Key Points
- ශීත සමයේදී භාවිත කරන උනුසුම ලබාදීමේ උපකරණ සහ දුම්පානය, ගිනි අවදානම සමඟ සෘජුවම සම්බන්ධ වේ, නමුත් ඕනෑම තාප ප්‍රභවයකින් නිවසක් තුල ගින්නක් ආරම්භ විය හැක
- නිවසේ තබා ඇති දැවෙනසුලු ද්‍රව්‍ය සම්බන්ධයෙන් පූර්වාරක්ෂක පියවර ගැනීම ගින්නක් වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වේ
- නිවසේ ඇතිවිය හැකි ගිනි මගින් ආරක්ෂා වීම, ඒවා වැළැක්වීම සහ ගිනි සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳව දරුවන්ට ඉගැන්වීම වැදගත් වේ
හදිසියේ හෝ නිවසක් තුල ඇතිවිය හැකි ගින්නකට ගොදුරු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බොහෝ පිරිසක් එතරම් නොසිතයි. බොහෝ ගිනි වළක්වා ගත හැකි වුවත්,එය පාලනයෙන් තොර වූ විට, ඒවායේ ප්‍රතිවිපාක ඛේදජනක වේ.
මෙවැනි ගිනි මගින් පවතින අවදානම් සහ මෙවැනි ගිනි වැළැක්වීමේ පියවර දැන ගැනීම ඔස්සේ ජීවිත ආරක්ෂා කිරීමට හැකියාව පවතී.
ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික උපද්‍රව පර්යේෂණ ආයතනය සහ Fire Rescue Victoria මගින් 2019 වසරේදී ඒකාබද්ධව සිදු කල අධ්‍යයනයකට අනුව, ගංවතුර, කුණාටු සහ ලැව්ගිනි ඇතුළු සෙසු ස්වාභාවික උවදුරුවලට වඩා සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ නිවෙස් තුල හටගන්නා ගිනි මගින් පුද්ගලයින් වැඩි පිරිසක් මිය යන බව හෙළිව තිබේ.
2003 සහ 2017 යන වසර අතර, වළක්වා ගත හැකි නිවෙස් තුල හටගත් ගිනිගැනීම් හේතුවෙන් පුද්ගලයින් 900 ක් මිය ගොස් ඇති බව අධ්‍යයනයේ සම කර්තෘ සහ ඕස්ට්‍රේලියානු ස්වභාවික උපද්‍රව පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Andrew Gissing පවසයි.

මෙම පර්යේෂණය ඔස්සේ මෙම අනතුරු සම්බන්ධයෙන් එක් ප්‍රධාන අවදානම් සාධකයක් පමණක් නොපෙන්වයි.
නිවෙස් තුල ඇතිවන වැළැක්විය හැකි හදිසි ගිනි ගැනීම් ගොදුරු වූවන් සම්බන්ධයෙන් බලන කල, එම පුද්ගලයන්ගේ හැසිරීම්, ඔවුන්ගේ නේවාසික පරිසරය වටා පවතින විවිධ සාධක රාශියක් බලපා ඇති බවත් Andrew පවසයි.
කෙසේ නමුත්, වැළැක්විය හැකි මෙවැනි හදිසි ගිනි ගැනීම් සාමාන්‍යයෙන් “සිගරට්, විදුලි දෝෂ, හීටර් සහ පහන් / බාබකියු වැනි අනාරක්ෂිත විවෘත ගිනි” මගින් සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
මූලික ගෘහ ගිනි ආරක්ෂණ පිළිවෙත් සඳහා smoke alarms තිබීම, හදිසි ගින්නක් හටගත හොත් එමගින් ගැලවී යාම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ ආහාර පිසින අවස්ථා වලදී එම ස්ථානයෙන් ඉවත් නොවීම ඇතුළත් වේ.
කෙසේ නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ගිනි හා හදිසි සේවාවේ (QFES) ගිනි ආරක්‍ෂාව පිළිබඳ විධායක කළමනාකරු Mark Halverson අවධාරණය කොට සිටින්නේ, මෙවැනි ගිනි වැලැක්වීම සඳහා අවශ්‍ය වන්නේ, තාප ප්‍රභවයන් හා සම්බන්ධ අවදානම් දැනගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට දැනසිටීම වන බවයි.

ගින්නක් ආරම්භ වීමට නම්, ගිනි ගැනීම සඳහා දැවෙන ද්‍රව්‍යයක් තිබීම සහ එය ආරම්භ වීමට ප්‍රමාණවත් තාප ප්‍රභවයක් තිබිය යුතු වේ.
එම තාප ප්‍රභවය, Heaters වැනි ශීත කාලයේදී උණුසුම සැපයීම සඳහා භාවිත කරන උපකරණ , ඉවුම් පිහුම් සඳහා භාවිත කරන උපකරණ සහ නුසුදුසු හෝ වැරදි ලෙස ආරෝපණය වන බැටරි වැනි ඕනෑම දෙයක් විය හැකි බව Mark පෙන්වා දෙයි.

ගිනි ගැනීම් වැළැක්වීම
තාපන උපකරණ හෝ තාපන ක්‍රම අනාරක්ෂිත ලෙස භාවිතා කිරීම හේතුවෙන් බොහෝ මාරාන්තික වන ගිනි ගැනීම් සීතල මාසවලදී නිවෙස් තුල සිදු වන බව පර්යේෂණ පෙන්නුම් කරයි.
Andrew පෙන්වා දෙන්නේ නිවෙස් තුල ඇතිවන වැළැක්විය හැකි ගිනි මගින් සිදු වන මරණ බොහෝ විට වාර්තා වන්නේ ශීත ඍතුවේ දී වන අතර ඒවා හීටර් හෝ අනාරක්ෂිත විවෘත ගිනි නිසා සිදු වන බවයි.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ගිනි නිවන බලධාරීන් ජනතාවට සඳහන් කොට සිටින්නේ, තමන් භාවිත කරන තාපන උපකරණ, එම නිෂ්පාදකයාගේ නිර්දේශවලට යටත්ව භාවිත කරන ලෙසයි.
උදාහරණයක් වශයෙන්, heat beads නොහොත් තාප පබළු හෝ ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG), ඉන්ධන ප්‍රභවයක් ලෙස භාවිතා කරන එළිමහන් තාපන උපකරණ ගෘහස්ථව භාවිතා කිරීමෙන් වැළකී සිටීම විශේෂිත වේ.
එළිමහනේ භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම උණුසුම් ලබාදීමේ තාපන උපකරණ මාරාන්තික විය හැකි කාබන් මොනොක්සයිඩ් නිපදවීම හේතුවෙනුත් මෙවැනි උපකරණ ගෘහස්ථව භාවිත කිරීම සුදුසු නොවේ.
මෑත වසරවලදී, ලිතියම්-අයන් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන උපාංග, energy-dense වශයෙන් හැඳින්වෙන බලශක්ති ඝන බැටරි භාවිතා කරන ඊ-ස්කූටර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නේවාසික ගිනිගැනීම්වල සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබේ.
ඊ-ස්කූටර් බැටරියක විශාල බලයක් අඩංගු වීම හේතුවෙන්, ගින්නක් ඇති වුවහොත්, එය වේගයෙන් පැතිරීමට ඉහල හැකියාවක් පවතින බව Mark පෙන්වා දෙයි.
එමෙන්ම රාජ්‍ය ගිනි දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙන්නෙත්, පසුගිය මාස 18 තුළ ලිතියම්-අයන් බැටරි මගින් ගිනි ගැනීම් 450 කට වඩා සිදුව ඇති බවයි.
පුද්ගලයින් මෙවැනි බැටරි ආරෝපණය කිරීම සඳහා වැරදි චාජරයක් භාවිත කිරීම මේ සඳහා ප්‍රධානතම කරුණක් වන බව Mark පවසයි.

බොහෝ පුද්ගලයින්ගේ ගෙවතුවල දැවෙනසුලු සහ ගිනිගන්නාසුලු දෑ බහුලව දක්නට ලැබේ. මේ හේතුවෙන් වියළන ලද අතු හෝ දැව, පැරණි ඇඳුම් සහ ගිනි ගැනීමට ලක්වන උපකරණ ප්‍රවේශමෙන් ගබඩා කළ යුතුවේ.
එමෙන්ම රසායනික ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ නිෂ්පාදන සහ නිවෙස්හි මඩුවල බහුලව තබා ඇති තීන්ත,ගබඩා කිරීමේදී සලකා බැලිය යුතු අනෙකුත් භයානක නිෂ්පාදන වශයෙන් සැලකේ.
Mark පෙන්වා දෙන්නේ ඕනෑම ඉන්ධන වර්ගයක් ගබඩා කිරීමේදී එය නිසි බහාලුමක, වෙනත් උපාංගවලින් ඈත් කොට, අධික තාපයෙන් හෝ සෘජු හිරු එළියෙන් ආරක්ෂා වන පරිදි ගබඩා කිරීමට මතක තබා ගත යුතු බවයි.
එමෙන්ම නිවසේ ආරක්ෂාව සඳහා ප්‍රධාන වශයෙන් විවිධ වර්ගයේ ද්‍රව්‍ය සියල්ල වෙන වෙනම සහ සුදුසු බහාලුම්වල තැබීමත් වැදගත් වන බවත් Mark පවසයි.

නිවාස වල ඇතිවන ගිනි මගින් ආරක්ෂා වීම සඳහා දුම් අනතුරු ඇඟවීම් ද ප්‍රධාන වේ. මෙම උපකරණ මගින් ගින්නක ඇතිවීම වැලැක්වීම සිදු නොකරන නමුත්, එමගින් මිනිසුන්ට ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම සහ ගින්නේ මුල් අවධියේදීම නිවාදැමීම සඳහා අවස්ථාව ලබා දෙයි.
කෙසේ නමුත් Mark පෙන්වා දෙන්නේ තමන්ට යම් ගින්නක් නිවාදැමීම සඳහා නිසි සුදානමක් නොමැතිනම් එම ගින්න නිවීමට කටයතු කිරීම භයානක වන බවයි.
ගින්න නිවා දැමීමට අවශ්‍ය උපකරණ නොමැති නම් ඔවුන්ට කළ හැකි වැදගත්ම දෙය වන්නේ තමන් සහ නිවසේ සිටින සෑම අයෙකුම වහාම පිටතට ගෙන ගොස් 000 ඇමතීම වන බවත් Mark කියා සිටී.

ගිනි ගැනීම් වැළැක්වීම සහ ළමුන් දැනුවත් කිරීම්
වයස අවුරුදු 65 ට වැඩි හෝ 5 ට අඩු පුද්ගලයින් ගිනි ගැනීම් වලදී තුවාල වීමේ වැඩි අවදානමක් පවතී.
සිඩ්නි ළමා රෝහල් ජාලයේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ කළමණාකරු Simone Sullivan පවසන්නේ, කුඩා හා පහසුවෙන් නිවා දැමිය හැකි ගින්නකට නිරාවරණය වූ විට පවා දරුවන් පිළිස්සුම් තුවාලවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.
ඔවුන්ගේ සම ඉතා තුනී වීම මීට ප්‍රධානතම හේතුව වන අතර ඔවුන්ගේ සම අඩු උෂ්ණත්වයකදී ඉතා ගැඹුරින් හා ඉක්මනින් දැවීමට ඉඩකඩ පවතින බවත් Simone පවසයි.

නිවස්හි ගිනි ආරක්‍ෂාව පිළිබඳව දරුවන්ට ඉගැන්වීම,ඉතා වැදගත් වන අතර එය 000 ඇමතීමට ඔවුන් දැන සිටීම ඉක්මවා යයි. මේ හේතුවෙන් ඒ සඳහා ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් විය යුතු වේ.
Simone පෙන්වා දෙන්නේ, ගින්නක් ඇති වූ විට එමගින් ගැලවීම සඳහා වන සැලැස්මක් සකස් කොට පවුලේ අය සමඟ එය පුහුණු කිරීම වැදගත් වන බවයි.
එය සරලව සහ විනෝදජනකව මෙන්ම ප්‍රයෝගිකව සිදු කිරීම වැදගත් වන අතර මෙහිදී ආකර්ශනීය වාක්‍ය ඛණ්ඩ හරහා දරුවන්ට කළ යුතු දේ ඉගැන්වීමට සිදු කල හැකි බවත් Simone පවසයි.
මෙහිදී ගින්නක් ඇතිවූ අවස්ථාවකදී පොළොවට ආසන්නව පවතින වාතය සිසිල් සහ පිරිසිදු වන බව ළමුන්ට ඉගැන්වීම වැදගත් වේ.
එමෙන්ම හදිසියේ හෝ ඔවුන්ගේ ඇඳුම් ගිනි ගතහොත් stop, drop, cover and roll වශයෙන් වන පියවර ඉගැන්වීමටද හැකියාව පවතී.

ඇඳුම් ගිනිගතහොත් මුහුණ ආවරණය කරගනිමින් බිම දිගාවීම ඔස්සේ ගිනිදැල් මගින් මුහුණ පිළිස්සීම වලක්වයි.
එමෙන්ම Simone කියා සිටින්නේ ගිනි වැළැක්වීම ගැන ඔබේ දරුවා සමඟ කතා කිරීම වැදගත් වන අතර smoke alarm පද්ධතිය සම්බන්ධයෙන්ද ළමුන් දැනුවත් කොට තිබිය යුතු බවයි.
එහිදී ගින්නක් හටගත් විට ළමුන් කලබල වීම සිදු නොවන බවත් ඔවුන් ඒ සඳහා නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවත් Simone පෙන්වා දෙයි.
දෙමාපියන් සහ රැකබලා ගන්නන් සඳහා නිවෙස් ගිනි ආරක්ෂණ උපදෙස්:
- Fire safety drills for children
- Preventing burns in the kitchen
- First aid for child burns – (නේපාල, සරල චීන, අරාබි, ෆාර්සි, හින්දි, කැරන්, පන්ජාබි, සැමෝවා, වියට්නාම යන භාෂා මගින් පරිවර්තන තිබේ)





