මෙම ගිම්හාන කාලයේදී ඕස්ට්‍රේලියාව තුල අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් ජීවිතාරක්ෂකයින් වෙරළේදී ආරක්ෂාව සලසාගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාවට දැනුම් දෙන අතර දියේ ගිලී සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.
මෙම ගිම්හාන උත්සව සමය පුරා, ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ සහ අනෙකුත් ජල මාර්ගවල ඔබොහෝ ඕස්ට්‍රේලියානුවන් කාලය ගත කරයි.
කෙසේ නමුත් මෙම කාලය අවාසනාවකට, දියේ ගිලී අනතුරු සිදු වීමේ දැඩි අවදානම් සහිත කාල පරිච්ඡේදයක් වන අතර, නත්තල් සහ ජනවාරි මුල කාලය අතරතුර සාමාන්‍යයෙන් ජලයේ ගිලී සිදු වන මියයාම් වලින් 25% ක් පමණ වාර්තා වේ.
Royal Life Saving Society හි ගිම්හාන කාලය තුල දියේ ගිලී සිදු වූ මරණ සම්බන්ධයෙන් වන දත්ත පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් 1 වැනිදා සිට අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ සිටින ඇතැම් ජන ප්‍රජාවන් මෙම දියේ ගිලි මියයාමේ සංක්‍යාවේ වැඩි ප්‍රතිශතයක් උසුලන අතර සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ පිරිස වෙරළට යාමේදී තම ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් පවසයි.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවිතාරක්ෂකයින් වෙරළට යන්නන්ට සඳහන් කොට සිටින්නේ නිවැරදි පූර්වාරක්ෂාවන් සලසගන්නා ලෙසයි.
වසරේ වඩාත්ම භයානක කාලය
Surf Lifesaving NSW හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce, නත්තල් සහ අලුත් අවුරුදු කාලය වෙරළ ආරක්ෂාව සඳහා වසරේ වඩාත්ම භයානක කාලය බවට සඳහන් කොට සිටී.
Steven කියා සිටින්නේ සංඛ්‍යාලේඛන අනුව, නත්තල් උත්සව සමය තුළ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළ තීරයේ ගිලී මියයාමේ අවදානම සාමාන්‍ය කාලයට වඩා දෙගුණයක් වන බවයි.
ඔවුන්ට නුහුරු ස්ථාන වලට දියනෑම යාම මේ සඳහා ප්‍රධානතම හේතුව වන බවත් ඔහු කියා සිටී.
පසුගිය ගිම්හානයේදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 90 දෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබේ. ඉන් 39ක් වයස අවුරුදු 35ත් 64ත් අතර පුද්ගලයින් වේ.
මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් වෙරළ තීරයේ සිදුව ඇති අතර 37%ක් අභ්‍යන්තර ජල මාර්ගවල සිදුව තිබේ.

Royal Life Saving හි ප්‍රධාන විධායක නිලධාරී Justin Scarr කියා සිටින්නේ මත්පැන් බොහෝ විට දියේ ගිලී මිය යාමට හේතුවක් වන අතර, විශේෂයෙන් පිරිමි පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
පසුගිය ගිම්හානයේදී දියේ ගිලී මිය ගිය හතරෙන් එකකට වඩා වැඩි පුද්ගලයින් පිරිසක් මත්පැන් පානය කොට වෙරළට යාම හේතුවෙන් මියගොස් තිබේ.
මේ හේතුවෙන් Justin කියා සිටින්නේ පිහිනීම, බෝට්ටු පැදීම හෝ මසුන් ඇල්ලීම අවසන් වන තුරු මත්පැන් පානය නොකරන ලෙසයි.
සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ ප්‍රජා තුල දියේ ගිලි මියයාමේ වැඩි ප්‍රතිශතයක්
මුහුදු වෙරළේ ආරක්ෂාව සම්බන්ධයෙන්, සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ පිරිස අමතර අභියෝගවලට මුහුණ දිය හැකි බවත්, බොහෝ විට දියේ ගිලී යන සංඛ්‍යාලේඛනවල වැඩිපුර ඔවුන් නියෝජනය වන බවත් Steven පවසයි.
2022 දී, හිටපු ජීවිතාරක්ෂක සහ ජපන් අධ්‍යයන කථිකාචාර්ය Masaki Shibata විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇත්තේ ඕස්ට්‍රේලියානු සහ විදේශයන්හි උපන් වෙරළට යන පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, සාමාන්‍ය වෙරළ ආරක්ෂණ අනතුරු ඇඟවීම් වරදවා වටහාගෙන ඇති බවයි. එසේ නමතිනම් ඒවා කියවා නොමැති බවයි.
Surf Lifesaving NSW මගින් Rock fishing සම්බන්ධයෙන් සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ ප්‍රජා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
එමෙන්ම Justin කියා සිටියේ වෙරල ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ භාෂාවෙන් දැනුම ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.
AUSTSWIM යනු පිහිනුම් සහ ජල ආරක්ෂණය ඉගැන්වීම සඳහා වන ජාතික සංවිධානයක් වන අතර, මෙහි තානාපති වශයෙන් කටයුතු කරන ඔලිම්පික් රන් සහ රිදී පදක්කම්ලාභී Brooke Hanson කියා සිටින්නේ වැඩිහිටියන් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ අය තුල පිහිනුම් සම්බන්ධයෙන් හෝ ඕස්ට්‍රේලියානු වෙරළ තත්ත්‍වයන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.

කෙසේ නමුත් තම දරුවන් පිහිනුම් පාඩම් වලට ඇතුළත් කිරීම දැකීම සතුටක් වන බව ඇය කියා සිටී.
මේ වනවිට පිහිනීම ඉගෙනගැනීම සඳහා තරුණ වැඩිහිටි ප්‍රජවේද ඉහල කැමැත්තක් තිබෙන බවත් ඇය පවසයි.
මෙහිදී ඔවුන් හදිසි අවස්ථාවකදී තම ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය දේ ඉගෙනගැනීම වැදගත් වන බවත් Brooke පෙන්වා දෙයි.
ඔබට වෙරළේදී ආරක්ෂිතව සිටිය හැක්කේ කෙසේද?
ඉදිරි මාස කිහිපය තුළ උණුසුම් ගිම්හාන කාලයක් පැවතීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඕස්ට්‍රේලියාව වටා වෙරළ තීරයන් වෙත ඇදී එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Channel Nine හි Today වැඩසටහන වෙත Justin කියා සිටියේ නිවාඩු කාලය ඕස්ට්‍රේලියානු ජල මාර්ගවල වසරේ කාර්යබහුලම කාලය වන බවයි.
මේ හේතුවෙන් ජලය අවට සිටියදී අවබෝධයෙන් සිටින අතර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම අවබෝධ කර ගන්නා ලෙස ඔහු කියා සිටී
බෝට්ටු පැදීම හෝ ජල යාත්‍රාවල ගමන් කරන විට සෑම විටම ජීවිතාරක්ෂක කබායක් පළඳින ලෙසත්, ජලය අවට සිටියදී මත්පැන් පානය කිරීමෙන් වළකින ලෙසත් Justin සඳහන් කරයි.
යමෙකු වෙරළකට යාමට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම වැදගත් වන බව Surf Lifesaving Australia කියා සිටි.
මේ සඳහා Beachsafe App එක භාවිත කල හැකි අතර වෙරළ මුර සංචාරයේ යෙදී සිටින ස්ථාන වල සහ විවුර්ත ස්ථාන වල දිය නෑම සිදු කරන ලෙස ඔවුන් උපදෙස් ලබා දෙයි.
මෙවැනි ආකාරයට මුර සංචාර සිදු නොකරන සහ හුදකලා ස්ථානයක පිහිනන ඕනෑම අයෙකු ජංගම දුරකථන සම්බන්ධතාවයක් සහ පාවෙන උපාංගයක් ඇති බවට වග බලා ගන්නා ලෙසත් ඔවුන් සඳහන් කොට සිටී
මෙම ගිම්හාන කාලය පුරා ඕස්ට්‍රේලියාවේ ජිවිතරක්ෂකයින් රාජකාරියේ යෙදෙන නමුත් ඔබ ජීවිතාරක්ෂකයන් නොමැති ස්ථානයකට යාමට තීරණය කරන්නේ නම්, නිවසින් පිටවීමට පෙර ඒ සම්බන්ධයෙන් නිසි ලෙස සැලසුම් කලයුතු බව අවසාන වශයෙන් Justin සඳහන් කොට සිටී.






