ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියාවේ ජාතික නිවාඩු දිනයක් වන අතර, මෙදින ඔස්ට්‍රේලියාව පුරා බොහෝ පිරිසක් බාබකියු දමමින් සිය ගිම්හාන නිවාඩුවේ අවසාන කාලය භුක්ති විඳීම සිදු කරයි.
එමෙන්ම මෙදින ඔස්ට්‍රේලියානු පුරවැසියන් සිය ගණනක් ඔවුන්ගේ ප්‍රජා සේවය වෙනුවෙන් ජාතික ගෞරව සහිතව පිළිගනු ලැබීමත් සිදු වේ.
කෙසේ නමුත් බොහෝ ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සඳහා මෙම ජනවාරි 26 වැනිදා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගන්නා අතර, එය ඇත්තෙන්ම ඔවුනට ශෝක දිනයක් වේ.
මෙම දිනය බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත ආක්‍රමණයක ආරම්භය සනිටුහන් කරන අතර, මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ස්වද්ශික ජනතාවට පරම්පරා ගණනාවක් තිස්සේ යුද්ධය, ජන සංහාර, වර්ගවාදය සහ වෙනත් කුරිරු ක්‍රියා අත්විඳීමට සිදු වීම මීට හේතුවයි.
මෙම තත්වය මෙසේ පැවතියත් වර්තමානයේදී, ජනවාරි 26 වැනිදා දහස් ගණනක් නව සංක්‍රමණික පිරිස් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සමරයි.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට මහත් ඛේදජනක වූ දිනයක බහු සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පිරිස ඕස්ට්‍රේලියානු ධජය යටතේ එකමුතුකම සැමරීම සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.
ප්‍රජාවකට හෝ ජාතියකට අයත් වීමේ හැඟීම
2021 වසරේ පැවති ඕස්ට්‍රේලියානු සංගණනයට අනුව, උපන් ස්ථානය ප්‍රකාශ නොකළ පිරිස හැර, මිලියන හතකට අධික ජනතාවක්, එසේත් නොමැතිනම් සමස්ත ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 29.3%ක් විදේශයන්හි උපත ලබා තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි ඉතියෝපියානු ප්‍රජාවේ සාමාජිකයකු වන Assefa Bekele, ස්වදේශික ප්‍රජාව සමඟ කටයුතු කරන අතර Assefa ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ ඉතිහාසය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි.
ඔහු පවසන්නේ ප්‍රජාවකට හෝ ජාතියකට අයත් වීමේ හැඟීමක් ඇති කර ගැනීම ඉතා වැදගත් වන බවයි.
එමෙන්ම සෑම පුද්ගලයෙකුටම, සෑම පුරවැසියෙකුටම, විදේශයන්ගෙන් පැමිණි පිරිසට සහ විශේෂයෙන්ම වසර 60,000කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින්ටත්, තමන් යම් කණ්ඩායමක සාමාජිකයෙකු බවට වන හැඟීම තිබිය යුතු බවත් Assefa පවසයි.

මේ හේතුවෙන් ඉතිහාසය, සංස්කෘතිය සහ සෑම කරුණක්ම බෙදාහදා ගැනීම මෙන්ම එකමුතුකම පිළිබඳ හැඟීම සැබවින්ම වර්ධනය කිරීම යහපත් වන බවත් Assefa පෙන්වා දෙයි.
එමෙන්ම Assefa මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු දිනය සැමරීම සඳහා වන දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති අතර, දියුණු වන සහ වෙනස්වන ඔස්ට්‍රේලියාව සමග මිනිසුන්ද වෙනස්විය යුතු බවයි.
අවසානයේ අප සෑම දෙනෙකුටම අවශ්‍ය වන්නේ සාමය, සමගිය සහ එකමුතුකම පමණක් වන බවත් Assefa සඳහන් කොට සිටී.
සැමරුමකට වැරදි දිනයක්
Butchulla සහ Gubbi Gubbi ප්‍රජාවේ ගායකයකු සහ ගීත රචකයකු වන Gavin Somers පවසන්නේ ඕස්ට්‍රේලියාව සැමරීම සඳහා දිනයක් තිබීම පිළිබඳව සහ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වීමේ වැදගත්කම තමන් පිළිගන්නා නමුත් වර්තමානයේ තිබෙන ජනවාරි මස 26 වැනි දිනය සැමරුමක් සඳහා වැරදි දිනයක් වන බවයි.
ඕස්ට්‍රේලියාව සාඩම්බරයෙන් සැමරීමට හැකි දිනයක් තිබිය යුතු අතර, ස්වදේශික ප්‍රජාවට සිය මිත්‍ර පාක්ෂිකයින් සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අනෙකුත් බහු සංස්කෘතික ප්‍රජා සමග එකට එක්ව එම දිනය සැමරීමට හැකි වුවහොත් එය වැදගත් වන බවත් Gavin පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු දින සැමරුම අඛණ්ඩව ගැටලු මතුකරයි
ලාභ නොලබන, ආදිවාසී සංවිධානයක් වන KWY හි ප්‍රධාන විධායක නිලධාරී Ngarrindjeri සහ Kaurna man ප්‍රජාවේ Craig Rigney පෙන්වා දෙන්නේ, වත්මන් ඕස්ට්‍රේලියානු දිනය අඛණ්ඩව ගැටලු මතුකළ බවයි.
ඕස්ට්‍රේලියානු දිනය පිළිබඳව ස්වදේශික හැඟීම වන්නේ මෙම දිනය අපගේ ඉරණම, අපගේ අනාගතය, අපට සලකන ආකාරය සහ අප එකිනෙකාට සලකන ආකාරය තීරණය කරනු ඇති දිනයක් වශයෙන් වන බවත් Craig පවසයි.

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වල ප්‍රාදේශීය සභා, ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ උත්සව පැවැත්වීමට විරුද්ධව විවිධ පියවර ගෙන තිබේ. මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි උතුරේ Kulin ජාතියේ හි Wurundjeri Woi-Wurrung ජනයාගේ ඉඩම්වල පිහිටා තිබෙන Merri-Bek නගර සභාව ප්‍රධාන ස්ථානයක් උසුලයි.
Merri-Bek නගර සභා නගරාධිපති Angelica Panopoulos පවසන්නේ දිනය - ජනවාරි 26 යන දිනය - ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින් සියවස් ගණනාවක් පුරා මුහුණ දුන් අරගලයේ ආරම්භය සමඟ සමීපව සම්බන්ධ වී ඇති බවයි.
ඇය පෙන්වා දෙන්නේ මෙම දිනය, 1788 වසරේදී කපිතාන් Arthur Philip සහ පළමු බලඇණිය ඕස්ට්‍රේලියාවට පැමිණි දිනය වන අතර ස්වදේශිකයින්ට එරෙහිව ජන සංහාරය ආරම්භ වූ දිනය වන බවයි.
මෙමගින් ආරම්භ වූ පරම්පරාගත කම්පනය, වර්ගවාදය සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තවමත් ඕස්ට්‍රේලියාවේ පවතී. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු දිනය සැමරීම ජනවාරි 26 වැනිදා සිදු නොකරන ලෙසට ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින් පවසන විට, අප ඔවුනට සවන් දීම ඉතා වැදගත් වන බවත් Merri-Bek නගර සභා නගරාධිපති Angelica පෙන්වා දෙයි.

Craig සඳහන් කොට සිටින්නේ, ප්‍රජාවක් ලෙස සහ ජාතියක් ලෙස ඉගෙනීමට, ඉගැන්වීමට සහ සවන් දීමට අපට හොඳ අවස්ථා පවතින අතර මෙම ප්‍රජාවේ කොටසක් ලෙස එකිනෙකාට ගෞරවය කිරීමට සහ ආදරය කිරීමට සෑම අයකුම ඉගෙන ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත්, ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියානු දිනය සැමරීම ඉතා මෑතකදී එනම් 1994 වසරේ සිට සිදු වන අතර, ඕස්ට්‍රේලියානු දිනය සැමරීම වෙනස් විය යුත්තේ කුමන දිනයකටද යන්න තවමත් නිශ්චිත නොවන බවත් Craig පවසයි.

