ඕස්ට්‍රේලියාව තුල පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ නිවාස කුලී අර්බුද ඇතුළුව 2023 දී ඕස්ට්‍රේලියානුවන් ජීවන වියදම් අභියෝග රැසකට මුහුණ දීම සිදු විය.ඕස්ට්‍රේලියාව තුල ආහාර මිල ගණන් නොකඩවා ඉහළ යාමද සිදු වූ අතර නිවාස මිළගණන් වාර්තාගත ලෙස ඉහළ යාම සහ බිල්පත් මිලගණන් ඉහල යාමද සිදු විය. කෙසේ නමුත් නව වසර උදාවත් සමග 2024 වසරේදී සිදු විය හැකි දේ සම්බන්ධයෙන් විශේෂඥයින් විවිධ අනාවැකි පලකොට තිබේ. ඒ පිළිබඳව වන තොරතුරු මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.
2024 දී ජීවන වියදම් පීඩනය අඩු වේවිද?
ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ දේපල පිළිබඳ කථිකාචාර්ය Peter Koulizos 2024 හි ජීවන වියදම පිළිබඳව පුළුල් ලෙස ශුභවාදී මතයක් දරයි. මෙම වසරේදී උද්ධමනය සහ පොලී අනුපාත අඩු වීම මගින් ඔස්ට්‍රේලියානුවන් යම් සහනයක් අත්විඳිනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
Bankwest Curtin Economics School හි අධ්‍යක්ෂ සහ Curtin විශ්ව විද්‍යාලයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය Alan Duncan ද කියා සිටින්නේ මෙම වසරේදී ජීවන වියදම් පීඩනයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බවයි.
කෙසේ නමුත් ඔහු පෙන්වා දෙන්නේ 2024 දී උද්ධමනය, මධ්‍යම බැංකුවේ අපේක්ෂිත ඉලක්කය වන 2% ත් 3%ත් අතර අගයකට නොපැමිණෙනු ඇති බවයි.
ගෝලීය ආර්ථිකයේ බොහෝ අවිනිශ්චිතතා පවතින අතර, ඕස්ට්‍රේලියානු ආර්ථිකයේත් නිවාස මිල සහ කුලී මිල ඇතුළුව ඒ හා සමානව අභියෝග රැසක් පවතින බව ඔහු කියා සිටී.
නිවාස සහ බලශක්තිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් යලිත් ඉක්මනින් “සාමාන්‍ය” ජීවන වියදමකට යාමක් සිදු විය නොහැකි බවත් මහාචාර්ය Alan පවසයි.
2024 දී උද්ධමනය වැඩි වේවිද අඩු වේවිද?
2023 වසර පුරා, උද්ධමනය හේතුවෙන් ආහාර පාන, ප්‍රවාහනය, නිවාස, විනෝදාස්වාදය සහ තවත් දේ සඳහා වන මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යාම සිදු වූ අතර ජීවන වියදම් පීඩනයට එය ප්‍රධාන දායකත්වයක් සැපයීම සිදු විය.
එමෙන්ම නවතම කාර්තුමය පාරිභෝගික මිල දර්ශක සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේත් උද්ධමනය ඔක්තෝබර් දක්වා මාස 12 තුළ 4.9% කින් ඉහළ ගොස් ඇති බවයි. නමුත් මෙය සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 5.6% වැඩිවීමට වඩා අඩු අගයක් ගනී.
මේ හේතුවෙන් මෙම සංඛ්‍යා ධනාත්මක බවත්, පෙර මාස 12 හා සසඳන විට 2024 දී උද්ධමනය අඩු වනු ඇතැයි විශ්වාස කරන බවත් කථිකාචාර්ය Peter කියා සිටී.
ඇතැම් භාණ්ඩ හා සේවා මිලෙහි ස්ථාවර තත්වයක් මතුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර රුසියාව-යුක්රේන ගැටුම වැනි විදේශයන්හි වන සිදුවීම්, සෙසු දෑ සඳහා බලපානු ඇතැයිද කථිකාචාර්ය Peter පවසයි.
එම යුධමය වාතාවරණය පසුගිය වසර දෙක තුළ ලෝකයේ බොහෝ රටවල උද්ධමනයට සහ ආර්ථික පීඩනයන්ට දායක වී ඇති අතර එය 2024 දී අඛන්ඩව පැවතිය හැකි බවත් Peter පවසයි.
2024 දී මධ්‍යම බැංකුව පොලී අනුපාත ඉහල දමයිද?
ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මැඩපැවැත්වීම සඳහා මධ්‍යම බැංකුව මගින් 2022 වසරේ සිට 13 වතාවක් පොලී අනුපාත ඉහළ නංවා ඇති අතර, 2023 නොවැම්බර් මාසයේදී එම පොලී අනුපාත 12 වසරක ඉහළම අගය වන සියයට 4.35 වෙත ළඟා විය.
එමෙන්ම දෙසැම්බර් මාසයේ පැවති මධ්‍යම බැංකුවෙ හි අවසාන රැස්වීමේදී, නිවාස හිමියන්ට නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුළ සහනයක් ලබා දෙමින් පොලී අනුපාත ඉහල නොදැමීමටද බලධාරීන් තීරණය කළේය.

Credit: SBS News
නිසි කාල රාමුවක් තුල උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීම අවශ්‍යද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් Michele මෙහිදී පැවසුවාය.
දෙසැම්බර් කාර්තුවේ උද්ධමන සංඛ්‍යා ජනවාරි 31 වන දින නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය Alan කියා සිටින්නේ 2024 දී තවදුරටත් උද්ධමනය ඉහල යමක් සිදු විය හැකි අතර මෙය යථා තත්වයට පත්වීම සඳහා අවම වශයෙන් 2025 වසර මැද වන තෙක් බලා සිටීමට සිදුවනු ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අඛණ්ඩව ඉහළ යයිද?
දේපල තක්සේරුකරුවකු වන PropTrack වලට අනුව මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජාතික නිවාස මධ්‍යස්ථ මිල ඩොලර් 762,000ක් වන අතර 2023 වසරේදී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල නිවාස මිල දැඩි ලෙස ඉහල යාම සිදු විය.
මේ අතර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක පුරප්පාඩු වූ කුලී නිවාස නොමැති වීම හේතුවෙන් කුලී නිවැසියන් දැඩි දුෂ්කරතාවයකට පත්වීමද සිදු විය.
PropTrack මගින් ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද නවතම නිවාස කුලී වාර්තාවට අනුව, සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානුවන්ට ලබා ගත හැකි නව කුලී නිවාස ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව සියයට 5.7 කින් පහත වැටී තිබේ.
————————————————————————————————————————————-
පිවිසෙන්න
————————————————————————————————————————————-
සීමිත කුලී නිවාස සැපයුම සමඟ, මේ වනවිට පවතින ඉහල ඉල්ලුම නිවාස කුලී මිල කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල කළේය.
realestate.com.au වෙබ්අඩවියට අනුව නිවාස සඳහා වන ජාතික මධ්‍ය කුලිය ඩොලර් 550 ක් වන අතර එය මාස 12 තුළ සියයට 14.6 ක ඉහල යාමක් පෙන්නුම් කරයි.
සැපයුම සහ ඉල්ලුම වඩාත් සමතුලිත වන තෙක් කුලී මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහාචාර්ය Alan සඳහන් කොට සිටී.
මෙය ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන සැබෑ අභියෝගවලින් එකක් වන අතර කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය 2024 වසරේදී මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙනු ඇතැයි සිතන බව මහාචාර්ය Alan පවසයි.
Many Australians struggled with the rising cost of living in 2023
දුෂ්කර ආර්ථික කාලවලදී, රටක් ආර්ථික අවපාතයකට ලක්වීමට බොහෝ ඉඩකඩ පවතී.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථිකාචාර්ය Peter කියා සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින අඩු විරැකියා අනුපාතය හේතුවෙන් 2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුල ආර්ථික අවපාතයක් සිදු නොවනු ඇති බවයි.
එමෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල, 2023 ට වඩා 2024 දී ධනාත්මක කරුණු රාශියක් ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් කථිකාචාර්ය Peter පවසයි.
එමෙන්ම පවතින තත්වය හමුවේ ඕස්ට්‍රේලියානුවන් ඉදිරි වසර දෙකක පමණ කාලයක් පුරා මූල්‍ය අරගලයකට මුහුණ දෙනු ඇතැයිද මහාචාර්ය Alan කියා සිටී.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට නොපැමිණියද, ඕස්ට්‍රේලියානුවන් දැඩි පීඩනයක සිටීම සම්බධයෙන් රජයට එල්ල වන පීඩනය ලිහිල් නොකළ යුතු බවත් මහාචාර්ය Alan සඳහන කොට සිටී.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************





