රෝඩා රොබට්ස් - අභියෝග මැදින් ස්වදේශික අනන්‍යතාව ඔසවා තැබූ සර්ව කාලීන සලකුණ

අභාවප්‍රාප්ත මුල්පුරවැසි වැඩිහිටි රෝඩා රොබට්ස් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන් සිය ගෞරව උපහාරය පිරිනමයි.

A smiling middle-aged woman with long dark hair stands against a plain light background.

Federal Minister for Indigenous Australians, Malandirri McCarthy thanked Roberts and her family for "being there for all us mob". Source: SBS

සංක්ෂිප්තයක් ලෙස

  • ඕස්ට්‍රේලියානුවන් වැඩිහිටි නැන්දනිය රෝඩා රොබට්ස් ඉදිරි දැක්මක් සහිත ජාතික වස්තුවක් ලෙස සලකා උපහාර පුද කරයි
  • බන්ජලාංග් ජාතියේ විඩ්ජබුල් වියර්බල් කාන්තාවක් වූ ඈ බොහෝ දෙනෙකුට ආදරණීය මිතුරියකි

අවවාදයයි: මෙම ලිපියේ මියගිය ස්වදේශික ජනතාවගේ නම් සහ රූප අඩංගු වේ.

අභාවප්‍රාප්ත ස්වදේශික වැඩිහිටි නැන්දනිය රෝඩා රොබට්ස් ඉදිරි දැක්මක් සහිත වූ ජාතික වස්තුවක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ගේ ඇගයුමට ලක් වෙයි.

මුල් පුරවැසියන්ගේ ජීවන තොරතුරු ලොවට කියා පෑමෙහි ලා ඇගේ දශක ගණනාවක සේවයත් බොහෝ පිරිසකට සෙනෙහෙබර ආදරණීය මිතුරියක් වූ ඇගේ නිර්ව්‍යාජ ජීවිතයත් ඇගේ අභාවයත් සමඟ යළි සිහිපත් කරමින් තිබෙයි.

ඉතා විරල ගණයේ ඩිම්බකෝෂ පිළිකාවක් හේතුවෙන් කෙටි කාලයක් පීඩා විඳි ඇය මාර්තු 21 වෙනි සෙනසුරාදා දහවල් සිය ස්වදේශික භූමියේ දී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 66 වෙනි වියෙහි පසු විය.

ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍ර උන්නතිය වෙනුවෙන් ඇයගේ වෘත්තීය දායකත්වය මෙන්ම, ස්වදේශික මුල් පුරවැසි ජනතාව අතර නායිකාවක් ලෙස ඈ දැක්වූ සේවයට කෘතඥතාව පළ කරමිනුත් ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රදේශයකින්ම උපහාර ගලා එමින් තිබෙයි.

ඇගේ අභාවය පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සඳහා වන ෆෙඩරල් අමාත්‍ය මැලන්ඩිරි මැකාති, "අවශ්‍ය හැම මොහොතක දී ම අප සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටීම" ගැන රොබට්ස් සහ ඇගේ පවුලේ අයට ස්තූති පල කළාය.

විශ්වාසවන්තයෙකු සහ මග පෙන්වන්නෙකු ලෙස තිරය මත සහ ඒ පිටුපස ස්වදේශික මුහුණු දැකීම කොතරම් වැදගත්ද යන්න ගැන අපි බොහෝ විට කතා කළා," මැකාති සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනේ දැක් වෙයි.

ඒ ස්වදේශික මුහුණු දැන් සෑම තැනකම, විශේෂයෙන් කැමරාව ඉදිරිපිට සහ පිටුපස සහ සෑම වේදිකාවක් මත නේද කියා මෑතකදී අප දෙදෙනාගේ අවසාන සංවාදයේ දීත් මම ඉතාමත් ඇගයුමෙන් සිහිපත් කළා
ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සඳහා වන ෆෙඩරල් අමාත්‍ය මැලන්ඩිරි මැකාති

බන්ජලාංග් ජාතියේ විඩ්ජබුල් වියර්බල් කාන්තාවක් වන රොබට්ස්, ලෝකය පුරා ස්වදේශික සංස්කෘතිය, සංගීතය, කලාව, කතාන්දර, ඉතිහාසය සහ භාෂාව ප්‍රචලිත කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට ලබා දුන් දායකත්වය ඉතා ප්‍රකටයි.

විශේෂයෙන්, වසර 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ස්වදේශික ජනප්‍රජාව නියෝජන කල පළමු අදියරේ නිර්මාණ අධ්‍යක්ෂවරිය ලෙස ඇය සිදු කල කුසලතාව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් සිහිපත් කෙරුණි.

ලෝකයේම දෑස් අප දෙස යොමු වී ත‍ිබූ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී, ලෝකයට පෙන්වූ නිර්මාණාත්මක රූප රචනයේ හිමිකාරිය රෝඩායි. ඇය අපව මහා සාගරය සහ ගින්න හරහා මනරම් ගමනක් ගෙන ගියා. අප සිටින මේ භූමිය මුල් පුරවැසි ජාතීන්ගේ දේශයක් බව සැබවින්ම තේරුම් ගැනීමට එය අපූරු නිර්මාණයක් බර්ක් වැඩිදුරටත් පැවසීය.

රෝඩා ඉදිරියට තැබූ සෑම පියවරක් සමඟම ඈ පරම්පරාවක් ඉදිරියට රැගෙන ගියා. රෝඩා රොබට්ස් නිසා තවත් ඕස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් ලොකු සිහින කරා ගමන් කරන අපගේ අනන්‍යතාව පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇති පිරිසක් වුණා
ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්

ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික තානාපතිනිය ලෙස ඇයගේ කාර්යය ඕස්ට්‍රේලියාවේ දේශීය වශයෙන් ඇයගේ බලපෑම තරම්ම බලවත් වූ බව බර්ක් තවදුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර සෑම් මොස්ටින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් රොබට්ස් බොහෝ දෙනෙකුට ආදරණීය සගයෙකු, උපදේශිකාවක් සහ මග හෙළි කල ජාතික වස්තුවක් බව සඳහන් කළා. පසුගිය දෙසැම්බර් මාසයේ සිඩ්නි ඔපෙරා රඟහලේ දී ඇගේ අවසන් ප්‍රසංගය වූ “My Cousin Frank” දැකීමට ලැබීම ගෞරවයක් බවත් ඇය වැඩිදුරටත් සටහන් කර තිබෙයි.

නායකයෙකු ලෙස ඇයගේ බලපෑම, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සහ ගෝලීය වශයෙන් අනෙකුත් නිර්මාණකරුවන්ට මග පෙන්වීම සහ සංවර්ධනය කිරීම මෙන්ම මුල් ජාතීන්ගේ කතා පුවත් කීම සහ මාධ්‍ය තුළ ඔවුන් වෙනුවෙන් නැංවූ හඬ වඩාත් ගැඹුරුයි
අග්‍රාණ්ඩුකාර සෑම් මොස්ටින්

"නමුත් සියල්ලටම වඩා ඇය බොහෝ දෙනෙකුට ආදරණීය මිතුරියක් වූවා."

“සැබවින්ම ඈ අසමසම කාන්තාවක්”

"ලෝකයට ඇයගේ නික්ම යාම කොතරම් පාඩුවක් වනු ඇත්ද"

"නායිකාවක් සහ ආශ්වාදයක්. රෝඩා නැන්දනිය ප්‍රඥාවන්ත, ත්‍යාගශීලී, කරුණාවන්ත, සදා ජීවමාන තැනැත්තියක්. ඇය අපේ ලෝකය වඩාත් ලස්සන කිරීමට වෙහෙසී නික්ම ගියා"

ආදී වශයෙන් පවසමින් ඕස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සටහන් තබමින් ඇගේ අභාවය පිළිබඳ කණගාටුව පල කරමින් ඇයට සිය අවසන් උපහාරය පල කර ඇත.

රෝඩා රොබට්ස්ගේ ජීවිතය සැමරීමට සහ ඇගේ උරුමයට ගෞරව කිරීම පිණිස ඇගේ පවුලේ ඥාතීන් SBS/NITV සඳහා මෙම ලිපියට ඇතුලත් වූ රූප සහ දර්ශන භාවිතා කිරීමට, අවසර ලබා දී ඇත.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


3 min read

Published

By Niv Sadrolodabaee, Kassapa Senarath

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now