Key Points
- Voice to Parliament මතවිමසුම සඳහා 'No' ලෙස වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ වී තිබේ
- ජනමතවිමසුම සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයම සහ නොදර්න් ටෙරිටරිය 'No' ලෙස ඡන්දය ලබාදී ඇති අතර, කළ අතර ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය "Yes" ලෙස ඡන්දය ලබාදී තිබේ
- සියලුදෙනා එක්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය Anthony Albanese ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී
ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වූ යෝජනාව ඕස්ට්‍රේලියානුවන් ප්‍රතික්ෂේප කොට තිබේ.
සෙනසුරාදා (14) පැවති මෙම ඓතිහාසික ජනමත විචාරණයේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයම සහ නොදර්න් ටෙරිටරිය 'No' ලෙස ඡන්දය ලබාදී තිබේ.
මේ අනුව සමස්තයක් ලෙස 'No' යන ඡන්ද ඉදිරියෙන් පවතී.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය පමණක් මෙම ජනමත විචාරණය සඳහා "Yes" ලෙස ඡන්දය ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese සඳහන් කොට ඇත්තේ මෙම ප්‍රතිඵලය ඔස්සේ "ඕස්ට්‍රේලියානුවන් නිර්වචනය නොකරන අතර, එමගින් බෙදීමක්ද සිදු නොකරන බවයි".
මේ හේතුවෙන් සියලුදෙනා එක්ව සංහිඳියාව ගොඩනැගීම සඳහා ගමන් කල යුතු බවත් ඔහු කියා සිටී.

Voice to Parliament මතවිමසුම සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Peter Dutton සඳහන් කොට සිටියේ රටම එක්සත්ව කටයුතු කල යුතු අතර, මෙම ජනමත විචාරණය, පැවැත්වීමට අවශ්‍ය නොවූ දෙයක් වන බවයි.
එමෙන්ම මෙම යෝජනාව සහ ක්‍රියාවලිය සැලසුම් කොට තිබිය යුත්තේ ඕස්ට්‍රේලියානුවන් එක්සත් කිරීමට මිස බෙදීමට නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටී.

Voice to Parliament ජනමත විචාරණයේ ප්‍රතිපල මත ඇතැම් ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් "සතියක" නිහැඬියාවක් අනුගමනය කිරීමට තීරණය කොට ඇති අතර, ඇතැම් ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේදී සිදුවන දේ සම්බන්ධයෙන් අවධානයකින් පසුවේ.
ස්වදේශික ඕස්ට්‍රේලියානු අමාත්‍ය සහ "Yes" ව්‍යාපාරයේ උපදේශකවරියක වශයෙන් කටයුතු කරන Linda Burney සඳහන් කොට සිටින්නේ මෙම මැතිවරණයෙන් අනතුරුව, ස්වදේශික නායකයින්ගේ අලුත් පරම්පරාවක් බිහිවනු ඇති බවට තමාට විශ්වාස බවයි.
එමෙන්ම මේ සඳහා වූ 'No' ව්‍යාපාරයේ ප්‍රචාරක Nyunggai Warren Mundine සඳහන් කොට සිටියේ, ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් තවදුරටත් සිදු කල යුතු දේ ඇති බවට මෙම ප්‍රතිඵලයෙන් ඕස්ට්‍රේලියානුවන් පෙන්නුම් කොට ඇති බවයි.
ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ස්වදේශික ප්‍රජා තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, බලහත්කාර පාලනය සහ විනාශකාරී හැසිරීම් සම්බන්ධයෙන් ඇතැම් පිරිස නොසලකා හැරීම නැවැත්වියයුතු බවද Nyunggai Warren Mundine කියා සිටී.
SBS ජාලය හරහා Indigenous Voice to Parliament 2023 ජනමත විචාරණය පිළිබඳව දැනුවත්ව සිටින්න.
NITV හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ ඉදිරිදර්ශන පිළිබඳව දැනුවත්ව සිටින්න.
SBS Voice Referendum portal හරහා භාෂා 60කට අධික ප්‍රමාණයකින් ලිපි, වීඩියෝ සහ පොඩ්කාස්ට් වෙත පිවිසෙන්න.
Voice to Parliament පිළිබඳව සිංහල භාෂාවෙන් වන ලිපි, වීඩියෝ සහ පොඩ්කාස්ට් වෙත පිවිසෙන්න
SBS On Demand හි Voice Referendum ඔස්සේ මේ පිළිබඳව වන නවතම පුවත්, විශ්ලේෂණ සහ විනෝදාස්වාද වැඩසටහන් වෙත පිවිසෙන්න.


