Key Points
- අසල්වැසියෙකු ඔබට ගැටළු ඇති කරයි නම්, විධිමත් අධිකරණ ක්‍රියාවලියක් වෙනුවට සෘජුව සිදුවන සන්නිවේදනය සහ සාකච්ඡා එම ගැටලුව විසඳීමට වඩාත් සුදුසු ක්‍රමය වේ.
- ඕස්ට්‍රේලියාවේ පවතින රාජ්‍ය ආයතන සහ සමථ සේවා සපයන්නන්ට ආරවුල් විසඳීම සඳහා තොරතුරු සහ සහාය ලබා දිය හැක.
- ඔබේ පැමිණිල්ලට අදාළ තොරතුරු සහ ඔබට උපකාර ලබා ගත හැකි ස්ථාන ගැන දැන ගැනීමට ඔබේ ප්‍රාදේශීය සභාව සම්බන්ධ කරගන්න.
ඔබ ප්‍රාදේශීය ප්‍රදේශයක ගෙවත්තක් සහිත විශාල නිවසක ජීවත් වුවත්, නගරයක මහල් නිවාසයක හෝ තදාසන්න ප්‍රදේශයක නගර නිවසක ජීවත් වුවත්, අසල්වාසීන් සමඟ මතභේද සහ වාද විවාද ඇති වීමට බොහෝ ඉඩකඩ පවතී.
පුද්ගලයින් යම් කලක් සමීපව ජීවත් වන විට විවිධ හේතු නිසා ආරවුල් ඇති විය හැක. ශබ්දය, වැටවල්, දේපල මායිම්, සුරතල් සතුන්, අධික ලෙස වැඩෙන ගස් සහ වාහන නැවැත්වීම ඇති ඉඩ වැනි ගැටලු මෙම පොදු අසල්වැසි මතභේදවලින් කිහිපයකි.
ඇතැම්විට, අසල්වැසියෙකුගේ ක්‍රියාවක් හෝ අතපසුවීමක් යමකුට කරදරයක් විය හැකිය. නමුත් ඕස්ට්‍රේලියානු පොදු නීතියට අනුව, යමකුගේ හැසිරීම කරදරකාරී වීම පමණක් නීතිමය කටයුතු සඳහා යොමු වීමට ප්‍රමාණවත් නොවේ, එය පුද්ගලයින් දෙදෙනකු අතර සිදුවන 'පුද්ගලික කරදරයක්' ලෙස හඳුන්වයි.
කෙසේ නමුත් ඔබේ දේපල භාවිත කිරීමේදී සහ භුක්ති විඳීමේදී ඒ සඳහා ඔබ පමණ ඉක්මවා කටයුතු කළහොත්, එය "පුද්ගලික කරදරයක්" වශයෙන් දැක්විය හැකි බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ මහාචාර්ය Barbara McDonald පවසයි.

නඩු පැවරීම හෝ මැදිහත් වීම යනු කුමක්ද?
මෙලෙස ඇතිවූ ගැටලුවක් විධිමත් ලෙස විසඳීමට උසාවියකින් ඉල්ලා සිටියහොත්, ඔවුන් කරුණු කිහිපයක් පිළිබඳව සලකා බලයි. මේ සඳහා ඔබ පැමිණිලි කරන දෙය සුළු හෝ අසාධාරණ ද යන්න සහ ඔබේ වටපිටාව ඇතුලත් වේ.
උදාහරණයක් වශයෙන් අසල්වැසියෙකු මැස්සන් ආකර්ෂණය කරන සතුන් ඇති කිරීම සම්බන්ධයෙන් කරන පැමිණිල්ලක් වලංගු පැමිණිල්ලක් විය හැකිද යන්න බවට බැලීම දැක්විය හැක. මෙය ගොවිතැන් සිදු කරන ප්‍රදේශවල ගැටළුවක් නොවනු ඇති අතර සාමාන්‍ය නේවාසික පරිසරයක එය ගැටළුවක් විය හැක.
ඇතැම් ප්‍රදේශ වල පවතින සුවපහසුව පිළිබඳ ප්‍රමිතිය මත මේ සියල්ල රඳා පවතින බව මහාචාර්ය Barbara පෙන්වා දෙයි.

අසල්වැසියන් අතර සිදුවන ආරවුලක් අධිකරණය මගින් විසඳා ගැනීම අවසාන විසඳුම විය යුතුය
ගැටළුවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර, අසල්වැසියා සමග සාකච්චා කිරීම වැදගත් වේ. නමුත් මේ ඔස්සේ එම ගැටලුව විසඳීම සිදු නොවන්නේ නම්, ඔබ මැදිහත් වීමක් සම්බන්ධයෙන් සලකා බැලිය යුතුය. මේ සඳහා ප්‍රජා යුක්ති මධ්‍යස්ථාන වැනි රාජ්‍ය ආයතනවලින් ද සහාය ලබා ගත හැක.
මහාචාර්ය Barbara පෙන්වා දෙන්නේ නඩු පැවරීම මිල අධික වන අතර එය දිගු කාලයක් ගත වීම හේතුවෙන් එය පුද්ගලයින් අතර ආරවුල් වැඩි කළ හැකි බවයි.
මේ හේතුවෙන් ඔබ ඔබේ අසල්වැසියාට කාරුණිකව ලිපියකින් තම අපහසුතාවය සම්බන්ධයෙන් දැනුම් දීම වැදගත් වන අතර, එමගින් ඔබට ලිඛිත සාක්ෂිද හිමි වේ.
මේ ඔස්සේ ඔබේ අසල්වැසියාට එම ගැටලුව සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට අවස්ථාව හිමිවන බවත් මහාචාර්ය Barbara පවසයි.

Melissa Haley කැන්බරා හි ලාභ නොලබන මැදිහත්වීම් සේවා සපයන්නෙකු වන Conflict Resolution Service හි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් කටයුතු කරයි.
ඇය පවසන්නේ යම් ආරවුලක් මුලින්ම ඇති වීමට හේතු, එය දෙපාර්ශවයටම බලපාන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම එය විසඳිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන්ට තේරුම් කිරීමට මැදිහත්වීම් සේවා වලට කල හැකි බවයි.
මෙය යම් පුද්ගලයකුට, එම පුද්ගලයාට විරුද්ධව සිදුවන දෙයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තේරුම් ගත නොහැකි වන අතර, මැදිහත්වීම් සේවා මගින් එවැනි අවස්ථාවල තීරණ ගැනීම ඵලදායී වේ.
Melissa පවසන්නේ යහපත් චේතනාව සහ ආරවුල විසඳීම සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙහිදී ප්‍රධාන වන බවයි.
එමෙන්ම Mellissa පෙන්වා දෙන්නේ මෙම මැදිහත්වීම් හරහා දෙපාර්ශවයක් අතර සකච්චාවක් සිදු කිරීම ආරම්භ කල හැකි බවයි.
සාකච්චා වලදී දෙපාර්ශවය සිදු කරන සියලුම දේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් අතර, එහිදී අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙපාර්ශවයටම පැහැදිලි වන බවත් Mellissa පවසයි.

එක් ආරවුලකට බොහෝ පිරිසක් සම්බන්ධ වුවහොත් කුමක් සිදුවේද?
විවිධ අවශ්‍යතා සහ අදහස් ඇති පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ වූ විට අසල්වැසියන අතර සිදු වන ආරවුල් වඩාත් සංකීර්ණ විය හැක. මෙය සාමාන්‍යයෙන් නිවාස ඒකක හෝ මහල් නිවාස වලදී දක්නට ලැබේ.
සිඩ්නිහි පදිංචිව සිටියදී අසල්වැසියෙකුගේ බැල්කනියේ සිදුවූ කාන්දුවක් හේතුවෙන් තම මහල් නිවසට බලපෑම් සිදු වූ බව Chaminda Kiriwattuduwa පවසයි.
මෙහිදී සෙසු කුලී නිවැසියන් හට කිසිදු දැනුම්දීමකින් තොරව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ඔහු නිවසට පැමිණෙන විට සිවිලිමෙන් රතු පැහැ යමක් කාන්දු වන බව දැක තිබේ.
අනතුරුව තමන් මේ සම්බන්ධයෙන් NSW Fair Trading වෙතින් උපදෙස් ලබාගත් බවත් කාන්දු පරීක්‍ෂණය සිදු කළ අසල්වැසියා strata කමිටුවේ සාමාජිකයකු වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම තරමක් අපහසු වූ බවත් Chaminda කියා සිටී.
කෙසේ නමුත් අවසානයේ එම ක්‍රියාව කිසිදු දැනුම්දීමකින් තොරව සිදු කල පිරිස සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබේ.
අවසානයේ ඔහුට සිදු වූ හානියට වන්දි ලැබුනත් එය ඔහුට ප්‍රමාද වී ලැබුණු බව ඔහු පවසයි.

Melissa Haley පෙන්වා දෙන්නේ strata community වැනි ආයතන මගින් ආරවුල් විසඳීම සිදු කරන විට, එවැනිම අනාගත සිදුවීම් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලමින් නිසි තීරණයක් ගත යුතු බවයි.

කෙසේ නමුත් මෙවැනි අරවුලකදී ඔබ පළමුවෙන්ම ඔබේ ප්‍රාදේශීය සභාව සම්බන්ධ කරගැනීම වැදගත් වේ.
ඕස්ට්‍රේලියාව පුරා පුද්ගලික සහ රජයේ ආධාර මත පවතින සමථ සේවා තිබේ. නමුත් ඔබ අයත් වන කවුන්සිලය තුලත් අවශ්‍ය තොරතුරු පවතින අතර ඔබට නීති ආධාරද ලබාගැනීමට හැකියාව පවතී.
Melissa පවසන්නේ අසල්වැසි ආරවුල් වළක්වා ගැනීමට ඕනෑම අයකුට සරල පියවර ගත හැකි අතර, ඔබ යම් ස්ථානයක අලුතින් පදිංචියට ගිය විට ඔබව අසල්වැසියන්ට හඳුන්වා දීම ප්‍රධාන කරුණක් වන බවයි.
මේ ඔස්සේ ඔබ ඔවුන් සමග හොඳම මිතුරන් විය යුතු බවට අදහස් නොකරන අතර කෙසේ නමුත් එය දිගුකාලීනව යහපත් බලපෑමක් සිදු කරන බවත් Melissa කියා සිටී.

ඔබ අසල්වැසියන් සමග යම් ආරවුලකට මුහුණ පා සිටීද? එවැනි අවස්ථාවක ඔබ ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ පවතින විකල්ප දැන සිටීම වැදගත් වේ.
ඒ සඳහා පහත සබැඳි වෙත පිවිසෙන්න.





