දෙවැනි එළිසබත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය එංගලන්ත වේලාවෙන් අද (සැප්තැම්බර් 19) පෙරවරු 11 ට ලන්ඩන් නුවර Westminster Abbey හි පැවැත්වේ.
රාජකීයයන්, දේශපාලඥයන් සහ ලෝක නායකයන් 500ක් පමණ ඊට සහභාගි වන බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.
නමුත් එම ආරාධිත නම් ලැයිස්තුවේ ඇති ඇතැම් නම් පිළිබඳ මේ වන විට ආන්දෝලනයක් මතු කර ඇත.
රාජකීය අවමංගල උත්සවයට ආරාධිත ආන්දෝලනාත්මක නම්
දෙවැනි එළිසබත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ලන්ඩනයට පැමිණීමට සැලසුම් කිරීම පිළිබඳව මානව හිමිකම් ක්‍රියාකාරීන් කම්පනයට පත් වී තිබේ.
2021 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද බුද්ධි වාර්තාවකට අනුව මොහොමඩ් බින් සල්මාන් කුමරු 2018 ඔක්තොබෆ්ර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලය තුළදී Washington Post මාධ්‍යවේදී Jamal Khashoggi අමානුෂික ලෙස ඝාතනය කර කැබලිවලට කපා දැමීමට අවසර ලබා දුන්නේය.
එම වාර්තාව එළිදැක්වීමෙන් පසු, සල්මාන් කුමරු මේ වසරේ ජූලි මාසයේදී පැරිසියේ සාකච්ඡා සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඔහුට සත්කාරකත්වය දෙන තෙක් බටහිර ලෝකය තුළ ඔහු සමාජ පරිහානියෙකු බවට පත්ව සිටියේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
බ්‍රිතාන්‍යයේ ආරාධනයකට අනුව සෞදි කුමරු, රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට සැලසුම් කිරීම පිළිබඳව දැන් නැවුම් මතභේදයක් මතුව තිබේ.
මොහොමඩ් බින් සල්මාන් කුමරුට දෙවැනි එළිසබත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට ආරාධනා නොකළ යුතු බවට මාධ්‍යවේදී Jamal Khashoggi සමග විවාහ වීමට සිටි Hatice Cengiz පැවසුවාය.
රැජිණගේ අභාවය සැබවින්ම කණගාටුදායක අවස්ථාවක් වන බවත් සෞදියේ ඔටුන්න හිමි කුමාරයාට මෙම ශෝක ජනක අවස්ථාවේ කොටසක් වීමට ඉඩ නොතැබිය යුතු බවත් ඇය අවධාරණය කළාය.
රැජිණගේ මතකය අපවිත්‍ර කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් නීත්‍යානුකූල භාවය සහ සමාජයේ සාමාන්‍යකරණය සෙවීම සඳහා මෙම ශෝක කාලය භාවිතා නොකළ යුතු බවද Hatice Cengiz පැවසුවාය.
ලන්ඩනයේ සෞදි තානාපති කාර්යාලයෙන් පිටත විරෝධතා සංවිධානය කරන එක්සත් රාජධානිය පදනම් කරගත් අවි වෙළඳාමට එරෙහි ව්‍යාපාරය (CAAT) ද සල්මාන් කුමරුගේ මෙම සංචාරය හෙළා දුටුවේය.

අවමංගල්‍ය උත්සවයට ආරාධනා කර ඇති සෙසු පිරිස
රාජකීයයන්, දේශපාලඥයන් සහ ලෝක නායකයන් 500ක් පමණ දෙවැනි එළිසබත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව වාර්තා වේ.
අවමංගල්‍ය කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese දැනටමත් ලන්ඩනයට ගොස් ඇත.
පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 17) Westminster ශාලාවේදී දෙවැනි එළිසබත් රැජිණ වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ඔහු තුන්වන චාල්ස් රජු සහ එක්සත් රාජධානියේ නව අගමැති Liz Truss හමුවිය.
ඔහුට අමතරව පහත සඳහන් ලෝක නායකයින් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව වාර්තා වේ.
- ඇමෙරිකානු ජනාධිපති Joe Biden
- ප්‍රංශ ජනාධිපති Emmanuel Macron
- කැනඩාවේ අගමැති Justin Trudeau
- නවසීලන්ත අගමැතිනි Jacinda Ardern
- යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් ඇත.
යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy හට අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නොහැකි වනු ඇති අතර ඔහුගේ බිරිඳ Olena Zelenska ඔහු වෙනුවට සහභාගී වනු ඇත.

මේ අතර මෙම අවමංගල්‍ය උත්සවයට නොපැමිණීම නිසා කැපී පෙනෙන ලෝක නායකයින් ගණනාවක් ද සිටී.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ආරාධනයක් නොලැබුණු රුසියානු ජනාධිපති Vladimir Putin එම ලැයිස්තුවේ ප්‍රමුඛයා වී තිබේ.
රුසියානු ජනාධිපතිවරයාට මේ සඳහා ආරාධනා නොකිරීමට එක්සත් රාජධානිය ගත් තීරණය දැඩි සදාචාර විරෝධී තීරණයක් බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Maria Zakharova කෝපයෙන් යුතුව පැවසුවාය.
රුසියාවේ යුක්රේනය ආක්‍රමණයට සහය දුන් බෙලෝරුසියාවේ සහ Rohingya ජනතාවට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන මියන්මාරයේ නායකයින්ට ද අවමංගල්‍ය උත්සවයට ආරාධනා කර නැත.

