දෙවැනි එළිසබත් රැජිණගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ රජකමට පත් වූ 3 වන චාල්ස් රජු දැන් එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක රජු වේ.
රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන විශේෂ උත්සවයකදී ඔහු කිරුළු පැළඳීමට නියමිතය.
බ්‍රිතාන්‍යයේ රජකමට පත් වූ 3 වන චාල්ස් රජුගේ කාර්යභාරය සහ ඔහුගෙන් ඔස්ට්‍රේලියාවට ඇති බලපෑම කුමක්ද? මේ පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.

බ්‍රිතාන්‍ය රජුගේ වගකීම්
17 වැනි සියවසේ අගභාගය දක්වාම බ්‍රිතාන්‍ය රජවරු අදට වඩා විශාල බලයකින් සහ වගකීම් සමුහයක් සහිතව පාලනය කළහ.
නමුත් අද වන විට බ්‍රිතාන්‍යයේ රාජාණ්ඩුවට ඉතිරිව ඇත්තේ චාරිත්‍රානුකූල ක්‍රියාකාරකම් කිහිපයක් බව සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Cindy McCreery පැවසුවාය.
බ්‍රිතාන්‍ය රාජකීය පවුල දැන් වසර 300 කට වැඩි කාලයක් ව්‍යවස්ථාපිත රාජාණ්ඩු ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වේ.
1688 වසරේදී ඇතිවූ Glorious Revolution හෙවත් තේජාන්විත විප්ලවය හේතුවෙන් එක්සත් රාජධානියේ රජතුමාට හෝ රැජිණට පාර්ලිමේන්තුවට අනුකූලව පාලනය කිරීමට සිදු විය.
රජුගේ ප්‍රධාන වගකීම වන්නේ එක්සත් රාජධානියේ අගමැති පත් කිරීම සහ නෙරපා හැරීමය.
නමුත් එය රජයේ උපදෙස් මත සිදුවිය යුතු බව ආචාර්ය McCreery පැවසුවාය.
බ්‍රිතාන්‍ය රජුගේ භූමිකාව බොහෝ දුරට චාරිත්‍රානුකූල භූමිකාවක් බැවින් ඔහුට කිරීමට බොහෝ දේ නැති බව ඇය පෙන්වා දුන්නාය.
බ්‍රිතාන්‍යයේ රජතුමා සාමාන්‍යයෙන් සෑම වසරකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විවෘත කර සිංහාසනයේ සිට කතාවක් පවත්වයි.
නමුත් ඒ කතාව රජතුමා විසින් ලියන එකක් නොව අගමැති විසින් ලියන බව ආචාර්ය McCreery පැවසුවාය.
පාලක රජතුමා මෙම රාජකාරිය ඉටු නොකළ අවස්ථා ද ඉතිහාසයේ තිබූ බව ඇය සඳහන් කළාය.
රජතුමා පාර්ලිමේන්තුව විවෘත කර නැතිවට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන එය පැවැත්විය නොහැකි යයි නීතියක් නැතැයිද ආචාර්ය McCreery ප්‍රකාශ කළාය.
3 වන චාල්ස් රජු ලෙස තවත් චාරිත්‍රානුකූල භූමිකාවන් දෙකක් ඔහුට ඇත.
ඒ අනුව ඔහු Anglican පල්ලියේ ප්‍රධානියා සහ බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා බවට පත්වේ.

ඔස්ට්‍රේලියාව හා සම්බන්ධව රජුගේ කාර්යභාරය කුමක්ද?
3 වන චාල්ස් රජු ඔස්ට්‍රේලියාවේ පිළිගත් රජු වන අතර ඔහු ඔස්ට්‍රේලියානු භුමියේ ඉහළම නියෝජිතයා වේ.
එක්සත් රාජධානිය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 15ටම මෙය අදාළ වේ..
රාජාණ්ඩුව බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවල නායකත්ව කාර්යභාරයක් ඉටු කරන අතර එහි නීති සම්පාදනයට රාජකීය අනුමැතිය ලබා දෙයි.
රජුගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාර ජනරාල්වරයා ඔස්ට්‍රේලියාවේ මෙම භූමිකාවන් ඉටු කරයි.

රජු සහ බ්‍රිතාන්‍ය දේශපාලනය
එක්සත් රාජධානියේ අගමැතිවරු බොහෝ විට අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබත් රැජිනගේ දේශපාලන දැනුම ගැන සඳහන් කළහ.
ඔවුන් සතිපතා ඇය සමඟ රැස්වීම් පැවැත්වූ අතර එය චාල්ස් රජු දැනටමත් අනුගමනය කර ඇත.
එය සාමාන්‍ය චාරිත්‍රයකි.
"රජවරයාට උපදෙස් ලබා ගැනීමේ අයිතිය මෙන්ම උපදෙස් දීමට සහ අනතුරු ඇඟවීමේ අයිතිය ද ඇත, කෙසේ වෙතත්, රජතුමා පවසන ඕනෑම දෙයකට සවන් දීමට හෝ ඒ අනුව ක්‍රියා කිරීමට අගමැති වෙනුවෙන් කිසිදු බැඳීමක් නොමැත." යනුවෙන් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Cindy McCreery පැවසුවාය.
රජයේ කටයුතු පිළිබඳව රජුට හෝ රැජිනට දැනුම් දීම එම රැස්වීම්වල අරමුණ බව ඇය පැවසුවාය.
එම රැස්වීම් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බවද ආචාර්ය McCreery පැවසුවාය.

