ඔස්ට්‍රේලියානු ජන සංගණනය ඔස්ට්‍රේලියාව තුල සෑම වසර පහකටම වරක් ක්‍රියාත්මක වේ.
මුලික වශයෙන් ඔස්ට්‍රේලියාව තුල ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් සහ ව්‍යාපාර පිළිබඳ වැදගත් තීරණ ගැනීමට සහ එම ක්ෂේස්ත්‍රයන්හි ඉදිරි කටයුතු සඳහා මධ්‍යම රජයේ දායකත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමට මෙම දත්ත ලබාගැනීම සිදු කරයි.
මෙම සංගණන දත්ත, ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන පුද්ගලයන්, පවුල් සහ ප්‍රජා සඳහා සේවාවන් සැලසුම් කිරීමටද දැඩි ලෙස උපකාරී වේ.
ඔස්ට්‍රේලියානු ජන සංගණනය සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන්, තාවකාලික වීසා ලාභීන් සහ සංචාරක වීසා මත සිටින පිරිස හටද සහභාගී විය හැක. නමුත් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය සඳහා සම්බන්ධ වන ශ්‍රී ලංකික සිංහල පිරිස ඒ සඳහා පිළිතුරු ලබාදීමේදී, බොහෝ කලක් තිස්සේ යම් අතපසුකිරීමක් සිදු කරන බව SBS සිංහල සේවයට අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය වික්ටෝරියා , නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්තයන්හි ශ්‍රී ලංකික සිංහල ප්‍රජාව සම්බන්ධ කරගැනීමට කටයුතු කලා.
Highlights
- ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය යනු කුමක්ද?
- ජන සංගණනයේදී නිවසේදී සිංහල කතා කරන බවට දැක්වීමෙන් අත්වන ප්‍රතිලාබ මොනවද?
- නිවසේදී සිංහල කතා කරන බවට දැක්වීමෙන් අත්වන ප්‍රතිලාබ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලාංකික සිංහල ප්‍රජාව දැනුවත්ද?
- නිවසේදී සිංහල කතා කරන ඔබ සංගණනයේදී එය සඳහන් කලයුත්තේ අයි?
- ඔස්ට්‍රේලියානු ජන සංගණනය තාවකාලික වීසා හිමියන් හට ඔවුන්ගේ අනාගතයට කෙතරම් වැදගත් ද?
ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාවේ 2021 ජන සංගණනය මෙම වසරේ අගෝස්තු මස 10 වැනිදාට යෙදී තිබේ.
SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංසදයේ මහජන සම්බන්ධතා නිලධාරී කරුණාසේන කහටපිටිය මහතා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ප්‍රජා කණ්ඩායම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ඕස්ට්‍රේලියානු රජයට මෙම සංගණන දත්ත බෙහෙවින් උපයෝගී වන බව.

මෙම ජන සංගණනයේදී නිවසේදී "සිංහල" භාෂාව කතා කරන බවට එම පත්‍රිකාවේ එන ගැටලුවට පිළිතුරු සැපයීම ඔස්සේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ප්‍රජාව පිළිබඳව වන නිසි දත්ත රජයට ලැබීම සිදු වේ.
මෙලෙස සඳහන් කිරීම ඔස්සේ කිසිදු පුද්ගලයකුට කිසිදු පාඩුවක් හෝ ගැටළුවක් සිදු නොවේ.
"ඇත්ත වශයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින සිංහල පිරිස ජන කණ්ඩායමක් ලෙස ඕස්ට්‍රේලියානු රජය ගණන් ගැනීමට නම් ඔවුන් ගෙදරදී කතා කරන භාෂාව සිංහල ලෙස සඳහන් කරන්න ඕනේ. එක ඇත්තෙන්ම ඕනෑම අයෙක්ට බොහොම ලේසියෙන් කල හැකි දෙයක්. ඒ වගේම ඒ ආකාරයට සඳහන් කිරීමෙන් කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ නමුත් එමගින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවට සිදු වන්නේ අමිල සේවයක්."
සමස්ත ඔස්ට්‍රේලියාව තුලම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය (උසස් පෙළ) සඳහා "සිංහල" භාෂාව විෂයක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ විෂය නිර්දේශ මාලාවට ඇතුලත් කිරීමටද මෙම සංගණන දත්ත දැඩි ලෙස උපකාරී වේ.
ඔස්ට්‍රේලියාවේ ජන සංගණනයේදී නිවසේදී සිංහල කතා කරන බවට දැක්වීමෙන් අත්වන ප්‍රතිලාබ මොනවද?
මේ සම්බන්ධයෙන් අදහස් පැවසීමට SBS සිංහල සේවය සමග සම්බන්ධ වුයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංසදයේ අධ්‍යාපනය පිළිබඳව වන උප සභාපතිනිය වන නදී මීමැඩුම මහත්මිය.

මෙම සංගණන පත්‍රිකාවේ එන ගැටලුව සඳහා "සිංහල" යෙදීම මගින් ඔස්ට්‍රේලියාව වැනි වූ බහු වාර්ගික රටක් තුල අපගේ මව් භාෂාව වන සිංහල භාෂාව සඳහා වැදගත් ස්ථානයක් හිමි වන බව ඇය පවසයි.
එමෙන්ම ඔස්ට්‍රේලියානු වාසී සිංහල ප්‍රජාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයෙන් වෙන් කෙරෙන ආධාර අරමුදල් ඉහල මට්ටමකට ගෙන ඒමටදට මෙය බෙහෙවින් බලපායි.
2016 වසරේ සිදු කල ඕස්ට්‍රේලියානු ජන සංගණනය වර්තාවන්ට අනුව ඔස්ට්‍රේලියාව තුල සිංහල භාෂාව භාවිත කරන පිරිස 64,600 ක් පමණ ලෙස සටහන්ව තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුල සිංහල භාෂාව 20 වැනි ස්ථානයේ පවතින බව නදී මහත්මිය විශේෂයෙන් පෙන්වා දෙයි.
"2016 ජන සංගණනයට අනුව ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිස වශයෙන් සටහන් වෙලා තිබෙන්නේ පුද්ගලයින් 64,613 ක පමණ පිරිසක් ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාවට හිමි වන්නේ 20 වැනි ස්ථානය. 2016 දත්ත වලට අනුව ඕස්ට්‍රේලියාවේ පළමු ස්ථානය Mandarin භාෂාවටත්, දෙවන ස්ථානය අරාබි භාෂාවටත් හිමිව තිබෙනවා. ඒ වගේම දමිළ භාෂාව ඕස්ට්‍රේලියාවේ පවතින්නේ 14 වන ස්ථානයේ."
එමෙන්ම ජන සංගණනය මගින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා ලාභීන් හට විවිධ පහසුකම් ලබාදීමේදී මෙම සංගණන දත්ත ඕස්ට්‍රේලියානු මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් ප්‍රයෝජනයට ගනී.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සෑම සිංහල ප්‍රජා සාමාජිකයකුම මෙවර සංගණනයේදී නිවසේ කතා කරන භාෂාව "සිංහල" වශයෙන් යොදා, මව් භාෂාවට සහ ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රජාවට කලහැකි යුතුකම ඉටු කරන ලෙස නදී මහත්මිය ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියාවේ ජන සංගණනයේදී නිවසේදී සිංහල කතා කරන බවට දැක්වීමෙන් අත්වන ප්‍රතිලාබ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලාංකික සිංහල ප්‍රජාව දැනුවත්ද?
SBS සිංහල සේවය මීළඟට සම්බන්ධ කරගත්තේ දකුණු ඕස්ට්‍රේලියාවේ සමාජ ක්‍රියාකාරිනියක වන චේතිකා පෙරේරා මහත්මිය.

මෙම ජනසංගණනය සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවට පැවතුනද ඒ පිළිබඳව ගැඹුරු දැනුමක් නොපවතින පිරිසක්ද ඔස්ට්‍රේලියානු සිංහල ප්‍රජාව තුල සිටී.

සංගණනය මගින් ලැබෙන තොරතුරු මත ඕස්ට්‍රේලියානු රජය විවිධ ආගමික ස්ථාන සහ සේවා සඳහා ලබාදෙන ප්‍රතිපාදන මට්ටම රඳා පවතින බව බව ඇය පෙන්වා දෙයි.
"උදාහරණයක් වශයෙන් පන්සල් සැදීමේදී දායකයින්ගෙන් වගේම ඔස්ට්‍රේලියානු රජයෙනුත් උපකාර ලැබෙනවා. ඉතින් ජන සංගණනයේදී ඕස්ට්‍රේලියානු රජයට සත්‍ය තොරතුරු අඩුවකින් තොරව ලැබුනොත් එමගින් ඒ ආගමික ස්ථාන වලට ඉදිරි වසර වලදී ලැබෙන මුදල් ප්‍රතිපාදන ලබාදීම ගැන සලකා බැලීමක් සිද්ධ වෙනවා. බෞද්ධ විතරක් නෙමෙයි හැම ආගමකටම මේ තත්වය බලපානවා."
නිවසේදී සිංහල කතා කරන ඔබ සංගණනයේදී එය සඳහන් කලයුත්තේ අයි?
මීළඟට SBS සිංහල සේවයත් සමග කතා බහට එක්වුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සමාජ ක්‍රියාකරුවකු වන ලයනල් බෝපගේ මහතා.

ඔහු පවසන පරිදි ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් සිංහල පිරිසක් ජනසංගණනයේදී නිවසේදී සිංහල කතා කරන බවට සඳහන් කිරීමට පසුබට වේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික සිංහල ප්‍රජාව ඇතැම් විට යම් සංස්කෘතික කම්පනයකට මුහුණ දීම සිදු වේ.
බොහෝ විට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකික පිරිස නිවසේදී, වෙනත් ලංකික පුද්ගලයින් සමග සහ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක වෙසෙන ඥාතීන් සමග සිංහල භාෂාවෙන් කතා කිරීම සිදු කරන බව බෝපගේ මහතා පෙන්වා දෙයි.
"අපි ඔස්ට්‍රේලියාවට එද්දී සංස්කෘතික කම්පනයකට ලක් වෙනවා ඒ වගේම අපිට ඕස්ට්‍රේලියානු සංස්කෘතිය එක්ක කටයුතු කරන්නත් සිද්ධ වෙනවා. මේ නිසා සිංහල පිරිස අලුත් සංස්කෘතික ප්‍රවේශයකට පිවිසුනත් අපේ සංස්කෘතිය අත් නොහැර බොහෝ වෙලාවට ගෙදරදී වගේම ශ්‍රී ලංකාවේ නෑදෑයෝ එක්කත් කතා කරන්නේ සිංහලෙන්."
මේ හේතුවෙන් නිවසේදී සිංහල කතා කරන බවට දැක්වීමෙන් ඕස්ට්‍රේලියානු සිංහල ප්‍රජාවේ සංස්කෘතික සම්බන්ධතා රැකගැනීමට පමණක් නොව ඒවා වැඩිදියුනු කරගැනීමටද හැකියාව හිමි වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
Radio - 93.1fm, 97.7fm, 105.5fm
On TV - Channel 38
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු ජන සංගණනය තාවකාලික වීසා හිමියන් හට ඔවුන්ගේ අනාගතයට කෙතරම් වැදගත් ද?
මීළඟට SBS සිංහල සේවය අවධානයක් යොමු කලේ ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන් හට සංගණනය බලපාන අකාරය සම්බන්ධයෙන්.
මේ සඳහා SBS සිංහල සේවය සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් වුයේ තාවකාලික වීසා ලාභියකු වන අසංක ප්‍රදීප්.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා ලාභීන් අතර සංගණනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් හෝ අවබෝධයක් නොමැති බව ඔහු පවසයි.
ජන සංගණනය පිළිබඳව සහ එමගින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා හිමි සිංහල ප්‍රජාවට ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව තොරතුරු තාවකාලික හිමියන් හට නිසි ගලා යාමක් සිදු නොවේ.
තමන්ට මීට පෙර සංගණනය පිළිබඳව වැඩි අවබෝධයක් නොතිබි අතර මාධ්‍ය පරිහරණය කිරීම ඔස්සේ මේ සම්බන්ධයෙන් යම් දැනීමක් තමන්ට හිමි වූ බව අසංක පෙන්වා දෙයි.
"ඇත්තටම කිව්වොත් අපි ඔස්ට්‍රේලියාවට අවට පස්සේ ඉගෙනීම් කටයුතුයි රැකියාවයි කරද්දී මේ ගැන ලොකු අවධානයක් යොමු වෙන්නේ නැහැ. මම මේ ගැන හොයන්න ගත්තේ අන්තර්ජාලයේ දැකල, එතකොට තමයි මට තේරුනේ මේ සංගණනය මගින් විශේෂයෙන්ම ගෙදරදී කතා කරන භාෂාව සිංහල ලෙස යෙදීමෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ස්ථිර පදිංචිකරුවන්ට වගේම තාවකාලික වීසා හිමි පිරිසටත් අනාගතයේදී වරප්‍රසාද ලැබිය හැකි බව."
මේ අනුව ඔස්ට්‍රේලියානු ජන සංගණනය සඳහා නිවසේදී "සිංහල" භාෂාව භාවිත කරන බවට සඳහන් නොකිරීම ඔස්සේ, ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ප්‍රජා සාමාජිකයින් සංක්‍යාව අඩු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් වෙත තොරතුරු යාම සිදු වේ.
එසේ වුවහොත්, සිංහල ප්‍රජාව වෙනුවෙන් ඉදිරියේදී රජයෙන් ලැබීමට නියමිත ප්‍රතිපාදන සහ පහසුකම් අඩුවීම නිරායාසයෙන්ම සිදු වේ.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහලවෙබ්අඩවියෙන් www.sbs.com.au/sinhalese
- SBS Radio APP එකෙන් (Free download)

