ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ Bob Hawke මහතා ඊයේ (16/05) අභාවප්‍රාප්ත විය.
ඔස්ට්‍රේලියාවේ 23 වන අගමැතිවරයා ලෙස ඉතිහාසගත වී ඇති මොහු ඔස්ට්‍රේලියානු දේශපාලනයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයකටම මුලපිරූ චරිතයකි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS සිංහල වැඩසටහනෙන් ඔහුට උපහාරයක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ 23 වන අගමැතිවරයා
1929 දෙසැම්බර් 9 වන දින උපත ලැබූ Bob Hawke ගේ උපන් නාමය සටහන් වී ඇත්තේ Robert James Lee Hawke ලෙසය.
ඔස්ට්‍රේලියාවේ 23 වන අගමැතිවරයා ලෙස 1983 සිට 1991 දක්වා ඔහු කටයුතු කළ අතර කම්කරු පක්ෂය නියෝජනය කරමින් දීර්ගතම කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙස ද මොහු ඉතිහාසගත වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ Wills මැතිවරණ බලප්‍රදේශය ඔහුගේ මැතිවරණ භූමිය වූ අතර 1980 සිට 1992 දක්වා ම ඔහු එය ජයග්‍රාහීව නියෝජනය කළේය.
මේ වන විටත් Wills ආසනය පවතින්නේ කම්කරු පක්ෂයේ ප්‍රබලම මැතිවරණ ආසනයක් ලෙසිනි.
පුද්ගලයින් සහ කාර්යයන් මෙහෙයවීමට මෙන්ම සාකච්ඡා කර ඕනෑම ගැටළුවකට විසඳුම් සෙවීමට මොහුට තිබු සුපිරි හැකියාව ඔස්ට්‍රේලියාවේ වෙනත් අගමැතිවරයෙකු හට නොතිබූ තරම්ය.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය කණපිට පෙරළු හැටි
80 දශකයේදී ඔස්ට්‍රේලියානු ඩොලරය 40% කින් පමණ අවප්‍රමාණය වීමට ඉඩ තිබු අතර එය පා කිරීමට Bob Hawke ප්‍රමුඛ එවකට සිටි කම්කරු රජය තීරණය කළේය.
එම තීන්දුවත් සමග කඩා වැටීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියානු ආර්ථිකය අළුගසා දමා නැවත නැගිටින්නට විය.
එමෙන්ම නූතන ඔස්ට්‍රේලියානු ආර්ථිකය බිහි කිරීමේ ප්‍රධාන නියමුවන් අතරින් Bob Hawke ට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි.
මොහු විසින් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට ප්‍රතිසංස්කරණ රාශියක් එක් කළ අතර ඉන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ පහත පරිදි වේ.
- ඔස්ට්‍රේලියානු බදු ක්‍රමය සංශෝධනය කිරීම.
- ඇතැම් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය කිරීම.
- රජයට අයත්ව පැවති Commonwealth බැංකුව, Aussat, Qantas වැනි ආයතන පුද්ගලික අංශයට විකිණීම.
- සැලකිය යුතු මට්ටමින් පාසල් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීම.

Medicare සහ APEC සංවිධානය බිහි කිරීම
ඔස්ට්‍රේලියානුවාසීන්ට නොමිලයේ සෞඛ්‍ය සේවා සපයන Medicare සේවාවේ නිර්මාතෘ ලෙස Bob Hawke හැඳින්වෙයි.
ඔහුට පෙර සිටි අගමැතිවරු සහ රජයන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන ගිය නමුදු රටවැසියන්ට හිමිවුයේ එහි සීමිත ප්‍රතිලාභ ප්‍රමාණයක් පමණි.
නමුත් 1984 දී Bob Hawke Medicare සේවාව හඳුන්වාදීමත් සමග සමස්ත ඔස්ට්‍රේලියානුවාසීන්ටම එය සහන සලසන සෞඛ්‍ය සේවාවක් බවට පත් විය.
මේ අතර ආසියා - ශාන්තිකර කලාපයේ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම උදෙසා Asia-Pacific Economic Cooperation හෙවත් APEC සංවිධානය ද Bob Hawke ගේ යෝජනාවකට අනුව පිහිටවූ එකකි.
සාමාජික රටවල් 21 සමග එය 1989 පිහිටුවනු ලැබූ අතර ආසියා - ශාන්තිකර කලාපයේ රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට මේ හරහා මූලික අඩිතාලමක් වැටිණි.
APEC සංවිධානය ආදර්ශයට ගනිමින් පසුව Association of Southeast Asian Nations හෙවත් ASEAN සංවිධානයද බිහිවිය.

2019 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වීමට දින 2 කට පෙර Bob Hawke මිය යාම කම්කරු පක්ෂයට විශාල පාඩුවක් බව කම්කරු පක්ෂයේ වත්මන් නායක බිල් ශෝටන් පැවසුවේය.
මෙවර මහ මැතිවරණයේ කම්කරු පක්ෂ මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය සමග Bob Hawke ද අත්වැල් බැඳගෙන සිටියේය.


