First-home buyers හෙවත් ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්නන්ට 5%ක් වැනි සුළු තැන්පතු මුදලක් භාවිතා කොට නිවසක් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමට ෆෙඩරල් රජය නව ඇප වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
2020 වසරේ ජනවාරි සිට වාර්ෂිකව අඩු හා මධ්‍යම ආදායම් ලබන පළමු නිවාස මිලදී ගන්නන් 10,000කට පමණ නිවාස වෙළඳපොළට ඇතුළුවීම පහසු කිරීමේ බලාපොරොත්තු ඇතිව ෆෙඩරල් රජය මෙම වැඩසටහන එළිදක්වා ඇත.
නව වැඩසටහන යටතේ රජය ලබා දෙන ඇප ප්‍රමාණ
රජය විසින් පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් වන මෙම වැඩසටහන යටතේ සිඩ්නි දේපළ සඳහා $700,000ක් දක්වා ඇප වීමටද හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශ වලට $450,000ක් දක්වා ඇප වීමටද රජය කටයුතු කරයි.
එසේම මෙල්බර්න් දේපළ සඳහා $600,000ක් දක්වාත් වික්ටෝරියනු ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශ වලට $375,000ක් දක්වාත් රජය ඇප වීමට සූදානම්.
ඉහත සඳහන් කල ඇප මුදල් සීමාව, ජනගහනය 250,000ට වැඩි ප්‍රාදේශීය නගර සඳහාද අදාළ වෙන බව සඳහන් වෙයි. ගෝල්ඩ් කෝස්ට්, නිව්කාසල්, ලේක් මැක්වරි, සන්ෂයින් කෝස්ට්, වොලොංගොං සහ ජීලෝන්ග් වැනි නගර මේ සඳහා උදාහරණ වෙයි.

Source: SBS
නව වැඩසටහන යටතේ ලැබෙන ඇප ප්‍රමාණය තීරණය කර ඇති ආකාරය
මූල්‍ය කටයුතු අමාත්‍ය Mathias Cormann පවසා සිටියේ වැඩසටහන මගින් ලබාදෙන ඇප ප්‍රමාණය තීරණය කිරීමේදී එක් එක් ප්‍රදේශයේ මධ්‍යන්‍ය නිවාස මිල ගනන් සැලකිල්ලට ගෙන ඇති බවයි. එසේම නොයෙකුත් ප්‍රාන්ත හා ටෙරටරි වල මුද්දර ගාස්තු ප්‍රමාණයන් හා ජනතාවට ලැබෙන අනෙකුත් දීමනාද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පළමුව අයැදුම් කරන සුදුසුකම් ලත් ණය අයෙදුම කරුවන් 10,000සට මෙම වැඩසටහන යටතේ රජය ඇප වීමට සූදානම් බව Mathias මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඔබට මෙම වැඩසටහනට ඇතුලත්වීම සඳහා තිබිය යුතු සුදුසුකම්
වාර්ෂික ආදායම 125,000ට අඩු තනි පුද්ගලයින්ට මෙන්ම වාර්ෂික ආදායම 200,000ට අඩු යුවළ සඳහා මෙම වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව තිබෙයි. එසේම මෙය අදාළ වනුයේ මූලික හා පොලී පදනම මත තමාගේ වාසයට වන නිවාස සඳහා ගන්නා ණය සඳහා පමණි.
මේ තුළින් සබැවින්ම බලාපොරොත්තු වනුයේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්නන්ට පහසුවෙන් නිවසක් මිලදී ගැනීමේ හැකියාව ඇති කිරීම බව සෙනෙට් සභික Cormann පැවසුවේය.
CoreLogic ආයතනය මගින් සිදුකල විශ්ලේෂණයන්ට අනුව පසුගිය සැප්තැම්බර් මසයේදී සිඩ්නි නිවසක මධ්‍යන්‍ය මිල වූයේ $805,000කි. මෙල්බර්න් නිවසක මධ්‍යන්‍ය මිල $635,000 ලෙස සඳහන් වෙයි.
නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය Michael Sukkar පවසා සිටියේ රජයේ මෙම නව ඇප වැඩසටහනට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර අතරින් දෙකක් පමණක් තෝරා ගෙන ඇති බවයි. එසේම වැඩසටහන යටතේ ලබාදෙන ඇප ප්‍රමාණයන්ගෙන් 50%ක් ලබාදීමට තීරණය කර ඇත්තේ කුඩා පරිමාණ ණය ලබා දෙන්නන් හරහා බවත් ඔහු පැවසුවේය.
කුඩා පරිමාණ බැංකු හා ප්‍රාදේශීය මූල්‍ය ආයතන (Smaller banks and regional financial institutions) රට පුරා විහිදී ඇති බැවින් මුළු ඔස්ට්‍රේලියාවටම මෙම නව වැඩසටහනේ බලපෑම පැතිරවීමට එය රුකුලක් වනු ඇති බව ඇමති Michael විශ්වාස කරයි.
නව ඇප වැඩසටහනේ සමහර තොරතුරු තවමත් අඳුරේ
විපක්ෂ නායක Anthony Albanese පවසනුයේ මෙම නව ඇප වැඩසටහනේ තීරණාත්මක තොරතුරු නිකුත් කිරීමට ඇති කාලය සීමිත බවයි.
නව ඇප වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉතිරිව ඇත්තේ මාස දෙකක කාලයක් වන අතර තවමත් මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ණය ලබා දෙන්නන් හරහාද යන්න හා කුමන පොලී අනුපාත යටතේ ජනතාවට එම ණය පහසුකම් ලාබාදෙනවාද යන්න රජය නිවේදනය කර නොමැති බව Albanese මහතා පවසයි.
ජනතාවට මෙම නව ඇප වැඩසටහන ප්‍රයෝජනයක් වීමට නම් රජය මෙම තොරතුරු හැකි ඉකමනින් නිකුත් කල යුතුයි යන්න Albanese මහතාගේ අදහසයි.
ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ සමයේදී අගමැති Morrison මෙම නව ඇප වැඩසටහන පිළිබඳව තොරතුරු නිවේදනය කල විට ඒ හා සමානම ඇප වැඩසටහනක් දියත් කිරීමට කම්කරු පක්ෂයද පොරොන්දු විය.
මේ හේතුවෙන් විපක්ෂයේ සහයද ඇතිව යළි මාස 12 කින් සමාලෝචනයක් සිදුකීරීම සඳහා වන සංශෝධනයක්ද සහිතව මෙම මස මුලදී මෙම නව ඇප වැඩසටහනට අදාළ යෝජිත පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවෙදී සම්මත විය.