Key Points
- රාමසාන් යනු ඉස්ලාම් ආගමෙහි ශුද්ධ වූ මාසය වන අතර නිරෝගී වැඩිහිටි මුස්ලිම් පිරිස උදෑසන සිට සවස් කාලය දක්වා නිරාහාරව සිටී
- Eid al-Fitr යනු ශුද්ධ වූ උපවාස මාසය අවසන් කිරීමේ දින තුනක සැමරුමකි
- මුස්ලිම් ඕස්ට්‍රේලියානුවන් Eid සැමරුම සඳහා ඔවුන්ගේ සුවිශේෂී සහ විවිධ වූ සංස්කෘතික ක්‍රම භාවිත කරයි
ලොව පුරා සිටින මුස්ලිම් ජනගහනය වන බිලියන 1.97 ක් වූ පිරිසෙන් ඔස්ට්‍රේලියාව තුල 813,000 කට වැඩි මුස්ලිම් පිරිසක් වාසය කරයි.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාව වැනි බහු සංස්කෘතික රටක් තුල, වෙනත් ඇදහිලි හෝ සංස්කෘතික පසුබිමක් සහිත පුද්ගලයින් හමු නොවූ, මිත්‍ර නොවූ අයකු සොයා ගැනීම එතරම් අපහසු නොවේ.
වෙනත් පුද්ගලයින්ගේ ආගම සහ සංස්කෘතිය අවබෝධ කර ගැනීම සහ අගය කිරීම, ඒකාබද්ධ බහු සංස්කෘතික සමාජයක මූලික අංගයක් වශයෙන් සැලකිය හැක.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සහ ලොව පුරා සිටින මුස්ලිම් ප්‍රජාව රාමසාන් උත්සවය සැමරීම සිදු කරන අතර, මෙහිදී ඔවුන් මසක කාලයක් පුරා යාච්ඤා කිරීම් සහ උපවාස සිදු කරයි.

රාමසාන් යනු කුමක්ද?
රාමසාන් යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන අතර, එම කාලය තුළදී නිරෝගී වැඩිහිටි මුස්ලිම් පිරිස අලුයම සිට සවස් කාලය දක්වා නිරාහාරව සිටීම සිදු කරයි.
මෙල්බර්න් හි Charles Stuart විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයනය සහ ශිෂ්ටාචාරය පිළිබඳ මධ්‍යස්ථානයේ සහකාර ප්‍රධානියා වන සහකාර මහාචාර්ය Zuleyha Keskin පවසන්නේ රාමසාන් මාසය තුළදී මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් විවිධ ඉගෙනුම්, සංවර්ධන සහ විනය ක්‍රියාවලීන් සිදු වන බවයි.
රාමසාන් මාසය මුස්ලිම්වරුන් සඳහා වසරේ ශුද්ධ වූ මාසය ලෙස සලකන අතර, එය ඉතා සුවිශේෂී මාසයක්ද වන බව Zuleyha කියා සිටී.
ඉස්ලාමීය දින දර්ශනය, Hijri දින දර්ශනය ලෙසද හැඳින්වෙන අතර පෘථිවිය වටා චන්ද්‍රයාගේ ගමන් චක්‍රය මත මෙය පදනම් වේ.
එය සූර්ය වර්ෂයට වඩා දින 10 සිට 12 දක්වා කෙටි වීම හේතුවෙන්, සෑම වසරකම ඉස්ලාමීය උත්සව සඳහා වන දිනයන් වෙනස් වීම සිදු වේ.
මේ අනුව මෙම වසරේදී ශුද්ධ වූ රාමසාන් මාසය මාර්තු 22 සිට අප්‍රේල් 20 දක්වා දී තිබේ.

මුස්ලිම් පිරිස නිරාහාරව සිටිය යුත්තේ ඇයි?
අරාබි භාෂාවෙන් Sawm ලෙස හැඳින්වෙන නිරාහාරය යනු ඉස්ලාම් ධර්මයේ ශක්තිමත් කුලුණු පහෙන් එකක් වශයෙන් සැලකේ.
මෙම කුලුණු පහ වශයෙන් සඳහන් වන්නේ විශ්වාසය, යාච්ඤාව, දානය, නිරාහාරව සිටීම සහ හජ් හෝ වන්දනා ගමනයි.
විශේෂයෙන්ම නිරාහාරව සිටින කාලය තුළදී මුස්ලිම් පිරිස දුම්පානය, ලිංගික සම්බන්ධතා පැවැත්වීම, කෝපය ප්‍රකාශ කිරීම හෝ වාද විවාදවලට යාම සහ දුරාචාර ක්‍රියාවලින් වැළකිය යුතු වේ.
එමෙන්ම මෙම කාලය තුලදී මුස්ලිම් පිරිස, යාඥා කිරීමට, අල් කුරානය කියවීමට සහ අවබෝධ කර ගැනීමට, පුණ්‍ය කටයුතු වැනි අමතර පිළිවෙත් සිදු කිරීමට දිරිමත් කරයි. බොහෝ මුස්ලිම් පිරිස ඔවුන්ගේ Iftar ලෙසින් හැඳින්වෙන, හිරු බැස යාමනේ අනතුරුව අහාර ගැනීමෙන් පසු පල්ලියට යාමද සිදු කරයි.
කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ අරාබි සහ ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය Karima Laachir පවසන්නේ රාමසාන් උත්සවය යනු ආහාර පානවලින් වැළකීම පමණක් නොවන බවයි.
එමෙන්ම මෙය යම් පුද්ගලයකුගේ ඇදහිල්ල ඔස්සේ, දෙවියන් වහන්සේ සමඟ නැවත සම්බන්ධ වීමට කැප වූ මාසයක් වන බවත්, එමෙන්ම අහාර පාන ලබාගැනීමට නොහැකිව සිටින දිළිඳු ප්‍රජාව තේරුම් ගැනීමට ඉගෙන ගන්නා මාසයක් වන බවත් Karima පෙන්වා දෙයි.
මීට අමතරව නිරාහාරව සිටීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ද ඇති අතර ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය යහපත් කිරීම සඳහා මෙය ප්‍රධාන වන බවත් Karima කියා සිටී.

Eid යනු කුමක්ද?
මුස්ලිම් පිරිස මාසයක කාලයක් පුරා නිරාහාරව සිටීමෙන් අනතුරුව Eid උත්සවය ආරම්භ වේ.
ඉස්ලාමීය දින දර්ශනයේ ප්‍රධාන Eid හෙවත් රාමසාන් උත්සව කාල දෙකක් පවතී. ඒවා Eid al-Fitr සහ Eid al-Adha වශයෙන් හැඳින්වේ.
මහාචාර්ය Zuleyha පෙන්වා දෙන්නේ, Eid al-Fitr යන උත්සවය රාමසාන් මාසය හෝ උපවාස කාලයේ අවසානය සනිටුහන් කරන දින තුනක සැමරුමක් වන අතර Eid al-Adha යනු රාමසාන් මාසය තුළදී යමෙකු අත්පත් කරගත් දේ සැමරීමට වන අවස්ථාවක් වන බවයි.
Eid උත්සව සමය තුල මුස්ලිම් පිරිස Zakat al-Fitr වශයෙන් හැඳින්වෙන පුණ්‍ය කටයුතු සිදු කරයි.මේ හේතුවෙන් මෙම උත්සවය දුප්පත් මුස්ලිම් පිරිසටද සැමරීමට හැකියාව හිමි වේ.
Eid al-Fitr යනු සමාව ලබාගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් පිරිස දිරිමත් කරන කාලයක් වන අතර, මෙම කාලය තුලදී දරුවන්ට විනෝද වීමට, නව මිතුරන් ඇති කර ගැනීමට සහ සංස්කෘතිය ගැන හුරුපුරුදු වීමට හොඳ අවස්ථාවක් ලබාදෙන බව මහාචාර්ය Karima පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ළමුන් සඳහා අලුත් ඇඳුම් මිලදී ගැනීම, නිවෙස් පිරිසිදු කිරීම, විශේෂ රසකැවිලි සහ කෑම වර්ග පිළියෙළ කිරීම මෙම Eid උත්සවය සඳහා සුදානම් වීමේ ප්‍රධාන අංගයක් වේ.
Eid al-Fitr සඳ දැකීම මත පදනම් වන අතර මේ හේතුවෙන් මෙම වසරේදී මෙය අප්‍රේල් 21 දිනට හෝ 22 දිනට යෙදෙයි. එමෙන්ම බොහෝ ඉස්ලාමීය රටවල Eid al-Fitr යනු රජයේ නිවාඩු දිනයකි.
Eid al-Adha ලෙසින් ද හැඳින්වෙන රාමසාන් මාසය තුළදී යමෙකු අත්පත් කරගත් දේ සැමරීමට වන අවස්ථාව වාර්ෂික හජ් වන්දනාවෙන් පසුව සිදු වන අතර මෙහිදී දෙවියන් වහන්සේගේ අණට කීකරු වෙමින් ඒබ්‍රහම් ඔහුගේ පුත් ඉෂ්මායෙල්ව පූජා කිරීමට කැමැත්ත පල කිරීම සමරයි.

මුස්ලිම් ඕස්ට්‍රේලියානුවන් Eid උත්සවය සමරන්නේ කෙසේද?
Eid al-Fitr සැමරුම ඉස්ලාමීය දින දර්ශනයේ 10 වන මාසයේ පළමු දින උදෑසන විශේෂ යාඥාවන් සමඟ ආරම්භ වේ.
මෙහිදී ප්‍රාදේශීය මුස්ලිම් පල්ලි සහ ප්‍රජා මධ්‍යස්ථානවල යාඥාවන් පවත්වනු ලබන අතර Eid Mubarak වශයෙන් පවසමින් පුද්ගලයින් එකිනෙකාට ආචාර කිරීම සිදු කරයි.
පවුල් සාමාජිකයින්ද මෙම කාලය තුලදී එකිනෙකා හමුවන අතර මෙම උත්සව සමයේදී ප්‍රජා රැස්වීම් බහුලව දක්නට ලැබේ.
එමෙන්ම මෙය බොහෝ දුරට පවුලේ සාමූහික උත්සවයක් වන අතර එහිදී සෑම කෙනෙකුම සෙසු සාමාජිකයින් බැලීමට යාම සිදු කරයි.
ඔවුන් Eid al-Fitr උත්සවය යෙදෙන දින තුනක කාලය සඳහා භෝජන සංග්‍රහ සිදු කිරීම විශේෂ කේක් සහ කෑම වර්ග පිළියෙළ කිරීම සිදු කරයි.
කෙසේ නමුත්,විවිධ රටවලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මුස්ලිම් ඕස්ට්‍රේලියානුවන් ඔවුනට ආවේනික සහ සුවිශේෂී සංස්කෘතික භාවිතයන් සමගින් මෙය විවිධාකාරයෙන් සැමරීම සිදු කරයි.

Ali Awan යනු සෑම වසරකම Eid al-Fitr උත්සව සමයේදී විශේෂයෙන් කාර්යබහුල වන පාකිස්තාන පසුබිමක් සහිත ඕස්ට්‍රේලියානුවෙකි. එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ විශාලතම බහු සංස්කෘතික Eid උත්සවයක්ද සංවිධානය කරයි.
ඔහු පවසන්නේ ඔස්ට්‍රේලියාව තුල විවිධ පසුබිම්වල මුස්ලිම් ප්‍රජාව අතර "විශාල" සංස්කෘතික වෙනස්කම් පවතින බවයි.
ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික Eid උත්සවයේ සභාපතිවරයා වශයෙන් ඔහු සියලුම පිරිස එක් තැනකට ගෙන ඒම සිදු කරයි.
මහාචාර්ය Karima පවන්නේ, බොහෝ ඉස්ලාමීය රටවලට වඩා, ඕස්ට්‍රේලියාවේ Eid උත්සවය සැමරුම් විවිධ හා බලවත් බවට වන ප්‍රකාෂයත් සමග තමන් එකඟ වන බවයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල මෙම බොහෝ සැමරුම් ප්‍රජා මධ්‍යස්ථානවල සහ ප්‍රාදේශීය පල්ලිවල සිදු වන අතර, මේ ඔස්සේ විවිධ පසුබිම් වල මුස්ලිම් ප්‍රජාව එකට එක් කිරීමක් සිදු වන බවත් Karima පෙන්වා දෙයි.






