ළමුන් විවේක ගැනීමෙන්, ක්‍රීඩා කිරීමෙන් සහ ඔවුන් කැමති ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ඔවුනට ශාරීරික මෙන්ම මානසික වාසි රැසක් අත් වන බව විවිධ පර්යේෂණ ඔස්සේත් තහවුරු වී තිබේ.
ළමුන් නිසි ලෙස විවේක ගැනීමෙන් සහ ක්‍රීඩාවන්හි නිරත වීමෙන් ඔවුනගේ මානසික සෞඛ්‍යයට සෘජු ලෙසම යහපත් බලපෑම් සිදු කරයි.
University of Queensland මගින් සිදු කරන ලද අධ්‍යනයකින් හෙලිව ඇත්තේ කුඩා කල සිටම නිතිපතා ක්‍රීඩා වලට සහභාගී වන ළමුන්ට වඩා හොඳ සහ දිගුකාලීන මානසික සෞඛ්‍යයක් ඇතිවන බවයි.

මෙම අධ්‍යනය සඳහා වසර 8ක කාලයක් තුල ළමුන් 4,200 කට වැඩි පිරිසකගේ දත්ත විශ්ලේෂණය කොට ඇති අතර මේ සඳහා පාපන්දු, ක්‍රිකට්, නෙට්බෝල් මෙන්ම කරාටේ, ටෙනිස් සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවල ප්‍රතිලාභ පිළිබඳව සොයා බලා තිබේ.
මෙම අධ්‍යනය මගින් යම් කණ්ඩායමක ක්‍රීඩා කරන ළමුන්ට වැඩි ප්‍රතිලාභ අත්වන නමුත්, කුමන ආකාරයේ ක්‍රීඩාවක් කළද මානසික සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව සොයාගෙන තිබේ.
ක්‍රීඩා කිරීම ඔස්සේ ළමුන්ට සහයෝගය දක්වන සම වයසේ මිතුරන් හමුවීම, මිත්‍රත්වයන් ඇතිවීම සහ ඉලක්කයක් කරා කටයුතු කිරීම වැනි වාසි අත් වේ.
එමෙන්ම මෙම පර්යේෂණය සිදු කල විශ්ව විද්‍යාල School of Health and Rehabilitation Sciences හි ප්‍රධානී සහකාර මහාචාර්ය Asad Khan පවසන්නේ, පිරිමි සහ ගැහැණු ළමුන් යන දෙපාර්ශවයටම ක්‍රීඩා කිරීම ඔස්සේ මානසික සෞඛ්‍යයට ධනාත්මක ප්‍රතිඵල අත්වන බවට පෙනී ගිය බවයි.

සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 -11ත් අතර ළමුන්ගෙන් 14%ක් පමණ යම් මානසික ආබාධයකින් පෙලෙන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය පවසයි.
මෙමගින් ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන් බහුලව පීඩාවට පත්ව ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම තම දෙමාපියන් සමඟ නිතිපතා ළමුන් සෙල්ලම් කිරීම ඔස්සේ ළමුන් තුල කාංසාව, මානසික අවපීඩනය, ආක්‍රමණශීලී බව සහ නින්දේ ගැටලු ඇතිවීමට ඇති ඉඩකඩ අඩු කරන බව unicef සංවිධානය පෙන්වා දෙයි.
ළමුන් නිසි ලෙස විවේක ගැනීමෙන් සහ ක්‍රීඩාවන්හි නිරත වීමෙන් මෙන්ම ඔවුන් කැමති දේ සිදු කිරීමෙන් ඔවුනගේ ඉගෙනීමට සහ වර්ධනයට යහපත් බලපෑම් සිදු කරයි.
කුඩා ළමුන්ට එළිමහන් ක්‍රීඩා අවකාශ සැකසීම ඔස්සේ, නිරායාසයෙන්ම ළමුන්ගේ ඉගෙනීමට සහ සංවර්ධනයට ධනාත්මක බලපෑම් එල්ල වන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ක්‍රීඩාව යනු ළමයාගේ ඉගෙනීමට සහ සංවර්ධනයට සහාය වීමට විනෝදජනක සහ ආකර්ශනීය ක්‍රමයක් වන බවයි.
ළමුන් සාමාන්‍යයෙන් ලෝකය සම්බන්ධයෙන් කුතුහලයකින් පසුවන අතර ඔවුන් ක්‍රීඩාව තුළින් සහ ඔවුන් කැමති දේ සිදු කිරීම තුලින් ලෝකය සහ එහි ඔවුන්ගේ ස්ථානය අවබෝධ කර ගැනීම සිදු කරයි.
මේ හේතුවෙන් ක්‍රීඩාව සහ වෙනත් කරුණු ඔස්සේ ලෝකය පිළිබඳ නව සංකල්ප ගවේෂණය කිරීමට, අත්හදා බැලීමට, ප්‍රශ්න කිරීමට සහ සොයා ගැනීමට ළමුන්ට අවස්ථා නිර්මාණය කිරීම, ඔවුන්ගේ ඉගෙනීමට, සංවර්ධනයට සහ යහපැවැත්මට වාසි ගෙන දෙයි.
ළමුන් ක්‍රීඩා කිරීම ඔස්සේ,
- ස්වාධීන වීමට පෙළඹීම
- ඉගෙනීම සඳහා ආශාවක් ඇති වීම
- සාක්ෂරතා කුසලතා වර්ධනය වීම
- භාෂා කුසලතා වර්ධනය වීම
- ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය වීම
- නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය පෝෂණය වීම
වැනි දෑ සිදුවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ළමා සතියට සමගාමීව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට SBS සිංහල සේවයත් සමග එක්වූ ළමා සහ යොවුන් මානසික සෞඛ්‍ය පිලිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත රණසිංහ පෙන්වා දෙන්නේ ළමුන්ට නිසි ලෙස ක්‍රීඩා කිරීමට ,විවේක ගැනීමට සහ ඔවුන් කැමති ක්‍රියාකාරකම් වල නියැලීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණික දෙමාපියන් වගබලාගැනීම වැදගත් වන බව
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්‍රමයේ දුරස් බවක් පවතින බවත් ඒ සඳහා සංක්‍රමණික දෙමාපියන් වශයෙන් හැඩගැසීම ප්‍රධාන වන බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා සහ යොවුන් මානසික සෞඛ්‍ය පිලිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත රණසිංහ තවදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන, ළමුන් දැඩි ලෙස වීඩියෝ ක්‍රීඩා වෙත යොමු වීම අනුමත නොකරන බවයි.

ඒ සම්බන්ධයෙන් ළමුන් සඳහා යම් යම් සිමාවන් සහිතව කටයුතු කිරීමට දෙමාපියන් දැනුවත් වීම වැදගත් වන බවත් ඔහු SBS සිංහල සේවයට පැවසීය.
වීඩියෝ ක්‍රීඩා හා සමානවම ළමුන්ගේ Screen time හෙවත් ජංගම දුරකථන Tablet හෝ පරිඝනක තිර භාවිත කිරීමේ කාලය සම්බන්ධවත් විවිධ ගැටළු මේ වනවිට මතුව තිබේ.
එය ළමුන්ට ශාරීරික මෙන්ම මානසික වර්ධනයටද විවිධ සෘණාත්මක බලපෑම් සිදු කරන බවටද විවිධ පර්යේෂණ පෙන්වා දෙයි.
ඕස්ට්රේලියානු පවුල් අධ්‍යයන ආයතන වෙබ් අඩවියේ Screen time සඳහා ඕස්ට්‍රේලියාවේ පවතින මාර්ගෝපදේශ සඳහන් කොට තිබේ.
ඒ අනුව,
- අවුරුදු 2ට අඩු ළමුන් සඳහා Screen time එකක් නොමැත
- අවුරුදු 2-5 අතර ළමුන් සඳහා Screen time එක දිනකට පැයකට වඩා වැඩි නොවේ
- වයස අවුරුදු 5-17 අතර ළමුන් සහ යෞවනයන් සඳහා දිනකට පැය දෙකකට වඩා වාඩි වී විනෝදාත්මක දේ නැරඹීමට Screen time එකක් පවතී
එමෙන්ම මෙම තිර කාලය හෙවත් Screen time එක ඔස්සේ ළමුන්ට විවිධ ගැටළු මතුවන බවටද හඳුනාගෙන තිබේ.
අවුරුදු 5ට අඩු ළමුන් සඳහා, Screen time එක ඍණාත්මක බලපෑම් ඇති කරන බවට ප්‍රබල සාක්ෂි පවතින අතර මේ ඔස්සේ ඔවුන්ගේ, ශරීර බරට සහ ඔවුනගේ සමාජීය මෙන්ම මානසික යහපැවැත්ම සඳහා බලපෑම් එල්ල කරයි.
Screen time එක හේතුවෙන්, ජිවිතයේ පසුකාලීනව ගැහැණු ළමුන්ට චිත්තවේගීය ගැටළු සහ පිරිමි ළමුන්ට පවුල තුල ගැටළු ඇතිවීමේ අවදානමක් පවතී.
වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන්ට Screen time එක හේතුවෙන්, ශරීර බර, ආහාර පිලිබඳ ගැටළු මෙන්ම කාංසාව, අධි ක්‍රියාකාරීත්වය සහ ආත්ම අභිමානය හා සම්බන්ධ ගැටළුද මතු වන බව සඳහන් වේ.





