බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේදී ලංකාවේ ඉරණම පෙරළුණු හැටි. (SBS සිංහල/වාර්තා)

Independence Day Sri LAnka

Source: lankapura

බ්‍රිතාන්‍යයන් ගේ ආක්‍රමණය

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ප්‍රධානතම ආක්‍රමණ තුනකට මුහුණ දුන් අතර ඒවා පිළිවෙලින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන් වේ.

1505 වසරේදී ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පිරිසක් නැව් මගින් ගාලු වරායට සේන්දු වීමත් සමඟ පෘතුගීසි ආක්‍රමණයේ ආරම්භය සිදු විය.

ඉන් අනතුරුව වසර 1602 දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටි මඩකලපුව වරාය වෙත ගොඩ බට අද්මිරාල් ජොරිස්‌වෑන් ස්‌පිල්බර්ග්ගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ ලන්දේසි ආගමනය ආරම්භ වෙයි.

1638 වසරේදී ලන්දේසීන් විසින් පෘතුගීසි බලකොටුවක්‌ යටත් කර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ ලන්දේසි ආක්‍රමණ ආරම්භ විය.

වසර 158 ක ලන්දේසි පාලනයට තිත තබමින් ඉංග්‍රීසින්ගේ ආක්‍රමණය වසර 1796  දී සිදුවූ අතර 1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී උඩරට රදළවරුන් සහ ඉංග්‍රීසින් අතර අත්සන් තැබූ කන්ද උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ පාලන බලය නිල වශයෙන් ඉංග්‍රීසින්ට හිමි විය.
Independence Day Sri LAnka
ක්‍රිස්තු වර්ෂ 1815 දී සැඟ වී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ව බෝමුරේදී සිරභාරයට ගැනීම Source: Wikimedia

කන්ද උඩරට ගිවිසුම

1815 මාර්තු 02 වන දිනයේ උඩරට ගිවිසුමේ වගන්ති කියවීම පමණක්‌ සිදුවූ බවත් 1815 මාර්තු මස 10 වන දින දී කන්ද උඩරට ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබූ බවටත් මතයක් පවතී.

උඩරට ගිවිසුම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් අත්සන් තැබූ අතර ගිවිසුමේ අනෙක් පාර්ශවය වූ සිංහල ජනතාව වෙනුවෙන් ඇහැළේපොළ නිලමේ හා පළමු අධිකාරම්, හත් කෝරලේ දිසාවේ මොල්ලිගොඩ හා දෙවැනි අධිකාරම්, සබරගමුව දිසාවේ පිළිමතලව්වේ, හතර කෝරලේ දිසාවේ පිළිමතලව්වේ, ඌවේ දිසාවේ මොනරවිල, වලපනේ දිසාවේ දූල්ලෑවේ, වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාවේ වූ මිල්ලෑව, තමන්කඩ දිසාවේ ගලගම සහ නුවර කලාවියේ දිසාවේ වූ ගලගොඩ යන රදළයන් අත්සන් තැබූ බව ඉතිහාසය පවසයි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් එම උඩරට ගිවිසුම සකස් කර තිබු අතර ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක වූ ජෝන් ඩොයිලි සහ බ්‍රිතාන්‍ය රජයේ උප ලේකම් වූ ජේම්ස් සදර්ලන්ඩ් අත්සන් තබා ඇත.
Kandy Convention
උඩරට ගිවිසුමේ අත්සන් පත්‍රය. Source: Wikimedia
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග්ගේ අධික්ෂණය යටතේ ජෝන් ඩොයිලි විසින් වගන්ති දොළහකින් යුතු උඩරට ගිවිසුම කෙටුම්පත් කරනු ලැබුවේ ඉංග්‍රීසි සහ සිංහල වගන්ති එකිනෙකට සමාන්තර ව පිහිටන ආකාරයට බව පැවසේ.

එසේ ම ගිවිසුමේ සිංහල වගන්තිවල කන්ද උඩරට රාජධානිය හැඳින්වීම සඳහා ‘සිංහලේ’ යන වදන යොදාගෙන තිබුණි.

කන්ද උඩරට ගිවිසුම ප්‍රධාන වගන්ති 12 කින් සමන්විත විය.

ඒවා නම්,

 

  1. මලබාර් රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහට කන්ද උඩරට රාජධානියේ කිරුළ සම්බන්ධයෙන් පැවති සියලු ම හිමිකම් අහෝසි කිරීම.
  2. රජතුමාගේ රාජ්‍ය කාලය සහ කන්ද උඩරට පාරම්පරික හිමිකම ද සිංහලේ ආණ්ඩුවක් පිහිටු වීමට දෙමළ ජාතිකයන්ට පැවති සියලු ම අයිතිවාසිකම් ද අහෝසි කළ බව ප්‍රකාශ කිරීම.
  3. රජතුමාගේ සියලු ම පුරුෂ ඥාතීන් රටින් පිටුවහල් කිරීම සහ යළි පැමිණීම තහනම් කිරීම.
  4. සිංහලේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත් බව ප්‍රකාශ කිරීම සහ සිංහල නීති ක්‍රමය දිගට ම පවත්වාගෙන යාම සඳහා උඩරට අධිකාරම්වරුන්ට, දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට, කෝරාලේවරුන්ට සහ විදානේලාට බලය පිරි නැමීම.
  5. බුදු දහම, සංඝයා වහන්සේ, විහාරස්ථාන සහ දේවාල ආරක්ෂා කිරීමට සහ නිසි ලෙස නඩත්තු කිරීමට පොරොන්දු වීම.
  6. සෑම ආකාරයේ ම ශාරීරික වද හිංසාවන් සහ අවයව කැපීමේ දඬුවම් අහෝසි කිරීම.
  7. මරණ දඬුවම නියම කිරීම සඳහා අවශ්‍ය බලතල ආණ්ඩුකාරවරයා වෙත ලබා දීම සහ මරණ දඬුවම ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිට දී සිදු කළ යුතු බව ප්‍රකාශ කිරීම.
  8. කන්ද උඩරට රාජධානිය තුළ සිදු වන සෑම සිවිල් සහ අපරාධ ක්‍රියාවක් ම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ දී එය පවතින උඩරට නීති ක්‍රම යටතේ සිදු කළ යුතු බව තහවුරු කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී පමණක් බ්‍රිතාන්‍ය නීතිය හඳුන්වා දෙන බවට පොරොන්දු වීම.
  9. කන්ද උඩරට නොවන අනෙකුත් ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්වෙන බව ප්‍රකාශ කිරීම.
  10. එවකට තුන් කෝරලේ, හතර කෝරලේ සහ සබරගමුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද දැන්වීම් පත්‍ර සියල්ලක් ම අහෝසි කිරීම.
  11. ජනතාවගෙන් රැස් කරන බදු සහ අනෙකුත් ආදායම් සියල්ල ම බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් වෙන් කරන බව ප්‍රකාශ කිරීම.
  12. වෙළඳාම් කටයුතු සහ අනෙකුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට බලය ලබා දීම.
 

මෙම ගිවිසුමේ ඇහැලේපොල මහ නිලමේගේ අත්සන ඔහුගේ පුරුදු අත්සනට වඩා හාත්පසින් වෙනස්‌ බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ විද්වත්හු පවසති.

Kandy Convention
උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය කිරීටය විසින් පත් කළ රදලයින් Source: Wikipedia

බ්‍රිතාන්‍ය සමයේ නිදහස් අරගල

වෙල්ලස්ස කැරැල්ල (1818)

1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු උඩරට ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් ශ්‍රී ලංකාවේ  සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය.

ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදුසසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය.

මේ තත්ත්වය සිංහලයින්ට ඉවසාගෙන සිටීමට නොහැකි විය.

මේ අතරතුරේ දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූයේය.

බූටෑවේ රටේ රාල ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ.

මෙම සිංහල පිබිදීම ට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන්ගේ හී පහරකින් මරුමුවට පත්වීමත් සමග වෙල්ලස්සේ සටන ආරම්භ විය.

ඉන් අනතුරුව මෙම සටන මැඩ පැවැත්වීමට ඉංග්‍රීසින් විසින් මොණරවිල කැප්පෙටිපොල දිසාවේ එවීය.
Independence Day Sri LAnka
Monrawila Keppetipola Source: Daily News
නමුත් බූටෑවේ රටේ රාල ගේ කරුණු පැහැදිලි කිරීම් මත කැප්පෙටිපොල දිසාවේ තමන් සමග පැමිණි ඉංග්‍රීසි හමුදාව යළි හරවා යවා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී සිංහලයින් සමග එක විය.

සටන බරපතල ලෙස සිදුවන විට ඉංග්‍රීසින් සාමාන්‍ය අහිංසක වැසියන් ඝාතනය කරමින් සිංහල ගම් බිම් විනාශ කරන්නට විය.

දිනෙන් දින ඉංග්‍රීසින්ගේ වියරු ක්‍රියා හේතුවෙන් සිංහල ජනයා විඳින මරණීය ඉරණම නිසා සිංහල හමුදාවන් සටන් ලිහිල් කළේය.

මේ අතර කැප්පෙටිපොල හා පිළිමතලාවේ යන දිසාවරුන් 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය.

1818 නොවැම්බර් 2වන දින බෝගම්බර පිටියේදී ඉංග්‍රීසින්ට විරුද්ධව ප්‍රථම කැරැල්ලේ අභීත නායකත්වය ඉසිලූ වීර කැප්පෙට්ටි පොළ දිසාවේ ගේ හිස ගසා දැමිණි.
Independence Day Sri LAnka
1818 වෙල්ලස්ස කැරැල්ලට මූලිකත්වය දුන් කැප්පෙටිපොල ඇතුළු සිංහල නායකයින්ට මරණ දඬුවම පැමිණවීම Source: Daily News

මාතලේ සටන (1848)

වෙල්ලස්ස කැරැල්ලෙන් වසර 30 කට පසුව මාතලේ සටන ඇරඹිණි.

1848 වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි ටොරිංටන් සාමිවරයා ශ්‍රී ලංකා ජනතාවට අධික ලෙස බදු පැනවූයේය.

නිවසේ විසූ සුනඛයිනට පවා බදු ගසන්නට වූ “බලු බද්ද” ටොරිංටන් සාමිවරයා විසින් හඳුන්වා දුන්නේය.

මේ අතර මෙම පීඩනය ඉවසා ගත නොහැකිව 1848 ජුනි මස 6වැනි දින මහ නුවරට රැස් වූ 4000ක පමණ පිරිසකගේ පෙත්සමක් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත යැවීය.

නමුත් ඉංග්‍රීසින් එය තඹ සතයකට හෝ මායිම් නොකළ හෙයින් සිංහල ලේ යළිත් කකියන්නට විය.

හෙළයින් තවත් කැරැල්ලකට එක් වන්නට විය.

කුරුණෑගල අරගලයට හගුරංකෙත ඩිංගිරාල කෝරාළාත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩාත් නායකත්වය දුන්හ.

ඒ අතරතුර පුරන් අප්පුද මාතලේ අරගලයට එක් විය.
Independence Day Sri LAnka
Source: Dinamina
දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල ප්‍රදේශ තුළ දරුණු සටන් ඇති විය.

ඉංග්‍රීසි හමුදාවෝ දහස් ගාණනක් මැරුම් කෑ අතර  මුඩුබිම් පනත ගිනි තැබුවේය.

මේ අතර සිංහල සටන්කරුවන් විසින් කුරුණෑගල සිර ගෙයද බිඳින ලදී.

අවසානයේ ටොරිංටන් සාමිවරයා යුධ නීතිය ක්‍රියාත්මක කළේය.

නැවත වතාවක් ඉංග්‍රීසි හමුදාවෝ යුධ නීති උල්ලංඝනය කරමින් සිවිල් වැසියන් ඝාතනය කරන්නට විය.

මාතලේ කැරැල්ලට උපකාර කළ කුඩාපොල හිමියන් 1848 අගෝස්තු 26වැනි දින මහ නුවර දළදා මාළිගාව ඉදිරිපිටදී ඉංග්‍රීසින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

1848 අගෝස්තු 29වැනි දින පුරන් අප්පු වීරයා ද ඩිංගිරාළ වීරයා ද වෙඩි තබා ඝාතනය කරමින් මාතලේ සටන ම්ලේච්ඡත්වයෙන් නවත්වන්නට ටොරිංටන් සාමි කටයුතු කළේය.
Independence Day Sri LAnka
Source: Prasanna Weerakkodi

ආණ්ඩු ක‍්‍රම

කෝල්බෲක් ආණ්ඩු ක‍්‍රමය - 1833

1833 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ අනුව රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය.

කෝපි වගාවට අවශ්‍ය සාරවත් ඉඩම් හා පරිසරය උඩරට ප්‍රදේශවල පැවති හෙයින් රජයේ ඉඩම් ප්‍රතිපත්තිය එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට පීඩාකාරී විය.

1840 වර්ෂයේ පනවන ලද මුඩු ඉඩම් පනත අනුව වසර තිහක් නොකඩවා භූක්ති විඳි බවට පිළිගත හැකි, සාක්කි ඉදිරිපත් කළ නොහැකි වූ වගා නොකළ ඉඩම් රාජ සන්තක කෙරිණ.

උඩරට වැසියන් පාරම්පරිකව භූක්ති විඳි බොහෝ ඉඩම්වල අයිතිය පෙන්වීමට නීත්‍යනුකූල ලියවිලි නොතිබුණි.

මේ නිසා ඔවුන්ගේ හේන් ඉඩම් ආදිය විශාල වශයෙන් රාජ සන්තක විය.

රජය මෙම ඉඩම් ඉතා අඩු මුදලකට විදේශිකයන්ට ලබා දුන්නේය.

ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය - 1931

ඩොනමෝර් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු ඩොනමෝර් කොමිසම 1931 සිට ක‍්‍රියාත්මක විය.

එය ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය ලෙස හැඳින්වේ.

මෙතෙක් පැවති විවිධ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ අතර ලාංකිකයන්ට සැලකිය යුතු දේශපාලන වගකීමක් පැවරූ ප‍්‍රතිසංස්කරණයක් ලෙස ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය සඳහන් වේ.

මෙය නිදහස දිනා ගැනීමට ගමන් කළ මාවතේ වැදගත් සංධිස්ථානයක් ලෙස ද සැලකේ.

සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය - 1944

ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා බලා ඇමති මණ්ඩලයේ ව්‍යවස්ථා කෙටුම්පත ද සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක‍්‍රමයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට වර්ෂ 1944 දී සෝල්බරි කොමිසම පත් කෙරිණි.

1945 දී සෝල්බරි කොමිසමේ වාර්තාව ප‍්‍රකාශයට පත් වූ අතර පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයන් එමගින් යෝජනා කර තිබුණි.

1945 නොවැම්බර් මස දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාව විසින් සෝල්බරි ආණ්ඩුක‍්‍රමය අනුමත කළේය.
Independence Day Sri LAnka
Source: Wikimedia

ආර්ථිකයේ වෙනස

පෘතුගීසීන් මුහුදුබඩ ප‍්‍රදේශවල බලය ගොඩනගාගෙන සිටි කාලයේ වෙළෙඳාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා ඔවුන් යටතේ පැවති ප‍්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු තරමක් අඩපණ විය.

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ලන්දේසි බලය පැවති සමයේ ලන්දේසීහු අපනයනය ඉලක්ක කරගෙන, කුරුඳු, ගම්මිරිස් ආදිය වගා කිරීමේ ක‍්‍රමයක් අනුගමනය කළහ. 

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා විට සාම්ප‍්‍රදායික

සමාජ ආර්ථික ක‍්‍රමය ඇසුරෙන් ගොඩනැගුණු සමාජ ක‍්‍රමයක් ශ්‍රී ලංකාවේ පැවතුණි.

එම සමාජය තුළ ප‍්‍රභූ පන්තියක් සිටි අතර එම පිරිස රටේ ජනගහනයෙන් ඉතා සුඵ පිරිසකි.

ප‍්‍රභූ පන්තිය බොහෝ විට රටේ පරිපාලන කටයුතු මෙහෙයවූ අතර සාමන්‍යය ජනතාව කෘෂිකර්මාන්තය මත යැපුණි. 

කෝල්බෲක් ශ්‍රී ලංකාවට පැමිණෙන විට පැවති ආර්ථික ක‍්‍රමය අනුව කුරුඳු හා ලූණු

 
වෙළෙඳාම රජයේ ඒකාධිකාරයක් වශයෙන් පැවතුණි. නමුත් කුරුඳු හා ලූණු ඒකාධිකාරය අහෝසි කොට පෞද්ගලික අංශයටත් එම ක්ෂේත‍්‍රවල ව්‍යාපාරික කටයුතුවලට යෙදීමට ඉඩ සැලසීමට කෝල්බෲක් විසින් යෝජනා කළේය.

එකල රජයේ ආදායම් මාර්ග වූ මාඵ බද්ද, ඉඩම් බද්ද, මත්පැන් බද්ද ආදිය සෘජු වශයෙන් අය කළ බදු වර්ග විය.
Independence Day Sri LAnka
Source: Wikimedia

කෝපි වගාව

ලන්දේසීන්ගේ පාලන කාලයේ දී මුහුදුබඩ ප‍්‍රදේශ කිහිපයක සුළු වශයෙන් කෝපි වැවීම ආරම්භ වුවද එකල කුරුඳු වගාවට ප‍්‍රමුඛත්වය ලැබුණු නිසා කෝපි වගාව දියුණු නොවීය. 

ඉංග‍්‍රීසීන් උඩරටට පැමිණෙන විට ස්ථාන කිහිපයක ගෙවතු වගාවක් ලෙස කෝපි වවා තිබුණි. 

කෝපි වගාව වතු වගාවක් ලෙස දියුණු වූයේ බි‍්‍රිතාන්‍ය පාලන සමයේ දී ය. 

ශ්‍රී ලංකාවේ කෝපි වගාව පරිහානියට පත් වෙමින් පැවති සමයේ ඇතැම් වගා කරුවෝ

සිංකෝනා වගාවට හා කොකෝවා වගාවට යොමු වූහ.

එහෙත් සිංකෝනා වගාව සාර්ථක නො වී ය.
Independence Day Sri LAnka
Source: Wikimedia

තේ වගාව

ලෝක වෙළෙඳපොළේ කෝපි මිල වරින්වර ඉහළ පහළ යාම නිසා උඩරට ප‍්‍රදේශවල වගාවට සුදුසු වෙනත් බෝග පිළිබඳව ද අත්හදාබැලීම් සිදු කෙරුණි. 

ඒ අනුව 1867 වර්ෂයේ දී වැවිලිකරුවන්ගේ සංගමය වතුකරුවන් පිරිසක් ඇසෑමයට යවා තේ වගාව ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට එවකට පාලනය කටයුතු කළේය.

මේ අතර ජේම්ස් ටේලර් ලූල්කඳුර වත්තේ  අක්කර කිහිපයක තේ වගා කරමින් තවත්

අත්හදාබැලීමක් සිදු කළේ ය.

එය සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් හෙයින් කෝපි වගාව අතහැර බොහෝ දෙනෙකු තේ වගාවට යොමු විය.
Independence Day Sri LAnka
Source: Wikimedia

රබර් වගාව

1877 වර්ෂය පමණ වන විට රබර් ගස ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූවත් එම කාලයේ වැවිලිකරුවන් තේ වගාවට යොමු වීම නිසා රබර් වගාව වේගයෙන් ව්‍යාප්ත නොවී ය.

1948 වසරේ නිදහස ලැබීම සහ නිදහසේ මං සලකුණු පිළිබඳ ඊලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Share

9 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service