ඔස්ට්‍රේලියාව තුල Medicare ප්‍රතිලාභ තවමත් ලැබී නොමැති ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුනට හිමි ඕස්ට්‍රේලියානු ඩොලර් "මිලියන 234" මුදල් ලබාගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස රජය කියා සිටී.
Key Points
- මිලියනයකට ආසන්න ඕස්ට්‍රේලියානුවන් ලබා නොගත් Medicare ප්‍රතිලාභ හේතුවෙන් මේ වනවිට ඩොලර් මිලියන 234ක ණය මුදලක් රජය සතුව පවතී.
- Medicare සමඟ ලියාපදිංචි වී ඇති තම බැංකු තොරතුරු යාවත්කාලීන දැයි පරීක්ෂා කර බලන ලෙස රජය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.
- MyGov ගිණුමක් ඇති පිරිස මෙලෙස ලබාදෙන Medicare ප්‍රතිලාභ මුදල් පිලිබඳ ඉදිරියේදී දැනුවත් කරයි, එලෙස ගිණුමක් නොමැති පිරිසට MyGov ගිණුමක් සකසන ලෙසට රජය කියා සිටී.
ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට ආසන්න පිරිසකට මෙම උත්සව සමයේ දී රජයෙන් මුදල් ප්‍රතිලාභ ලැබෙන තත්වයක් මේ වනවිට මතුව තිබේ.
Medicare හිමියන් හිමිකම් නොපෑ Medicare ප්‍රතිලාභ ඩොලර් මිලියන 234 ක මුදලක් මේ වනවිට ඕස්ට්‍රේලියානු රජය සතුව පවතී.
මේ අනුව ඕස්ට්‍රේලියානුවන් හිමිකම් නොපෑ මෙම ඩොලර් මිලියන 234ක Medicare ප්‍රතිලාභ මුදල අදාළ Medicare හිමියන්ට ලබාදීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.
මේ සඳහා Medicare හිමියන් myGov වෙබ් අඩවියේ ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කල යුතු වේ.
Medicare හිමියන් සිය myGov වෙබ් අඩවියේ පවතින ගිණුම හා සම්බන්ධ ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙලෙස ඩොලර් මිලියන 234ක Medicare ප්‍රතිලාභ මුදලක් ගොඩගැසී ඇති බව රජය කියා සිටී.

තම myGov වෙබ් අඩවියේ පවතින ගිණුමේ ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කල පසු, දින 3ක කාලයක් ඇතුලත ඔවුනට හිමි මුදල් බැංකු ගිණුමට බැර කිරීම සිදුවන අතර, නත්තල් සමයට පෙර බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට එය මූල්‍යමය ආශිර්වාදයක් විය හැකි බව රජයේ සේවා අමාත්‍ය Bill Shorten පවසයි.
මෙම මුදල් හැකි ඉක්මනින් උත්සව නිවාඩුවට පෙළ අදාල පුද්ගලයින්ට ලබාදීම අවශ්‍යතාවය වන බවත් අමාත්‍යවරයා කියා සිටී
දැනට පවතින තොරතුරු වලට අනුව වයස අවුරුදු 18 සහ 24 අතර ඔස්ට්‍රේලියානුවන් 221,000 ක පිරිසකට පමණක් ඩොලර් මිලියන 49කට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමට නියමිතව තිබේ.
වයස් කාණ්ඩය අනුව 2023 ඔක්තෝබර් 31 දිනට නොගෙවූ Medicare ප්‍රතිලාභ - දල වශයෙන්

පුද්ගලයින් 700,000 කට ආසන්න පිරිසකට මේ සම්බන්ධයෙන් නුදුරේදීම දැනුම් දීමක් සිදු වන අතර කෙසේ නමුත් 300,000 පමණ පිරිසකට myGov ගිණුමක් නොමැති වීම හේතුවෙන් ඔවුන් සම්බන්ධ කරගැනීම මේ වනවිට අපහසු වී තිබේ.
මේ හේතුවෙන් රජය කියා සිටින්නේ Medicare ඇති, නමුත් myGov ගිණුමක් නොමැති පුද්ගලයින් හැකි ඉක්මනින් තම ගිණුම සකසා ගන්නා ලෙසයි.
ප්‍රාන්තය අනුව 2023 ඔක්තෝබර් 31 දිනට නොගෙවූ Medicare ප්‍රතිලාභ - දල වශයෙන්

රජයේ සේවාවන් සම්බන්ධයෙන් වන විපක්ෂ ප්‍රකාශක Paul Fletcher කියා සිටින්නේ ලිබරල් සන්ධානය ඔක්තෝම්බර් මාසයේදී හිමිකම් නොපෑ Medicare ප්‍රතිලාභ සංඛ්‍යා හෙළි කළ බවයි.
ඔහු Australian Associated Press වෙත සඳහන් කොට සිටියේ මෙම ප්‍රතිලාභ මුදල් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට ආසන්න පිරිසකට නොහැකි වී ඇති බවයි.
එමෙන්ම මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් පවුල් සහ ජීවන වියදම් පීඩනය සමඟ අරගල කරමින් සිටින අතර මෙය ඔවුන්ගේ මුදල් මිස රජය සතු නොවන බවත් ඔහු පැවසීය.
Medicare සමඟින් ඔබේ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කරන ආකාරය පහතින්
- ඔබ පරිගණකයක් භාවිතා කරන්නේ නම්, MyGov වෙත log වී Medicare යන කොටස තෝරන්න. නමුත් ඔබ iOS හෝ Android ඔස්සේ Medicare app එක භාවිත කරන්නේ නම්, එය විවෘත කර MyGov ගිණුම සඳහා වන ඔබේ pin එක ඇතුළත් කරන්න.
- 'My details' යන කොටස වෙත පරවශ වී 'Bank details' වශයෙන් වන සඳහන දක්වා scroll කරන්න. (කෙසේ නමුත් ඔබ තොරතුරු කිසිවක් සපයා නොමැති නම් හෝ එම තොරතුරු තවදුරටත් යාවත්කාලීන නොවේ නම්, ඔබට එම තොරතුරු එක් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට හැක.)
- ඉන්පසු 'Save bank details' තෝරන්න.
වැඩි විස්තර සඳහා www.servicesaustralia.gov.au/getting-medicare-benefits වෙත පිවිසෙන්න






