Key Points
- පුරුෂයින්ගේ චර්යා වෙනස් කිරීමේ වැඩසටහන්, ගෘහස්ථ සබඳතාවලදී ප්‍රචණ්ඩ කටයුතු සිදු කල පුරුෂයින් ධනාත්මකව වෙනස් කිරීමට උපකාර කරයි
- බහු සංස්කෘතික ප්‍රජා ඉලක්ක කරමින් මේ වනවිට සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් වෙනස් වූ පිරිසට ගැලපෙන වැඩසටහන් වර්ධනය වෙමින් පවතී
- ඕස්ට්‍රේලියානු පවුල් තුළ ගෘහ රාජකාරිවල වෙනසක් අවශ්‍ය බවට ඇතැම් විට හඳුනාගැනීම පවුල් සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේ
ඔස්ට්‍රේලියාව තුල යහපත් ජීවිතයක් ආරම්භ කිරීම මෙරටට අලුතින් පැමිණෙන බොහෝ පිරිසකගේ සිහිනයකි.
නමුත් එම සිහිනය සාක්ෂාත් කරගැනීමේදී ඔවුනට, බාධක රැසකට මුහුණ දීමට සහ ඇතැම් විට සබඳතා බිඳවැටීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැක.
Settlement Services International (SSI) මගින් ගෘහස්ථ සබඳතාවකදී ප්‍රචණ්ඩත්වය හෝ අපවාදාත්මක හැසිරීම් භාවිතා කළ වයස අවුරුදු18 ට වැඩි පිරිමි පුද්ගලයින් ඉලක්ක කරමින් Relationships Australia NSW සමඟ එක්ව 'ශක්තිමත් පවුල් ගොඩනැගීම' සම්බන්ධයෙන් වැඩසටහනක් පිරිනමයි.
දශකයකටත් වඩා වැඩි කාලයක් පුරා ඕස්ට්‍රේලියාවේ 'පිරිමි පුද්ගලයින්ගේ හැසිරීම් වෙනස් කිරීම සඳහා වැඩසටහන්' ක්‍රියාත්මක වේ.
එමෙන්ම මෙමගින් කිසිවකුත් මගහැරීම වැලැක්වීමට සංස්කෘතිකමය වශයෙන් විවිධ වූ පිරිසට සුදුසු වන පරිදි සකස් කරන ලද වැඩසටහන් ලබා දීම ආරම්භ කොට තිබේ.

Building Stronger Families නම් වැඩසටහන ඔස්සේ නඩු කටයුතු සහ කණ්ඩායම් වැඩසටහන් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරයි.
මෙම කණ්ඩායම් වැඩසටහන් සති 18 ක් පුරා අරාබි භාෂාවෙන් සිදු කෙරේ. මෙය මින් පෙර දමිළ භාෂාවෙන්ද ක්‍රියාත්මක විය.
Building Stronger Families වැඩසටහනේ හිටපු පහසුකම් සපයන්නා වන, ලෙබනනයේ උපත ලද Ghassan Noujaim පවසන්නේ ඇතැම් සංස්කෘතීන් තුළ පිරිමින් බොහෝ විට පවුලේ ප්‍රධානියා ලෙස සලකන බවයි.
ඇතැම් සස්කෘති තුල නිවසක පිරිමි පුද්ගලයා එම නිවසේ සෙසු පිරිසට ආහාර සපයන්නා බවට විශ්වාස කරන බවත්, ඒ හේතුවෙන් සෙසු පිරිස එම පුද්ගලයාට සවන් දීම සහ ඔහුව අනුගමනය කිරීම සිදු කල යුතු වන බවත් Ghassan පවසයි.
යම් දක්ෂ වෘත්තිකයෙකු විවිධ හේතු මත ඕස්ට්‍රේලියාවේදී රැකියා අහිමි වූ අවස්ථා වලදී ඔවුනට ඇතිවන කාංසා තත්ත්වයට ඔවුන් නිසි පිළියම් යෙදීමක් දැකිය නොහැකි බව Ghassan කියා සිටී.
තමන් යම් හෙයකින් මෙම ගැටළු නිසා හැඬුවහොත් හෝ වෙනකකුගෙන් උපකාරයක් ඉල්ලුවහොත් තමන් පුරුෂයකු නොවන බවට ඔවුන් සිතන බවත් Ghassan Noujaim සඳහන් කරයි.
සංකීර්ණ සංස්කෘතික වටිනාකම්, විශ්වාසයන්, සම්ප්‍රදායන්, අපේක්ෂාවන් සහ පුරුෂභාවය පිළිබඳ පවතින සංජානන හේතුවෙන් පිරිමින් බොහෝ විට මානසිකව කොටු වී සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.
නමුත් ඉටු නොවූ සිහින හේතුවෙන් ඇතිවන හැඟීම් ප්‍රචණ්ඩත්වයෙන් අවසන් වීම සිදු නොවිය යුතු බවත් Ghassan කියා සිටී.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Relationships Australia හි පුහුණුකරු සහ උපදේශන කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය Sumbo Ndi පවසන්නේ, යහපත් ජීවිතයක් ගත කිරීමට ඇති ඇතැම් බාධක හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම ධනාත්මක වෙනස්කම් සිදුකිරීමේ පළමු පියවර වන බවයි.
නමුත් එයට මුහුණ දීම අභියෝගාත්මක වේ.
එමෙන්ම ඇතැම් පිරිස කලින් තමන් සිදු කල රැකියා සමග ගොඩනැගුන අනන්‍යතාවය හදිසියේ අහිමි වීම අත්විඳින බවත් ආචාර්ය Sumbo පවසයි.
ඔස්ට්‍රේලියාව තුල අලුතින් ජීවිතය ඇරඹීමේදී ඇතැම් විට පුරුෂයා පවුල රැක බලා ගන්නා වීමත් කාන්තාව ආහාර සපයන්නා වීමත් සමග ඇතැම් පවුල් තුල ගැටළු ඇති වේ.
නමුත් මේ සම්බන්ධයෙන් ආචාර්ය Sumbo කියා සිටින්නේ, පවුල තුල භූමිකාව වෙනස් වීම ඔස්සේ ඔබට අඩු වටිනාකමක් ඇති වීම හෝ ඔබෙන් අඩු දායකත්වයක් පවුලට ලබා දීම සිදු නොවන අතර එම වෙනස අවශ්‍ය වන බව පිළිගැනීම ඔවුන් සිදු කල යුතු බවයි.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Relationships Australia මගින්, පවුල් සහ ගෘහස්ථ හිංසනය පිළිබඳව ඇඩිලේඩ් හි අප්‍රිකානු පුරුෂයින් , කාන්තාවන් සහ තරුණයින් දැනුවත් කිරීම සඳහා The Good Life Project නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.
ආචාර්ය Sumbo පවසන්නේ පවුල් ප්‍රචණ්ඩත්වය බොහෝ විට බොහෝ පිරිසකට තහනම් මාතෘකාවක් ලෙස දැකිය හැකි නමුත්, පුද්ගලයින් එය සුදුසු පරිසරයක් තුළ විවෘතව සාකච්ඡා කිරීම ඔස්සේ ප්‍රබල වෙනස්කම් සිදුකල හැකි බවයි.
යහපත් ජීවිතයක් සහ ශක්තිමත් පවුලක් ගොඩනැගීමේදී, ප්‍රජා සාමාජිකයින් ඕස්ට්‍රේලියානු ජීවිතයට හැඩගැසෙන විට එකිනෙකාගේ ඉදිරිදර්ශන සහ අත්දැකීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ආචාර්ය Sumbo දිරිමත් කරයි.
ඇතැම් විට, පවුල තුල ස්ත්‍රී පුරුෂ වැඩකටයුතු වෙනස් කිරීම යනු එකිනෙකාට වෙනස් ලෙස සම්බන්ධ වීමක් වශයෙන් ද ආචාර්ය Sumbo කියා සිටී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Relationships Australia NSW හි සහ community education හි කළමනාකරු වන Andrew King, පිරිමි පාර්ශවයේ යහපැවැත්ම පිළිබඳ විශේෂඥයකු වන අතර කතුවරයකුද වේ.
ඔබේ දරුවන්ට ඉතිරි කිරීමට අවශ්‍ය උරුමය සලකා බැලීම ඔස්සේ ඔබේ වෙනස් වීම ආරම්භ කලයුතු බව ඔහු යෝජනා කරයි.
පිරිමින් බොහෝ විට, ඔවුන් හැදී වැඩීමේදී පුරුෂභාවය නිරූපණය කළ ආකාරය මත පදනම්ව ඔවුනට අවේනික හැඟීම් ප්‍රකාශන ඉගෙන ගැනීම සිදු කරයි.
ඔහු පවසන්නේ, අවාසනාවකට මෙන්, පිරිමි පාර්ශවය වයසින් වැඩෙත්ම සහ සබඳතා ගොඩනඟා ගන්නා විට ඔවුන්ගේ හැඟීම් සැඟවීමට ඔවුන් කටයුතු කරන බවයි.
මේ හේතුවෙන් තමුන් තුල තිබෙන යල් පැනගිය අදහස් අත්හැරීමට, වැදගත් පිරිසට ඔබේ හැඟීම් පෙන්වීමට හෝ වෘත්තීය උපකාර ලබා ගැනීමට Andrew දිරිමත් කරයි.
යටපත් කර ඇති හැඟීම් සහ චිත්තවේගයන් ඇතැම් අවස්ථා වලදී ගැටලුකාරී ලෙස ඉස්මතුවිය හැකි අතර එය අපවාදාත්මක හැසිරීම් වලට තුඩු දිය හැක.
මේ හේතුවෙන් පහත සන්නිවේදන ශිල්පීය ක්‍රම අනුගමනය කිරීම වැදගත් වන බවත් Andrew පෙන්වා දෙයි:
- අනෙක් පුද්ගලයාගේ අදහස්වලට ඇහුම්කන් දීම
- අනෙක් පුද්ගලයා ඔබේ අදහස්වලට අවනත වේ යැයි අපේක්ෂා නොකොට, ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීම
- ඔබේ සිතුවිලි සහ හැඟීම් පිළිගැනීම
- යම් කාලවේලාවක් ගෙන ඔබේ ශක්තිය කේන්ද්‍රගත වීමට ඉඩ දීම
- තීරණාත්මක සාකච්ඡාවකට පෙර සැහැල්ලුවෙන් සිටීම
- සාකච්ඡාවකට පෙර මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම

ඔබට අවශ්‍ය වෙනස්කම් සිදු කිරිමට නම් ඔබේ අවදානම් පිළිගැනීම සිදු කල යුතු බව ආචාර්ය Sumbo පවසයි.
මෙහිදී ඇතැම් අවස්ථාවලදී අරගල කිරීම, සෙසු පිරිසට කතා කිරීම සහ උපකාර පැතීම සාමාන්‍ය වන බවත් ආචාර්ය Sumbo පෙන්වා දෙයි.
Relationships Australia මගින් ඕස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් දැනගැනීමට පිවිසෙන්න.
එසේත් නොමැතිනම් 1300 364 277 යන දුරකථන අංකයට අමතන්න.
මානසික සෞඛ්‍ය ගැටළු හෝ සම්බන්ධතා පිළිබඳව වන ගැටළු ඇති පුරුෂ පාර්ශවයට පැය 24 පුරා 1300 78 99 78 යන දුරකථන අංකය ඔස්සේ MensLine Australia මගින් නොමිලේ උපදේශන සහාය සපයයි.
13 14 50 ඔස්සේ ජාතික පරිවර්තන සේවාව අමතා ඔබට භාෂා සහාය ලබාගත හැක.





