එදින 1996 මාර්තු 17 වන දා විය.
පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර බහුතරයකගේ අත් වල සිංහ ධජය ලෙලදෙමින් තිබුණි.
විදුලි ආලෝකය මධ්‍යයේ 6 වන ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පැවැත්වෙමින් තිබුණි.
ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත් තරගයේ 46 වන පන්දුවාරයේ දෙවැනි පන්දුව යැවීමට සූදානම් වන විට පන්දුවට පහර දීමට සූදානම්ව සිටියේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගය.
තරගයේ ජයග්‍රහණය සඳහා අවැසිව තිබුණේ තවත් එක් ලකුණක් පමණි.
ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 241 ට එරෙහිව එවෙලෙහි ශ්‍රී ලංකාව කඩුලු 3 කට ලකුණු 241 ක් ලබා සිටියේය.
මැක්ග්‍රාත් ගේ පන්දුවට අර්ජුනගේ පිත්ත ක්‍රියාත්මක විය.
පන්දුව හතරේ සීමාව ඉක්මවා ගිය අතර දහස් ගණනක ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද ශ්‍රී ලංකාව කැන්ගරුවන් පරදා 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගත්තේය.
ක්‍රිකට් ලෝකයටම අමතක නොවන මතක රැසක් දායාද කරමින් ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ ඉහළම කුසලානය හිමි කරගෙන අදට (මාර්තු 17) වසර 22 කි.
22 වසරක ලෝක ක්‍රිකට් කිරුළේ මතකයන් ආවර්ජනය කර එදා ක්‍රිකට් විරුවන්ට උපහාරයක් වන්නට SBS සිංහල මෙම ලිපය ගෙන එයි.

6 වන ලෝක කුසලානයේ ආරම්භය
6 වන ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් තුනෙහි සත්කාරකත්වයෙන් යුතුව 1996 වසරේ පෙබරවාරි 14 වන දින ආරම්භ විය.
රටවල් 12 ක් ඛාණ්ඩ දෙකක් යටතේ මෙම කුසලානයට තරග වැදුණු අතර
A ඛාණ්ඩය – ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන්, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සිම්බාබ්වේ, කෙන්යාව ලෙසද
B ඛාණ්ඩය – පාකිස්ථානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙසද විය.
1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වුණු අතර එංගලන්තය පරදා ලකුණු 11 කින් නවසිලන්ත ක්‍රීඩකයන් පළමු තරඟයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හරහට හිටිය හැටි.
එවකට පැවති LTTE කොටි ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව පවසා ශ්‍රී ලංකව සමග ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුණු තරග සඳහා ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගී නොවීය.
එනිසා පළමු වටයේ දී ශ්‍රී ලංකාවට නිරතරඟයෙන්ම ප්‍රසාද ලකුණු හතරක් ලැබුණි.
පළමු වටයේ සියලුම තරග ජය ගනියි.
සිම්බාබ්වේ සමඟ කොළඹ SSC පිටියේ පැවති පළමු වටයේ පළමු තරඟයේදී කඩුලු හයක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමත් විය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 91 ක් ලබා ගත් අරවින්ද ද සිල්වා තරඟයේ වීරයා බවට පත් විය.
පළමු වටයේදී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර පැවති තරඟයේ ශ්‍රී ලංකා පිළ රැස් කළ ලකුණු 398ක වාර්තාගත ලකුණු ප්‍රමාණය එක් දින කණ්ඩායමක් ලැබූ උපරිම ලකුණු සංඛ්‍යාව ලෙස මෑතක් වන තුරුම පැවතුණි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුණු ප්‍රවේගකාරීම ආරම්භක පිතිකරුවන් යුගලය වන සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ කෙන්යාවට එරෙහිව ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දුන් අතර ජයසුරිය පන්දු 27 කදී ලකුණු 44 ක් ද කලුවිතාරණ පන්දු 18 කදී ලකුණු 33 ක්ද ලබා ගත්තේය.

පන්දු 115කදී හතරේ පහරවල් 14ක් හා හයේ පහරවල් 5ක් සමඟ ලකුණු 145 රැස් කළ අරවින්ද ද සිල්වා දෙවන වතාවටත් තරඟයේ වීරයා බවට පත් විය.
මෙහිදී කෙන්යාවට රැස් කිරීමට හැකි වන්නේ සියලු දෙනා දැවී ලකුණු 254ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකාව එම තරගයද ලකුණු 144 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් ජය ගන්නට සමත් විය.
තුන්වන තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නායක මොහොමඩ් අසරුදීන් ප්‍රමුඛ ඉන්දියානු කණ්ඩායමට අරාධනා කළේය.
එහිදී ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3 කට ලකුණු 271 ක් රැස් කළ අතර සචින් තෙන්ඩුල්කාර් අගනා ලකුණු 137 ක් ලබා ගත්තේය.
ලකුණු 272 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගල සිය සුපුරුදු කස පහරවල් පිටිය වටේටම එල්ල කරන්නට විය.
ඉන්දීය පන්දු යවන්නන්ට ක්‍රිකට් එපා කරවමින් සනත් ජයසුරිය එහිදී 4 පහරවල් 9 ක් සහ 6 පහරවල් 2 ක් සමග ලකුණු 79 ක් ලබා ගත්තේය.

අර්ජුන රණතුංග නොදැවී ලකුණු 46 ක්ද හෂාන් තිලකරත්න නොදැවී ලකුණු 70 ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකවේ ජය සනිටුහන් කරන්නට වුයේ තවත් පන්දු 8 ක් හා කඩුලු 6 ක් ඉතිරිව තිබියදීය.
සුපිරි අට දෙනා
ශ්‍රී ලංකාව A ඛාණ්ඩයේ අපරාජිතයන් ලෙසත් දකුණු අප්‍රිකාව B ඛාණ්ඩයේ අපරාජිතයන් ලෙසත් මුලික තරඟ අවසාන වී අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.
සුපිරි කණ්ඩායම් අට සඳහා කණ්ඩායම් තේරී පත්වුයේ පහත අයුරිනි.
A ඛාණ්ඩය – ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්වන්
B ඛාණ්ඩය – දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, නවසීලන්තය, එංගලන්තය.

සුද්දන්ට ලංකාවෙන් අමතක නොවන පාඩමක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේ මෙවරය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වුයේ එංගලන්ත කණ්ඩායමය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 235 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් කඩුලු 5 ක් දැවී පන්දුවාර 40 යි පන්දු 4 කදී ලකුණු 236 ක් ලබා ගනිමින් තරගයේ ජය සටහන් කරමින් ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේය.
එහිදී 4 පහරවල් 13 ක් සහ 6 පහරවල් 3 ක් සමග පන්දු 44 කදී ලකුණු 82 ක් ලබා ගත් සනත් ජයසූරිය එංගලන්තයට ක්‍රිකට් ඉතිහාසයේ අමිහිරිතම දිනය එදින උදා කර දුන්නේය.
ජයසුරිය තරගයේ වීරයා ද විය.

ගිනි ජාලා සහ වීදුරු බෝතල් මැදින් ලංකාව අවසන් මහා තරගයට
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කල්කටා හි ඊඩ්න් ගාඩන් ක්‍රීඩාංගනයේදී පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වුණු අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 251 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකවේ ප්‍රහාරාත්මක පිතිකරු යුගල වන සනත් හා කලුවිතාරණ ලකුණු 2 කට දැවී යන විට ඉන්දීය ප්‍රේක්ෂකයින් ප්‍රීති ඝෝෂා නගන්නට වුයේ තරගයේ ජය ඉන්දියාවට පහසුවෙන් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂාවෙනි.
අනතුරුව අසංක ගුරුසිංහගේ දැවී යන්නේ ද නොසිතූ ආකාරයටය.
ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් තිදෙනාම මුල් ලකුණු 35දී ඉන්දීය පන්දු යවන්නන් හරවා යවනු ලැබූවත් අඩාල වූ ශ්‍රී ලංකා ඉනිම අරවින්ද ද සිල්වා (66) , රොෂාන් මහානාම (58), අර්ජුන රණතුංග (35), හෂාන් තිලකරත්න (32) සහ චමින්ද වාස් (23) විසින් ගොඩ නගනු ලැබීය.

පිළිතුරු ඉනිම ඇරඹු ඉන්දීය පිතිකරුවන්ගේ කඩුලු නොසිතු අන්දමින් උදුරාගන්නට ජයසුරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමග ඉන්දියාව කඩුලු 8 කට ලකුණු 120 ක් ලබා ගනිමින් ඉතා අසීරු තත්ත්වයකට පත් විය.

එම අවස්ථාවේදී කුපිත වූ ඉන්දියානු ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයේ තැනින් තැන ගිනිමැල ගසා විදුරු බෝතල් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙසට දමා ගැසීම හේතුවෙන් තරඟය නැවත්වීමට සිදු වන අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට නරඹන්නන්ගේ අවිනීත බව නිසා තරගයක ජය තීරණය කිරීමට තරග තීරකට සිදුවූ අතර ශ්‍රී ලංකාව ඉන් ජය ලබා ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලානයක අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීය.

තරගයේ වීරයා සම්මානය අරවින්ද හට හිමිවිය.
ක්‍රිකට් ලොවේ සිංහ සලකුණ තැබූ අමරණීය දිනය
1996 ලෝක කුසලානයේ අවසන් තරඟය සදහා ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටිය තරඟය සඳහා තෝරාගෙන තිබුණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පන්දුවට පහර දීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට ආරාධනා කළ අතර ඔවුන් තම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේය.
ක්‍රිකට් විස්තර විචාරකයින්ගේද ලෝකයේද අනාවැකිය වුයේ ඔස්ට්‍රේලියාව මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉතා පහසු ජයක් ලබා ක්‍රිකට් ලෝක කුසලනය හිමි කරගනු ඇති බවය.

මෙම සිතිවිල්ලත් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වූ අතර ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනා වන සනත් ජයසූරියට හා රොමේෂ් කලුවිතාරණ ඉතා අඩු ලකුණු සංඛ්‍යවකට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වීමත් සමග ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුනු විසුනු විය.
ලංකාවෙන්ද සිංහ කොඩි ගෙන්වගනිමින් එදින ගඩාෆි ක්‍රීඩාංගනයේ සිටි සමස්ත පාකිස්තානුවන් ඔල්වරසන් දුන්නේ ශ්‍රී ලංකාවටය.

අසීරු අවස්ථාවන් වලදී ශ්‍රී ලංකා පිළ ගොඩ ගැනීමට සිටින දැවන්තයන් දෙදෙනෙක් වන අරවින්ද ද සිල්වා හා අසංක ගුරුසිංහ තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 125ක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ මේ අතරය.

පසුව අරවින්ද ද සිල්වා සමඟ එකතුවන අර්ජුන රණතුංග නායකත්වයේ ලක්ෂණ මනා ලෙස පෙන්වමින් හතරවන කඩුල්ල සඳහා ලකුණු 94ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නේ ලොව විශිෂ්ට පන්දු යවන්නෙක් වන ෂේන් වොන් ට පහර පිට පහර දෙමිනි.

තරගයේ තවත් පන්දු 22ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව කඩුලු 3 කට ලකුණු 245 ක් ලබා ගනිමින් ක්‍රිකට් ලොවම මවිත කරවමින් සිංහ දේශයට ලෝක ක්‍රිකට් කිරුළ දිනා දුන්නේය.

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම පිතිකරුවා වන අරවින්ද ද සිල්වා පන්දු 124 කදී 4 පහරවල් 13 ක් සමග නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින් අවසාන තරගයේ වීරයා බවට පත් වන්නේ ක්‍රිකට් ලෝක කුසලනයක අවසාන මහා තරගයකදී ශතකයක් වාර්තා කළ ලොව තුන්වන පිතිකරුවා වෙමිනි.

මීට පෙර එම සමත්කම දැක්වුයේ කොදෙව් කණ්ඩායමේ පතාක යෝධයන් දෙදෙනෙකු වන ක්ලයිව් ලොයිඩ් සහ විවියන් රිචඩ්ස්ය.
ලෝකයයේම පන්දු යවන්නන් තඹ සතයකට වත් ගණන් නොගෙන පිටිය වටේ පහර පිට පහර ගැසු මාස්ටර් බ්ලාස්ටර් හෙවත් සනත් ජයසුරිය තරගවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගේ නෙත්වල සතුටු කඳුළු පුරවමින් ශ්‍රී ලංකවේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිම ක්‍රිකට් නායකයා ලෙස හැඳින්වෙන අර්ජුන රණතුංග, එවකට පාකිස්තානයේ අගමැතිනිය වූ බෙනාසීර් බූතෝ මහත්මිය අතින් 1996 ක්‍රිකට් ලෝක කුසලානය හිමි කරගත්තේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයේ ඉහළටම රැගෙන යමිනි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

