර්දේශ කරයි
- දඩ ගෙවීම් සඳහා වන විකල්ප ලබාගැනීමට ඔබේ ප්‍රාන්තයේ අදාළ රාජ්‍ය ආයතනය ඇමතිය හැකියි
ඔස්ට්‍රේලියාවේදී ඔබ ගෙවිය යුතු දඩයක් පැහැර හැරීම ඔස්සේ ඔබට අතිරේකව එකතු කරන ලද ගාස්තු වල සිට ඔබේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ ඔබේ දේපළ අහිමිවීම දක්වා ගැටළු වලට ඔබට මුහුණ දීමට සිදු විය හැක.
අධික වේගයෙන් රිය පැදවීම සහ රථය නැවත්වීම සඳහා වන සංඥා නොතකා රිය පැදවීම හා සම්බන්ධ වැරදි සහ වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියෙන් ගමන් කිරීම වැනි වැරදි ඇතුළු වැරදි රැසක් සඳහා දඩ නිකුත් කිරීම සිදු වේ.
Parking fines හෙවත් නීති විරෝධී ලෙස වාහන නැවැත්වීම සඳහා වන දඩ මුදල් සහ ගාස්තු නොගෙවීම ද නීති උල්ලංඝනය කිරීමක් වශයෙන් සැලකේ.
Wollongong විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය Julia Quilter පවසන්නේ දඩ නිකුත් කළ හැකි විවිධ ආයතන රාශියක් ඔස්ට්‍රේලියාව තුල ඇති අතර Penalty notices හෙවත් "දැනුම්දීම්" හෝ දඩ මුදල් ලබාදීම ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල බොහෝ පිරිසක් නියාමනය කිරීම සිදු වන බවයි.

ජූරි සභාවේ රාජකාරියට නොපැමිණීම, ප්‍රසිද්ධ ස්ථාන වල පරුෂ වචන පැවසීම, මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම, තහනම් ස්ථාන වල කුණු දැමීම හෝ දුම් පානය කිරීම දඩ මුදල් අය කරන වැරදි සඳහා උදාහරණ වේ.
ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ස්ථානය සහ වරදේ ස්වභාවය අනුව, විවිධ රාජ්‍ය ආයතන මගින් ඒ සඳහා වූ දඩ මුදල් බලාත්මක කර කළමනාකරණය කිරීම සිදු කරයි.
කෙසේ නමුත් මෙම දඩ බලාත්මක කිරීමේ ක්‍රියාවලිය එකිනෙකට වෙනස් විය හැක.
ඕස්ට්‍රේලියාවේදී දඩයක් හිමි වුවහොත් තිබෙන විකල්ප මොනවාද?
සාමාන්‍යයෙන්, නීති උල්ලංඝණය කිරීමක් පිළිබඳ ලබාදෙන Infringement notice හෙවත් "කඩකිරීමේ දැන්වීමක්" නිකුත් කිරීමෙන් පසු, එම පුද්ගලයාට දඩය ගෙවීමට, අදාළ නියෝජිතායතනයෙන් සමාලෝචනයක් ඉල්ලා සිටීමට හෝ උසාවිය වෙත එම ගැටලුව ගෙන යාමට හැකියාව තිබේ.

කෙසේ නමුත් මෙවැනි අවස්ථාවකදී දඩ සම්බන්ධයෙන් තර්ක කිරීම ඉතා අපහසු වීම මත සහ යම් හෙයකින් දඩය උසාවියේදී තහවුරු වුවහොත් එය ඔවුන්ගේ අපරාධ වාර්තාවේ කොටසක් වීම හේතුවෙන්, බොහෝ පිරිස උසාවි යාම තෝරා නොගන්නා බවත් මහාචාර්ය Julia පවසයි.
ඇතැම් වෙලාවට දඩයක් යනු "බිලක්" ලෙස පුද්ගලයින් සුලු ලෙස තකන නමුත්, දඩයක් යනු සාපරාධී වරදක් වන බවත් මහාචාර්ය Julia පෙන්වා දෙයි.
Legal Aid NSW හි දඩ සම්බන්ධයෙන් වන විශේෂඥ සොලිසිටර් Kirsty Harrison පවසන්නේ, විශේෂයෙන්ම තාවකාලික වීසා බලපත්‍ර මත සිටින පුද්ගලයින් උසාවි යාමට පෙර නීති උපදෙස් ලබාගැනීම අවශ්‍ය වන බවයි. යම් හෙයකින් තාවකාලික වීසා මත සිටින අයකු වරදකරු වුවහොත්, ඒ ඔස්සේ ඔවුන්ගේ වීසා බලපත්‍ර කොන්දේසි කඩ විය හැකි බවත් Kirsty පවසයි.
දඩ ගෙවිමේදී ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ දඩ මුදල් එකතු කිරීම සඳහා තිබෙන වගකිව යුතු රාජ්‍ය ආයතනයට ඔබේ දඩය වාරික වශයෙන් ගෙවීමටද ඔබට හැකියාව පවතී.
උදාහරණ වශයෙන්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, පුද්ගලයන්ට මේ සම්බන්ධයෙන් Revenue NSW වෙත අයදුම් කළ හැක.
මේ සම්බන්ධයෙන් වන විකල්ප වශයෙන්, වාරික වශයෙන් ගෙවීමට සහ ගෙවීම් සම්පුර්ණයෙන් ඉවත් කිරීම වැනි හැකියාවන් තිබෙන බවත් Kirsty පවසයි.
කෙසේ නමුත් Kirsty අවධාරණය කොට සිටින්නේ දඩ මුදල් ගෙවීම නොසලකා නොහැරිය යුතු අතර, ඔබේ ප්‍රාදේශීය ප්‍රජා නීති මධ්‍යස්ථානය අමතා හෝ ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන්නේ නම් LawAccess අමතා යම් උපකාරයක් ඉල්ලා සිටින ලෙසයි.

දඩ නොගෙවා සිටීමෙන් සිදු විය හැකි දේ
නොගෙවූ දඩ මුදල් කල් ඉකුත් නොවන අතර, ගෙවී යන කාලයත් සමඟ ප්‍රමාද ගාස්තු ඉහල යාම සිදු විය හැක.
වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළු ඕස්ට්‍රේලියාව පුරා අධිකරණ බල ප්‍රදේශයන්හි, දඩ නොගෙවන්නෙකුට ඔවුන්ගේ දේපළ අහිමි වීම හෝ ඔවුන්ගේ බැංකු ගිණුමෙන් මුදල් කපා ගැනීම වැනි දේ සඳහා මුහුණ දීමට සිදු වේ.
එමෙන්ම ඔවුනට අතිරේක ගාස්තු ගෙවීමටද සිදු විය හැක.
Fines Victoria හි වැඩබලන නියෝජ්‍ය ලේකම් Craig Howard පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථා වලදී ඔබ සතු මෝටර් රථය මාර්ගයේ ධාවනය කිරීමට නොහැකි වන පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස් නිලධාරීන් හට හැකියාව පවතින බවයි.
එමෙන්ම දඩ නොගෙවූ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටත් Fines Victoria අධ්‍යක්ෂවරයාට ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලා සිටීමටද හැකියාව පවතී.

කෙසේ නමුත් රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම හෝ අවලංගු කිරීම යමකුගේ දඩය නැවත ගෙවීමට පෙළඹවීම සඳහා භාවිතා කරන මූලික මෙවලම්වලින් එකක් වශයෙන් සැලකේ.
එමෙන්ම මෙය රිය පැදවීම හා පමණක් සම්බන්ධ නොවන අතර, සියලු වර්ගවල දඩ සඳහා මේවා බලපායි. මේ අනුව ඇතැම් අවස්ථාවකදී යමකු සිය ඡන්දය ප්‍රකාශ නොකිරීම මත ලැබූ දඩයක් නොගෙවීම හේතුවෙනුත් එම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම සිදුවිය හැක.
එමෙන්ම මහාචාර්ය Julia පෙන්වා දෙන්නේ යමකුට නොගෙවූ දඩ මුදල් තිබේ නම් එම පුද්ගලයා හට learner's permit හෙවත් "රියදුරු පුහුණුව ලබන බලපත්‍රයක්" ලබාගැනීමට හෝ "රියදුරු පාඨමාලා හැදෑරීමට" පවා අයදුම් කළ නොහැකි වන බවයි.
මේ හේතුවෙන් දඩයක් ගෙවීම පැහැර හැරීම ඔස්සේ එම පුද්ගලයා හට සැබෑ දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවිය හැක.

ඔබ දඩයක් ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන විට කාලය ඉතා වැදගත් වේ.
උදාහරණ වශයෙන් ගත් කල, වික්ටෝරියා ප්‍රාන්තයෙහි රිය පැදවීමේදී සිදු කල වරදක් සඳහා ඔබට දඩ නියම වී ඇත්නම් සහ කෙසේ නමුත් ඔබ එම සිදුවීමේ දිනයේදී රියදුරු ලෙස නොසිටියේ නම්, එදින රිය පැදවූ රියදුරු නම් කිරීමට ඔබට දින 28 ක කාලයක් තිබේ.
Craig පෙන්වා දෙන්නේ ඔබ ලබාදෙන එම නම, අදාළ දඩ බලාත්මක කිරීමේ ආයතනය විසින් පිළිගතහොත්, දඩය අවලංගු කොට ඔබ විසින් නම් කරන ලද පුද්ගලයාගේ නමට නැවත දඩය නිකුත් කරන බවයි.
කෙසේ නමුත් ඔබ දඩය නොගෙවන්නේ නම් හෝ දඩය නියමිත දිනට ගෙවීමට පියවර නොගන්නේ නම්, අතිරේක ගාස්තුවක් සමඟ දඩ මතක් කිරීමේ දැන්වීමක් ඔබට ලැබේ. මෙවැනි අවස්ථාවකදී වෙනත් අයකු නම් කිරීමට ඔබට හැකියාවක් නොපවතී.
ඔබ දඩ මතක් කිරීමේ දැන්වීම නොසලකා හැරීමට කටයුතු කළහොත් එවැනි අවස්ථාවකදී, ඔබේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම සහ වෙනත් ගැටළු සඳහා ඔබට මුහුණ දීමට සිදු විය හැක.
මේ හේතුන් නිසා, Infringement notice හෙවත් "කඩකිරීමේ දැන්වීමක්" ඔබට ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස Craig පවසයි.
මෙහිදී Craig පෙන්වා දෙන්නේ ඔබ සම්පූර්ණ දඩය ගෙවන්නේද, ඒ සම්බන්ධයෙන් දෝෂයක් පවතින බවට අදාළ ආයතනයට සඳහන් කරන්නේද සහ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ඔබට විකල්ප විසඳුම් අවශ්‍ය බවට සඳහන් කරන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්චා කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඔබට දඩයක් නිකුත් කොට තිබේ නම් ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රදේශයට අනුව අදාළ රාජ්‍ය ආයතනය සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
වැඩිදුර සහාය ලබාගැනීම සඳහා පහත සබැඳි වෙත පිවිසෙන්න





