Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

IS සංවිධානයට සම්බන්ධ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙල්බර්න් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට: මැයි 10 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 10 වන දා සඳුදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

Airline passengers make their way through Melbourne Airport.
Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම 2022 වසරට කල් යයි.
  • වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මීළඟ අය වැයෙන් ව්‍යාපාර, සංචාරක සහ ස්වදේශික ජනයා ප්‍රමුඛ ගිනි නිවීමේ කටයුතු සඳහා වන අරමුදල් ප්‍රකාශයට පත් කරයි.
  • සිඩ්නි නුවර මහා පරිමාණයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානය අද විවෘත කෙරිණි.
  • Greater Sydney කලාපයට දැනට පනවා ඇති කොරෝනා නීති තවත් සතියක් යනතුරු දීර්ග කෙරේ.
  • IS ත්‍රස්ත සංවිධානයට සාමාජිකයින් බඳවා ගන්නෙකු යයි පැවසෙන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙල්බර්න් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට.
  • ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා ගත ලෙස යළිත් ඉහළට.
  • ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්නව ඉවත් කරයි.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම 2022 වසරට කල් යයි

හෙට (11/05) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් aged care ක්ෂේත්‍රයට ද විශාල ආර්ථික පැකේජයක් වෙන් කරන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

එය වසරකට පෙර අනුමාන කළ ඩොලර් බිලියන 10 ට වඩා විශාල වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

home care හා residential care සහ ඒවා පාලනය පිළිබඳ ප්‍රතිසංස්කරණ මෙන්ම කුසලතා හා පුහුණු වැඩසටහන් ද එම පැකේජයට ඇතුළත් වේ.

මොරිසන් රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg ඉදිරිපත් කරන තුන්වන අය වැය ලෙසද මෙය හැඳින්වේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කරන දිනය පිළිබඳවද හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් හෙළි කිරීමට භාණ්ඩාගාරික අමාත්‍යවරයා අදහස් කර සිටින බව ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීමට ලබන වසරේ අපේක්ෂා කළ හැකි නමුත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව ඔහු SBS පුවත් සේවයට පැවසීය.

මීට පෙර පුරෝකථනය කළ ඩොලර් බිලියන 197.7 හා සසඳන විට 2020 සිට 2021 දක්වා අයවැය හිඟය ඩොලර් බිලියන 155 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර වසර හතරක් පුරා කාන්තාවන් සඳහා ඩොලර් මිලියන 353.9 ක සෞඛ්‍ය පැකේජයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne එක්ව ප්‍රකාශයට පත් කළහ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මීළඟ අය වැයෙන් ව්‍යාපාර, සංචාරක සහ ස්වදේශික ජනයා ප්‍රමුඛ ගිනි නිවීමේ කටයුතු සඳහා වන අරමුදල් ප්‍රකාශයට පත් කරයි

එළඹෙන මැයි 20 වන දින ඉදිරිපත් කිරීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මීළඟ මුල්‍ය වර්ෂය සඳහා වන අය වැයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර, සංචාරක සහ ස්වදේශික ජනයා ප්‍රමුඛ ගිනි නිවීමේ කටයුතු සඳහා වන අරමුදල් ප්‍රකාශයට පත් කර තිබේ.

එහිදී ඩොලර් මිලියන 260 කට වැඩි ආර්ථික පැකේජයක් කොරෝනා වසංගතයේ බලපෑමට ලක්වූ මෙල්බර්න් C-B-D කලාපය වෙත ලබා දෙනු ඇත.

මේ අතර මෙල්බර්න් නගර පුනර්ජීවන අරමුදල ඉහළට ඔසවා තබන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

අනුග්‍රාහකයාගේ පිරිවැයෙන් 20% ක් ආවරණය වන පරිදි භෝජන වවුචර් ක්‍රමයක් සහ C-B-D කලාපයේ උත්සව සහ hospitality අවකාශයන් සඳහා කුඩා පරිමාණ යටිතල පහසුකම් ගොඩනැගීම ඊට ඇතුළත් ය.

එමෙන්ම ස්වදේශික ජනයා විසින් මෙහෙයවනු ලබන ඉඩම් හා ගිනි නිවීමේ කළමනාකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 22.5 ක් ආයෝජනය කරන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කර තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රාන්ත රජය තවත් මිලියන 55 ක් ප්‍රකාශයට පත් කර ඇත.

සිඩ්නි නුවර මහා පරිමාණයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානය අද විවෘත කෙරිණි

සිඩ්නි නුවර මහා පරිමාණයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කෙරිණි.

Homebush හි පිහිටි සිඩ්නි Olympic උද්‍යානයේ මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානයේ පළමු දෙසතිය තුළ 1A සහ 1b ඛාණ්ඩවල පුද්ගලයින්ට පමණක් මෙහිදී COVID එන්නත ලබා ගත හැකිවේ.

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට මෙම මධ්‍යස්ථානයේදී මැයි 24 වන දින සිට කොරෝනා එන්නත ලබාගත හැකි නමුත් ඒ අතර කාලයේදී තමන්ගේ පවුලේ වෛද්‍යවරයා සමග එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවගන්නා ලෙස ද උපදෙස් ලබා දී ඇත.

මෙවැනි අන්දමේ මහා පරිමාණ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන මේ වන විට වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලද ක්‍රියාත්මක වේ. 


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Greater Sydney කලාපයට දැනට පනවා ඇති කොරෝනා නීති තවත් සතියක් යනතුරු දීර්ග කෙරේ

ඊයේ දිනයේදී කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවුණද Greater Sydney කලාපයට දැනට පනවා ඇති කොරෝනා නීති තවත් සතියක් යනතුරු දීර්ග කර තිබේ.

ඒ අනුව අද අලුයම ඉවත් කිරීමට නියමිතවූ මෙම කොරෝනා නීති මැයි 17 වන දින අලුයම 12.01 දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය සතියේදී සිඩ්නි නුවර ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු නොසිතූ අයුරින් හමුවීම මත Greater Sydney කලාපයට මෙම කොරෝනා නීති පැනවීම සිදු කෙරිණි.

මේ අතර විදෙස් රටවලින් සිඩ්නි නුවරට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් හයදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ වාර්තා විය.

සිඩ්නි නුවර වැසියන් දෙදෙනා ගෙන් මුල් ආසාදිතයාට වයිරසය සම්ප්‍රේෂණය වුයේ කෙසේදැයි දැනගැනීමට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව N-S-W Health හි වෛද්‍ය Stephen Conaty පැවසීය.

IS සංවිධානයට සම්බන්ධ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙල්බර්න් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

IS ත්‍රස්ත සංවිධානයට සාමාජිකයින් බඳවා ගන්නෙකු සහ පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළා යයි පැවසෙන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු පසුගිය සෙනසුරාදා මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණි පසු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ.

30 හැවිරිදි වියෙහි පසුවන ඔහු තුර්කියෙන් පිටුවහල් කර ඇති අතර IS ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් ඔහුව එහිදී මාස 18 ක් සිරගත කරන ලදී.

අදාළ පුද්ගලයාව ඊයේ දිනයේදී මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර අනතුරුව ඔහුව මැයි 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

දින 14 ක නිරෝධයනයෙන් අනතුරුව ඔහුව සිඩ්නි නුවරට ගෙන යාමට කටයුතු කරන අතර එහිදී ඔහු සිරියාවේ සහ තුර්කියේ සිදු කළ ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා ගොනු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසර 2013 දී ඔහු සිඩ්නි නුවරින් තුර්කිය බලා පිටත්ව ගොස් තිබේ

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා ගත ලෙස යළිත් ඉහළට

කොරෝනා එන්නත් හා ඔක්සිජන් සැපයුම මන්දගාමී වීම මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් වල ගැටලු පවතින බැවින් ඇතැම් ප්‍රාන්තවල ඔක්සිජන් හිඟය සම්බන්ධයෙන් අධිකරණයටද පැමිණිලි කර තිබේ.

ඊයේ දිනයේදී ඉන්දියාව කොරෝනා ආසාදිතයින් 403,738 ක් වාර්තා කළ අතර මරණ 4,092 ක් වාර්තා කළේය.

මේ අතර ජනවාරි මාසයේ ආරම්භ කළ ඉන්දියාවේ කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය මේ වන විට මන්දගාමී වී තිබේ.

මේ වන විට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් 10% කට පමණ වන අතර එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාදී ඇත්තේ 2.5% කටත් වඩා අඩු ප්‍රතිශතයකටය.

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්නව ඉවත් කරයි

ශ්‍රී ලංකා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්නව ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා පත් කර ඇති අතර උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව සඳහන්.

එක් දින තරග 3 ක් සඳහා වන ශ්‍රී ලංකා පිළේ බංග්ලාදේශ සංචාරය ඉලක්ක කරමින් මෙම වෙනස්කම සිදුකර ඇති නමුත් මීළඟ ලෝක කුසලානය දක්වා යන ගමනේදී කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක් දින නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමට නිත්‍ය නායකයෙකු නොසිටි අවස්ථාවේ වසර 5 ක් පමණ එක් දින තරග ක්‍රීඩා නොකර සිටි දිමුත් කරුණාරත්නව ශ්‍රී ලංකා එක් දින පිළේ නායකයා ලෙස පත් කරනු ලැබුවේ 2019 වසරේදී පැවති එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමිනි.

එතැන් සිට මේ දක්වා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 16 කට නායකත්වය ලබා දී ඇති අතර ඉන් තරග 10 ක්ම ජයග්‍රහණය කර තිබේ.

මේ අතර බංග්ලාදේශ එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එම කණ්ඩායම සඳහා නම්කර නොමැති බවද වාර්තා වේ.

අනුමැතිය සඳහා යොමුකළ එම සංචිතය සඳහා නව ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වන බවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු එම සංචිතයෙන් ඉවත් කර ඇති බවත් සඳහන්.

 

 


6 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now