"මීට අවුරුදු කිහිපයකට කලින් මට Winery එකක Food and Beverage ප්‍රධානියා විදියට රැකියාවක් ලැබුණා. ඒක තිබුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ West Gippsland කලාපයේ. මම වැඩ බාරගත්ත ගමන්ම වගේ එතනට ආපු ඔස්ට්‍රේලියානු ජාතිකයෝ කිහිප දෙනෙක් මගේ ස්වරූපය දැකල මගෙන් ඇහුවා 'Are you going to do this a curry place?' කියල. මට තේරුණා ඒ අය ඇත්තටම ඇහුවේ මොකද්ද කියලා. මම එදා හිතුවා මේවට සැලෙන්නේ නැතුව මගේ ගමන ඉදිරියටම යනවා කියල. ටික දවසකට පස්සේ අපේ Winery එක බලන්න සංචාරකයෝ ආවේ බස් පිටින්. ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ."
එලෙස ඉදිරියට පැමිණි තමන්ගේ වෘත්තීය ජීවිතයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ Hospitality ක්ෂේත්‍රයේ තිබෙන ඉහළම සම්මාන උළෙලේදී වසරේ Food and Beverage Services Employee නමැති සම්මානය දිනාගැනීමට අපේ මෙම කතා නායකයාට හැකියාව ලැබුණා.
ඔහු නමින් දර්ශන ප්‍රසාද්. මේ වන විට දර්ශන මෙල්බර්න් නුවර Caribbean Park හි Hyatt Place හෝටලයේ Food and Beverage කළමණාකරු ලෙස සේවය කරනවා.
2022 Victorian Accommodation Awards for Excellence හෙවත් වික්ටෝරියා ප්‍රාන්තයේ hospitality ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා වූ සම්මාන උළෙලේදී මේ වසරේ Food and Beverage Services Employee සම්මානය දිනා ගැනීමට දර්ශනට හැකියාව ලැබුණා.
මෙම සම්මානය සුවිශේෂී වන්නේ මෙම සම්මාන උළෙලේ ඇති වැදගත්කම සහ සුවිශේෂීත්වය නිසාය.
වික්ටෝරියා ප්‍රාන්තයේ Hospitality ක්ෂේත්‍රයේ තිබෙන ඉහළම සම්මාන උළෙල ලෙස මෙය වාර්තා වනවා.
Credit: Supplied: Darshana Prasad
සම්මානයට පාර කැපීම
"මම රැකියාව කරන හෝටලේ පාලනාධිකාරිය තමයි මාව මේ සම්මාන උළෙලට නිර්දේශ කළේ. මේක වික්ටෝරියා ප්‍රාන්තයේ hospitality ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධානතම සම්මාන උළෙල. මම නියෝජනය කළ Food and Beverage Services අංශය තමයි මේකේ වැඩිම තරගයක් තියෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන හෝටල්, අවන්හල් 850 කට ආසන්න සංඛ්‍යාවකින් මේ අංශය සඳහා තමන්ගේ සේවකයින්ව නිර්දේශ කරලා තිබුණා. අවසානයේදී මාත් ඇතුළුව 12 දෙනෙකු පමණයි අවසන් වටයට තේරුනේ." 2022 Victorian Accommodation Awards for Excellence සම්මාන උළෙලේදී මේ වසරේ Food and Beverage Services Employee සම්මානය දිනාගැනීමට මාර්ගය සැකසුණු ආකාරය දර්ශන SBS සිංහල ගුවන් විදුලියට එලෙස විස්තර කළා.
තරගකරුවන් තම සේවා ස්ථානවල සේවය කරන විදිය සහ ඔවුන් පාරිභෝගිකයින්ට සපයන සේවාව පිළිබඳ විනිශ්චය මණ්ඩලය කාටත් නොදන්වා හොර රහසේම පැමිණ විනිශ්චය කර ලකුණු ලබාදීමක් සිදුකරන බවත් දර්ශන අපට පැවසුවා.
Credit: Supplied: Darshana Prasad
ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස පැමිණ කළමණාකරුවෙකු දක්වා යාම
"මම ඉපදුනේ හම්බන්තොට. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවා හම්බන්තොට ශාන්ත මේරි මහා විද්‍යාලයේ, ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණියා." ලංකාවේ තමන්ගේ විස්තර දර්ශන SBS සිංහල ගුවන් විදුලියට ඒ ආකාරයෙන් ප්‍රකාශ කළා.
දර්ශන ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ තමන්ගේ බිරිඳගේ පෙරැත්ත නිසා.
ඒ අනුව එවකට ලංකාවේ රැකියාවක් කරමින් සිටි ඔහු, ඔහුගේ බිරිඳ සමග 2005 වසරේදී ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස hospitality ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙනවා.
මීට පෙර hospitality ක්ෂේත්‍රයේ අත්දැකීම් නොමැති නිසා සහ ඒ පිළිබඳ දැනුම නැති නිසා මුලදී දර්ශනට සුළු සුළු අභියෝග පැමිණ තිබෙනවා.
නමුත් ඒ සඳහා ඔහු විවිධ උපක්‍රම භාවිතා කළ බව SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේ මේ ආකාරයෙන්.
"ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස මට එතරම් වියදම් කරන්න මුදල් තිබුණේ නැහැ, ඒ නිසා hospitality ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ දැනුම ලබාගන්න මෙම අඩු වියදම් උපක්‍රම අනුගමනය කළා. මුලින් මුලින් මෙල්බර්න්වල තියෙන මත්පැන් අලෙවි සැල්වලට, wineries වලට ගිහින් ඒ අදාළ දැනුම කලින්ම ලබාගන්න බොහොම වෙහෙසුණා."
"ඒ කාලේ මම ඔස්ට්‍රේලියාවට අපු එක එච්චර හොඳ තීරණයක් නෙමෙයි කියල හිතුණා. නමුත් දැන් තේරෙනවා ඒ ගත්ත තීරණයේ ඇති වටිනාකම." දර්ශන විස්තර කළා.
"මගේ බිරිඳ නයෝමි, ඇය තමයි සෑම විටම අභියෝගවලදී මාව දිරිමත් කරන්නේ, මට ඉන්නවා පුංචි පුතෙක්, එයාගේ නම විහාන්. පුතා දැන් පාසල් යනවා." දර්ශනගේ පවුලේ විස්තරත් අපට ඒ ලෙස පැවසුවා.
Darshana with his wife Nayomi. Credit: Supplied: Darshana Prasad
ඔස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේත්‍රයේ පළමු රැකියාව
"අපි Hospitality ඉගෙන ගන්න අතරේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගන්න සහ පුහුණුව ලබාගන්න අපිව විවිධ හෝටල්වලට අනියුක්ත කරනවා. එතනදී මට ලැබෙන්නේ මෙල්බර්න්වල තරු පහේ හෝටලයක්. සති දෙක බැගින් ඒ හෝටලේ හැම අංශයකම මට මාස 3 ක් පුරාවට වැඩ කරන්න තිබුණා. අපි පුහුණු වෙන කාලේ අපට වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ සිසුන් ඒ කාලයේ කැපවීමෙන් වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන් එම පුහුණුවට නිසි ලෙස පැමිණෙන්නේ නැහැ. නමුත් මම කරන්න තිබුණු හැම වැඩක්ම විශාල කැපවීමකින් සහ උනන්දුවකින් කළා." ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන අතරේ රැකියා පුහුණුව ලබාගත් ආකාරය දර්ශන ඒ අයුරින් පැහැදිලි කළා.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. ———————————————————————————
සාමාන්‍යයෙන් පුහුණුව අවසානයේදී රැකියා අයදුම්පතක් අදාළ හෝටලයට ලබදෙන ලෙසත් ඔවුන්ගේ රැකියා පුරප්පාඩු තිබුණහොත් ඔබට රැකියාවක් ඔවුන් ලබාදේවි යයි බොහෝ අය පවසනවා.
ඒ අයුරින්ම විශාල බලාපොරොත්තුවක් සමග තමන්ගේ රැකියා අයදුම්පතක්ද දර්ශන අදාළ තරු පහේ හෝටලයේ මානව සම්පත් අංශයට ලබා දුන්නා.
නමුත් "දැනට රැකියා පුරප්පාඩු නැහැ, පුරප්පාඩු තියෙන වෙලාවක online අයදුම් කරන්න" කියා ඔවුන් එකවිටම දර්ශනට පවසා තිබෙනවා.
ඉන් අනතුරුව සිදුවූ දෙය දර්ශන අපට විස්තර කළේ මේ ආකාරයෙන්.
"ඒ උත්තරෙත් එක්ක මම ආපහු එන්න හදනකොට ඒ හෝටලේ සේවය කරන ලංකවේ මහත්මයෙක් මගෙන් ඇහුව 'මේ කොහෙද ආවේ?' කියලා. මම කිව්වා මගේ පුහුණුව අවසන්, රැකියා අයදුම්පතක් දෙන්න ආවා. හැබැයි HR එකෙන් කිව්වා පුරප්පාඩු නැහැ කියලා. ඒ සමගම ඔහු මාව එක්කන් යනවා ඒ හෝටලේ තවත් කළමනාකරුවෙක් ළඟට. ගිහින් ඔහුට කියනවා මේ හොඳට වැඩ කරන ළමයෙක්, මේ ළමයට රැකියාව දෙන්න කියල. ඊළඟ සතියේ මට ඒ හෝටලේම රැකියාව ලැබෙනවා."
දර්ශනට ඔස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේත්‍රයේ පළමු රැකියාව එලෙස ලැබෙන විට ඔහු අපට තවත් දෙයක් කිව්වා.
"මට රැකියාව ලබාදෙන්න කියලා මා ගැන රෙකමදාරු කළ ලංකාවේ මහත්මයා මම හෝටලේ පුහුණුවෙන කාලේ වැඩකරන දිහා හොඳට බලාගෙන ඉඳලා තියෙනවා. මම ඒ බවක් දන්නේ නැහැ. ඔහු පස්සේ තමයි ඒ ගැන කිව්වේ."
Credit: Supplied: Darshana Prasad
ජාත්‍යන්තර සිසුන්ට සහ Hospitality ක්ෂේත්‍රයට පැමිණෙන අයට පණිවිඩයක්
රැකියාව රැකියාවක් පමණක් ලෙස නොකර ඒ සම්බන්ධව තිබෙන දැනුමින් සන්නද්ධ වීම අද කාලේ හරිම වැදගත්.
එවිට තමන්ට Hospitality ක්ෂේත්‍රයේ පමණක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක නොකඩවා ගැටළුවක් නොමැතිව රැඳී සිටීමට හැකියාව ලැබෙනවා.
දර්ශනත් තමන්ගේ පළමු රැකියාව ලැබුණු පසුව තමන්ගේ ක්ෂේත්‍රයේ නොදන්නා සෑම දෙයක්ම ඉගෙන ගන්න මහන්සි වූ බව අපට පැවසුවා.
"රැකියා අතින් Hospitality ක්ෂේත්‍රයේ යන්න තිබෙන පරාසය බොහොම පුළුල්. ඔස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේත්‍රයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් බොහෝ දෙනෙකු සිතන්නේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස පැමිණීමම ඇති කියල. නමුත් තමන්ගේ අධ්‍යපනයෙන් පසුව තමන්ගේ රැකියාව මොකද්ද, තමන් මොන ක්ෂේත්‍රයේ ද ඉදිරියට යන්නේ කියලා ඉලක්කයක් තබාගැනීම ඉතා වැදගත්. එතකොට ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස හෝ තාවකාලික සංක්‍රමණිකක් ලෙස පැමිණි ඔබට බොහෝ දුරක් යන්නට ලැබේවි." වික්ටෝරියා ප්‍රාන්තයේ Hospitality ක්ෂේත්‍රයේ තිබෙන ඉහළම සම්මාන උළෙලේදී වසරේ Food and Beverage Services Employee නමැති සම්මානය දිනාගත් දර්ශන ප්‍රසාද් අවසාන වශයෙන් SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.