Highlights
- ඔස්ට්‍රේලියාවේ ලබාදෙන එන්නත් වර්ග
- කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු අවධානයක් යොමු කලයුතු කරුණු
- කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු පුද්ගලයකු සංකූලතාවයන් හඳුනාගන්නේ කෙසේද
- කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමේ තත්වයක් ඇතිවුවහොත් දක්නට ලැබෙන රෝගලක්ෂණ
ඔස්ට්‍රේලියාවේ ලබාදෙන එන්නත් වර්ග
මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් වර්ග දෙකක් ලබාදීම සිදු කරයි.
ඒවා නම්,
- AstraZeneca එන්නත
- Pfizer එන්නත
AstraZeneca එන්නත
- වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා නිර්දේශ කොට තිබේ.
- එන්නත් මාත්‍රා දෙක ලබාගැනීම අතර පරතරය සති 4 සිට මාස 3 දක්වා.
Pfizer එන්නත
- වයස අවුරුදු 50 සහ ඊට අඩු පුද්ගලයින් සඳහා නිර්දේශ කොට තිබේ.
- එන්නත් මාත්‍රා දෙක ලබාගැනීම අතර පරතරය දින 21කි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ විවධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල මෙම කොරෝනා එන්නත් ලබාදීම සඳහා වන වයස් සීමාවන්හි සුළු වෙනස්කම් පවතින බව SBS සිංහල සේවයත් සමග සාකච්චාවට එක් වූ චමීර රණතුංග වෛද්‍යතුමන් පවසයි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් හට සහ විවිධ නිදන්ගත රෝග පවතින පිරිස සඳහා වයස් සීමාවකින් තොරව කොරෝනා එන්නත ලබා දීම සිදු කෙරේ.

මෙම කොරෝනා එන්නත් ඔස්ට්‍රේලියාව තුල නොමිලයේ ලබාදීම සිදු කෙරේ. එන්නත් ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ජාතිකයකු වීමට කිසිසේත්ම අවශ්‍ය නොවන අතර සංචාරය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් හටද කොරෝනා එන්නත ලබාගත හැකි බව චමීර රණතුංග වෛද්‍යතුමන් අවධාරණය කොට සිටී.
මෙම කොරෝනා එන්නත් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශ්වසන අබාධ සඳහා වන වෛද්‍ය මධ්‍යස්ථාන හරහා ලබාගත හැකි වේ. එමෙන්ම රෝහල් මගින්ද කොරෝනා එන්නත් ලබා ගැනීමට හැකියාව පවතී.
කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා COVID-19 vaccine helpline දුරකථන මාර්ගය ඔස්සේ තමාට එන්නත ලබාගැනීමට හැකි ලඟම ස්ථානය පිළිබඳව තොරතුරු ලබාගත හැක.
කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු අවධානයක් යොමු කලයුතු කරුණු මොනවාද?
කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු එම එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාවක් ඇතිවන අතර එය දිනක් හෝ දෙකක් පැවතිය හැක.
එමෙන්ම
- උණ තත්වයක් හටගත හැක
- මාංශ පේශී රිදීමක් සිදු විය හැක.
වෙනත් එන්නත් වලට සාපේක්ෂව මෙම කොරෝනා එන්නත විවිධ ආකාරයෙන් පුද්ගලයින් හට ක්‍රියා කිරීමේ හැකියාව පවතී.

කෙසේ නමුත් මීට අමතරව යම්කිසි රෝග ලක්ෂණ දිනකට හෝ දෙකකට වඩා වැඩි කාලයක් පවතී නම් හැකි ඉක්මනින් ඔබේ පවුල් වෛද්‍යවරයා සම්බන්ධ කරගන්නා ලෙස චමීර රණතුංග වෛද්‍යතුමන් පවසයි.
කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු පුද්ගලයකු සංකූලතාවයන් හඳුනාගන්නේ කෙසේද?
මුලික වශයෙන් මාංශ පේශී රිදීමක් හෝ උණ තත්වයක් හටගැනීමේ හැකියාවක් මෙම එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් වමනය , උණ තත්වය දිගටම පැවතීම හෝ දදයක් (rash) වැනි අසාමාන්‍ය තත්වයක ශරීර ක්‍රියාකාරීත්වයක් සිදු වුවහොත් වහාම පවුල් වෛද්‍යවරයා වෙත හෝ රෝහලක් වෙත යා යුතුවේ.
කෙසේ නමුත් චමීර වෛද්‍යතුමන් SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි තත්වයක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පවතින්නේ කලාතුරකින් වන බවයි.
කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමේ තත්වයක් ඇතිවුවහොත් දක්නට ලැබෙන රෝගලක්ෂණ මොනවාද?
කොරෝනා එන්නතෙන් රුධිරය කැටිගැසීමේ තත්වය කලාතුරකින් දක්නට ලැබෙන තත්වයක් වන නමුත් බොහෝ දෙනෙක් කොරෝනා එන්නත ලබාගැනීමට පසුබට වන ප්‍රධාන කාරණයක් වශයෙන් මෙය සඳහන් කල හැක.
මෙම තත්වය AstraZeneca එන්නත ලබාදීමෙන් පසුව වාර්තා විය.
මෙම තත්වය පිළිබඳව චමීර වෛද්‍යතුමන් සඳහන් කොට සිටියේ එන්නත ලබාදුන් පුද්ගලයින් 200,000 කින් එක් පුද්ගලයකුට හෝ දෙදෙනකුට මෙවැනි තත්වයක් ඇති වන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේ මෙය ඉතා කලාතුරකින් සිදුවන්නක් වන අතර කොරෝනා එන්නත මගින් මෙමගින් ජනතාවට සහ ප්‍රජාවට වන වාසි ඊට වඩා බොහෝ සෙයින් වැඩි බවයි.

මේ අනුව, වයස අවුරුදු 50 ට වඩා වැඩි පිරිසට කොරෝනා වෛරසය වැළඳුනහොත් ඔවුන් රෝහල්ගත කිරීම් ප්‍රවණතාවය අඩු වේ.
චමීර වෛද්‍යතුමන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 50ට වැඩි පිරිස හට කොරෝනා වෛරසය මගින් පවතින නිව්මෝනියාව වැළඳීමේ අවදානම සහ ශරීර ඉන්ද්‍රියන් අඩපන වීමෙන් මරණයට පත්වීමේ අවදානම මෙම කොරෝනා එන්නත මගින් අවම කරන බවයි.
සාමාන්‍යයෙන් මෙම තත්වය AstraZeneca එන්නත මගින් පමණක් මේ වනවිට වාර්තා වීම හේතුවෙන් එම එන්නත ලබාගන්නා පුද්ගලයින් හට සති 3ක් කාලයක් දක්වා රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වෛද්‍යවරුන් පවසයි.
එම රෝග ලක්ෂණ
- නොකඩවා පවතින හිසේ කැක්කුම
- දරුණු බඩේ කැක්කුම
- පාද වල රිදීම
- ශ්වසන අබාධ
මෙවැනි තත්වයක් ඇතිවුවහොත් වහාම රෝහල වෙත හෝ පවුල් වෛද්‍යවරයා වෙත යාම අනිවාර්ය වන අතර එහිදී ගනු ලබන කඩිනම් ප්‍රතිකාර ඔස්සේ රුධිරය කැටිගැසීමේ තත්වය වැළක්විය හැකි බව චමීර රණතුංග වෛද්‍යතුමන් අවසන් වශයෙන් SBS සිංහල සේවයට පැවසීය.
** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවය සිදු සාකච්චාවට සවන් දිය හැකියි

