Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ඔත්තුකරුවන් පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි: මාර්තු 19 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 19 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Australian federal government calls for more powers to boot criminals
Australian federal government calls for more powers to boot criminals Source: Gety Images/ SBS

Highlights

  • COVID-19 එන්නත ලබා ගැනීම සඳහා වේලාව වෙන්කරවා ගැනීමට අද සිට ඔස්ට්‍රේලියාව පුරා සායන සියයකට අධික ප්‍රමාණයක්.
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය තවත් පහළට.
  • මේ වන විට ක්‍රියාත්මක වන ඔස්ට්‍රේලියාවේ  Priority Migration Skilled Occupation ලැයිස්තුව සමාලෝචනය කළ යුතු බවට නිර්දේශ.
  • පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ඔත්තුකරුවන් සොයාගෙන රටින් පිටත් කර ඇති බව හෙළිවේ.
  • විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි.
  • ශ්‍රී ලංකා අගමැති අද බංග්ලාදේශයට

COVID-19 එන්නත ලබා ගැනීම සඳහා වේලාව වෙන්කරවා ගැනීමට අද සිට (19/03) ඔස්ට්‍රේලියාව පුරා සායන සියයකට අධික ප්‍රමාණයක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අරමුදල් සපයන සායන සියයකට වඩා වැඩි ප්‍රමාණයකින් අද සිට COVID-19 එන්නත් ලබා ගැනීමට වේලාව වෙන්කරවා ගත හැකිය.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේදී පවුලේ වෛද්‍යවරුන් හා රජයේ සෞඛ්‍ය සේවා මත එල්ලවිය හැකි පීඩනය අදාළ සායන නිසා සමනය වනු ඇති බව විශ්වාස කෙරේ.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීමේ වැඩසටහනේ දෙවැනි අදියර මේ වන විට ක්‍රියාත්මක වේ.

ඒ අනුව හදිසි සේවා සේවකයින්, වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සහ වයිරසයට අවදානමක් ඇති අනෙකුත් කණ්ඩායම් හට මෙම අදියරේදී කොරෝනා එන්නත ලබාගත හැකිය.

මේ අතර ඊයේ අවසන් වූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය තවත් පහළට

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහළම මට්ටමට වැටී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

එසේවුවද කොරෝනා වසංගතයෙන් පීඩා විඳි ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි ගොඩනැගීමට තව බොහෝ දේ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය  6.3% සිට 5.8% දක්වා පහත වැටී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී ආර්ථික විද්‍යාඥයින් රැකියා 30,000 ක් වැඩිවනු ඇතැයි අපේක්ෂා කළද රැකියා 88,700 කට අධික සංඛ්‍යාවක් බිහිවූ බව වාර්තා වේ.

මේ අතර මාර්තු මස අගදී අවසන් කිරීමට නියමිත JobKeeper ආර්ථික සහනය යළි ලබාදීමේ තීරණයක් නොමැති බව ද අගමැති මොරිසන් පැවසීය.

JobKeeper වැඩසහටන තම රාජකාරිය හා වගකීම නිසි ලෙස ඉටු කළ බවත් එය ඉතා සාර්ථක වූ බවත් අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ Priority Migration Skilled Occupation ලැයිස්තුව සමාලෝචනය කළ යුතු බවට නිර්දේශ

ඔස්ට්‍රේලියාවේ skilled migration වැඩසටහන පිළිබඳ අතුරු වාර්තාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මේ වන විට ක්‍රියාත්මක වන Priority Migration Skilled Occupation ලැයිස්තුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනය කළ යුතු බව අදාළ කමිටුව නිර්දේශ කර තිබේ.

කොරෝනා වසංගතයෙන් පසුව ගොඩනැගෙන ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ශක්තියක් වනු ඇතැයි සැලකෙන ඉතා ඉක්මණින් ශ්‍රම හිඟය පියවාගැනීමට අවශ්‍ය වෘත්තීන්ද මෙම Priority Migration Skilled Occupation ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඔවුන් දන්වා තිබේ.

ඒ අනුව සිවිල් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, මැකනික්, සූපවේදීන්, carpenter, විදුලි කාර්මික, සෞඛ්‍ය රැකියා, කෘෂිකාර්මික හා නිෂ්පාදන ක්ෂේත්‍ර වල රැකියා වැනි පුළුල් පරාසයක වෘත්තීන් මෙහිදී අදාළ කමිටුව නිර්දේශ කර ඇත.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත අනාගත නිපුණතා සංක්‍රමණිකයින් උදෙසා ගුවන් ගමන් වල ආසන වෙන් කිරීම සහ නිරෝධායනය කිරීම පිළිබඳවද අදාළ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ඔත්තුකරුවන් සොයාගෙන රටින් පිටත් කර ඇති බව හෙළිවේ

පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ඔත්තුකරුවන් සොයාගෙන රටින් පිටත් කර ඇති බව ඔස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය වන ASIO ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාවට එල්ලවන හා එල්ලවිය හැකි තර්ජන පිළිබඳ ASIO ආයතනයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess  මේබව පැවසීය.

"ඉස්ලාමීය අන්තවාදය" සහ "දක්ෂිණාංශික අන්තවාදය" යන වචන ඉවත් කිරීමත් සමඟ ප්‍රචණ්ඩ අන්තවාදී තර්ජන පිළිබඳ ASIO ආයතනය සඳහන් කරන ආකාරයද වෙනස් කරන බව ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් 


විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

මේ යටතේ කොරොනා එන්නත් ලබා නොගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ හෝටල් නිරෝධායන කාලය දින 7 කට අඩුකර තිබීම විශේෂත්වයකි.

එලෙස පැමිණෙන පුද්ගලයින් පළමු දිනයේදී සහ 7 වන දිනයේදී PCR පරීක්ෂණයකට යොමු විය යුතුයි.

එම පරික්ෂණ දෙකෙන්ම එම පුද්ගලයින් කොරෝනා ආසාදනය නොමැති බව තහවුරු වුවහොත් හත්වන දිනයේදී ඔවුන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇති.

දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයේ සෙසු දින ගණන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධික්ෂණය යටතේ නිවෙස්දී නිරෝධායනය විය යුතුයි.

මේ අතර කොරෝනා එන්නත් ලබාගෙන සති දෙකකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සඳහා වෙනස් නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.

මෙහිදී එන්නත් ලබාගෙන පැමිණෙන මගීන් ගුවන් තොටුපළ වෛද්‍ය නිලධාරී වෙත එන්නත්කරණ සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු අතර එය ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් තිබේ නම්, අනුමත කළ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.

එවැනි මගීන් රජයේ බලධාරීන් මගින් නිරෝධායන හෝටල් හෝ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ඇත.

මෙම මගීන් දිවයිනට පැමිණ පැය 24 ක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය රසායනාගාරයක් මගින් PCR පරීක්ෂණයක් කළ යුතුයි.

ප්‍රතිඵල ලැබීමෙන් පසු එම පුද්ගලයින් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරේ.

සිය පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් ඔවුන් නිවෙස් වෙත යා යුතු අතර සිය නිරෝධායන කටයුතු පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කළ යුතු වේ.

මොවුන් එන්තත්කරණය අවසන් කර ඇති බැවින් තවදුරටත් නිරෝධායනය අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

ශ්‍රී ලංකා අගමැති අද බංග්ලාදේශයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19/03) බංග්ලාදේශයේ සංචාරයකට පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මේ සංචාරයේ නිරත වෙයි.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.


5 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now